මහින්ද ජ්‍යෙතිෂය අතහැරීය

Spread the News

මහින්ද ජ්‍යෙතිෂය අතහැරීය


1977 දී ලංකාවේ පැවැති මහ මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය හයෙන් පහක බලයක්‌ ලබාගෙන සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියගේ ආණ්‌ඩුව අන්ත පරාජයකට ලක්‌කළ අයුරු කාටත් රහසක්‌ නොවේ. ලංකාවේදී සිරිමාවෝ අගමැතිනිය ඡේ. ආර්. ජයවර්ධන මහතා හමුවේ පරාජය වනවිට ඉන්දියාවේ දේශපාලනයද කනපිට හැරිණි. බණ්‌ඩාරනායක මහත්මියගේ සුමිතුරු ඉන්දිරා ගාන්ධි මැතිනියත් 1977 මහ මැතිවරණයෙන් අන්ත පරාජයකට පත්වූ අතරම ඇගේ ආසනය මෙන්ම එවක ඉතා බලවත් තැනැත්තෙකු වූ ඉන්දිරාගේ බාල පුත් සන්ඡේ ගාන්ධිද සිය ආසනයෙන් පරාජය විය. ඉන්දිරා පරාජය කර මොරාජි දේශායි බලයට පත්විය.

77 දී ඉන්දිරා ගාන්ධි පරාජයට පත්වූයේ ඇයි? එයට සන්ඡේ ගාන්ධි හේතුවූවාද? සන්ඡේ ගාන්ධි, සිය මිතුරු බන්සි ලාල් සමඟ එක්‌වී අම්මාගේ ආණ්‌ඩුව මෙහෙයවීම ගැන කොංග්‍රස්‌ ප්‍රබලයෝ සතුටු වූයේ නැත. ඇත්තෙන්ම ඉන්දිරා ගාන්ධිගේ ආණ්‌ඩුව මෙහෙයවූයේ කැබිනට්‌ මණ්‌ඩලය හරහා නොව අගමැති නිවසේ සිටය. ඒ සන්ඡේ ගාන්ධිගේ අනුහසිනි. ඉන්දිරා තම පුතුට ඉඩදීම ඇගේ පරාජයට හේතුවිය. මේ නිසා කොංග්‍රස්‌ පක්‍ෂය දෙකට කැඩිණි. එමෙන්ම ගාන්ධි මහත්මිය ජ්‍යෙdතීර්වේදීන් විශ්වාස කර හදිසි මැතිවරණයක්‌ සඳහා එළඹීම ඇගේ පරාජයට හේතුව වූ බව දේශපාලන විචාරකයෝ පවසති.

පකිස්‌තාන මාධ්‍යවේදිනී මලීෂා හමීඩ් සිද්දක්‌ පසුගිය දිනක තංගල්ලේ කාල්ටන් නිවස වෙත ගියේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමටය. එහිදී ඇයට මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට ලැබුණේ විනාඩි පහක කාලයක්‌ පමණි. ඒ ලැබුණු අවස්‌ථාවේදී මේ මාධ්‍යවේදිනිය “ඔබ තවමත් ජ්‍යෙතිෂය විශ්වාස කරන්නේ දැයි විමසා සිටියාය. ඒ අවස්‌ථාවේදී උස්‌ හඬින් සිනහසෙමින් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර සිටියේ දැන් මම විශ්වාස කරන්නේ නැහැ යනුවෙනි. මලීෂා මාධ්‍යවේදිනිය හිටපු ජනපති හමුව පිළිබඳව ලියූ සිත් ඇදගන්නා ලිපිය පකිස්‌තාන “ඩෝන්” පුවත්පතේ පළවූ අතර එය මෙරට පුවත්පත්වල මෙන්ම වෙබ් අඩවිවලද පළවී තිබිණි. එම ලිපිය ආරම්භ කරමින් මලීෂා සඳහන් කර සිටියේ 1977 දී ඉන්දිරා ගාන්ධිගේ පරාජයටත් ජ්‍යෙdතීර්වේදීන්ගේ වැරදි උපදෙස්‌ හේතු වූ බවය.

යහපාලන ආණ්‌ඩුවේ ප්‍රබලයින් නම් මහින්ද රාජපක්‍ෂ මහතා නැවත දේශපාලන කරළියට පිවිසීම පිළිබඳ කිසිම කැමැත්තක්‌ දක්‌වන්නේ නැත. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනපතිවරයාට ශ්‍රීලනිපයෙන් නාමයෝජනා නොලැබෙන බව ප්‍රකාශ කර තිබේ. දැන් දේශපාලන බල අරගලය ඇත්තේ එජාපය, ශ්‍රීලනිප ය අතර නොව ශ්‍රීලනිපයේ වර්තමාන සභාපති හා හිටපු සභාපති අතරය. මේ බල අරගලය දෙස එජාපය මහත් උවමනාවෙන් බලා සිටී. හදිසි මහ මැතිවරණය ගැන යහපාලන ආණ්‌ඩුව මත දෙකක සිටින බව පැහැදිලිය. මෛත්‍රීපාල පාර්ශ්වයට අවශ්‍ය ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවා ශ්‍රීලනිපයේ ප්‍රබලයන්ටද ඇමැතිකම් ලබාදී තව වසරක්‌ හෝ දිගට මේ ආණ්‌ඩුව ඉදිරියට ගෙනයැමයි. එවිට දින සියය පසු වුවද තරමක කාලයක්‌ ගෙන ජනතා අපේක්‍ෂා ඉටුකළ හැකි බව ඔවුනගේ අදහසයි. දින සියයෙන් අඩකටත් වඩා ගෙවී ඇතත් සිදුවූ ප්‍රබල වෙනසක්‌ නැත. අරලියගහ මන්දිර තාප්පයේ මල් පෝච්චි ගලවා ගම්පහ මල් වත්තට යවන අයුරු නම් දක්‌නට ලැබිණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණද ප්‍රකාශ කරන්නේ අප්‍රේල් 23 පසුව මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි. ශ්‍රීලනිපය දෙකට කැඩීයැමේ අර්බුදයක්‌ ඇති නිසා ඉක්‌මනින්ම මැතිවරණයකට යැම එජාපයට වාසි දායක බව වික්‍රමසිංහ මහතා හොඳින් දනී. එජාපයට තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට හැකිවුවහොත් 2001 – 2004 කාලයේ දී පිහිටවූ එක්‌සත් ජාතික පෙරමුණු ආණ්‌ඩුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙල්ල කරමින් රට පාලනය කළ ආකාරයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාවත් ඒ ආකාරයට පාලනය කරමින් ආණ්‌ඩු කිරීමට කටයුතු කිරීම එජාපයේ අරමුණයි. මේ අරමුණු සථලවේද නැද්ද යන්න පිළිබඳ අනාවැකි පළ කළ නොහැකිය.

මහින්ද චරිතය කපාහැර ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ පිහිටුවීම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අරමුණයි. එය ඔහුගේ පැත්තෙන් සාධාරණය. නමුත් සාමාන්‍ය ශ්‍රීලනිප පාක්‍ෂිකයන් මෙයට එකඟවන්නේද? සිංහල බෞද්ධ ජාතික බලවේග මෙයට එකඟවන්නේද? කිසිසේත් නැත. සියලු දෙනාටම අවශ්‍ය යළි රාජපක්‍ෂ කරළියට ගෙනඒමටය. එදා ඉන්දිරා ගාන්ධි පරාජය කිරීමෙන් පසුව පත්වූ ජනතා පක්‍ෂ ආණ්‌ඩුව ඉන්දිරා ගාන්ධි මහත්මියද සංඡේ ගාන්ධි මහතාද අත්අඩංගුවට ගතයුතු බව ප්‍රකාශ කළේය. ජනතා පක්‍ෂයේ ස්‌වදේශ කටයුතු ඇමැති චාරන් සින් ගාන්ධි මහත්මිය හා ඇගේ පුතු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළේ මේ දෙදෙනාට මිනීමැරුම් චෝදනා ඇති බව පවසමිනි. මේ අත්අඩංගුවට ගැනීම නිසා ගාන්ධි මැතිනියට විශාල ජනතා අනුකම්පාවක්‌ හිමිවිණි. ජනතා පක්‍ෂ ආණ්‌ඩුව ඉන්දිරා ගාන්ධි මැතිනියට එරෙහිව වෛරය පමණක්‌ පතුරුවන බව ජනතාවට අවබෝධ විය. මේ නිසා ජනතා පක්‍ෂ ආණ්‌ඩුවේ අභ්‍යන්තර අර්බුද උග්‍රවිය. එම නිසාම මේ ආණ්‌ඩුව 1979 අගෝස්‌තුවේදී විසුරුවා දැමීමට සිදුවිය. වසර දෙකකින් ආණ්‌ඩුව බිඳවැටිණි.

77-79 ජනතා පක්‍ෂ ආණ්‌ඩුවට අත්වූ ඉරණම ගැනද යහපාලන ආණ්‌ඩුව තරයේ සිත්හි තබාගත යුතුය. ජනාධිපතිවරණයෙන් රාජපක්‍ෂ මහතා පරාජයට පත්වුවද ඔහු තවමත් ජනතාව අතර වීරයෙකි. සමහර යහපාලන නායකයන් වහසිබස්‌ දොඩන ආකාරයට රාජපක්‍ෂවරුන් අත්අඩංගුවට ගෙන හිරේ දමන්නට ගියහොත් සිදුවන්නේ කුමක්‌ද? ඉන්දිරා ගාන්ධි අත්අඩංගුවට ගත් ජනතා පක්‍ෂ ආණ්‌ඩුවට අත්වූ ඉරණමටම යහපාලන ආණ්‌ඩුවත් ගොදුරුවනු ඇත. යහපාලන ප්‍රබලයන් කැමති වුවද අකමැති වුවද නැවත මහින්ද රාජපක්‍ෂ දේශපාලනයට පිවිසීම කිසිවකුට වැළැක්‌විය නොහැක. ඒ ඔහුගේ දේශපාලන අයිතියයි. ඒ හරහා රට ගමන් කරනු ඇත්තේ කවර දිශාවකටද? ඒ ගැන අනාවැකි පළකිරීමට ජ්‍යෙdතිෂවේදීන්ට ඉඩදිය යුතු නැත.

* චතුර පමුණුව