Spread the News

මහ බැංකුවට ප්‍රහාර එල්ල කරද්දී
මානව හිමිකම් කොමසාරිස්‌ සිටියේ කොහේද?

– ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සොයාගත් ත්‍රස්‌ත මර්ධනකරු නිලබ්දීන් ප්‍රශ්න කරයි

කොළඹ කොටුවේ මහ බැංකු ගොඩනැඟිල්ලට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ලවී පසුගිය ජනවාරි 31 දාට විසි වසරක්‌ සපිරුණි. එහෙත් එම බිහිසුණු සිද්ධිය මෙරට බොහෝ පාර්ශ්වවලට අමතක වී ඇත. මේ අමානුෂික ත්‍රස්‌ත ප්‍රහාරය දියත් කළේ එදා ඇතැම් මාධ්‍ය විසින් ප්‍රභාකරන් මහත්මයා යෑයි හැඳින්වූ වේළුපිල්ලේ ප්‍රභාකරන්ය. 100 කට අධික සිවිල් වැසියන් ඝාතනය වූ මෙම ත්‍රස්‌ත ප්‍රහාරයෙන් 600 කට අධික පිරිසක්‌ තුවාල ලැබූහ. ඝාතනයට ලක්‌වූවන්ගෙන් 40 ක්‌ මහ බැංකුවේ නිලධාරීන්ය. එහෙත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මහ බැංකු ප්‍රහාරයෙන් සිවිල් වැසියන් මියයැම සම්බන්ධයෙන් ප්‍රභාකරන්ට යුද අපරාධ චෝදනා එල්ල කළේ නැත. මහ බැංකුව ඇතුළු අවට ගොඩනැඟිලිවලටද රුපියල් මිලියන 1050 ක අලාභයක්‌ සිදු විය. මේ ත්‍රස්‌තවාදී ක්‍රියාව ප්‍රභාකරන්ගේ නියෝග මත ක්‍රියාත්මක වුවත් එය සනාථ කිරීමට සාධක තිබුණේ නැත. එහෙත් මහ බැංකු ප්‍රහාරයෙන් පසු පිටකොටුව ප්‍රදේශයේදී පැන යමින් සිටි ත්‍රස්‌තයන් දෙදෙනකු අසු විය. ඉන් එක්‌ අයෙක්‌ රගු නමැත්තායි. රගු කවුද? සහ මහ බැංකු ප්‍රහාරයට රගු සම්බන්ධ වූයේ කෙසේදැයි හෙළි වූයේ “ටෙරර්රිස්‌ට්‌ බස්‌ටර්” හෙවත් ත්‍රස්‌තයන් මර්දන කරන්නා යෑයි හඳුන්වනු ලැබූ ත්‍රස්‌ත මර්දන නිලධාරියකු වූ නිලබ්දීන් නිසාය. නිලබ්දීන් ඝාතනය කිරීම සඳහා ප්‍රභාකරන් ගල්කිස්‌සේ ගාලු පාරේදී දැරූ උත්සාහයෙන් පසු සියදිවි ගලවා ගැනීමට ඔහු විදේශගත විය. එහෙත් මහ බැංකු ප්‍රහාරයට විසි වසරක්‌ ගතවන අවස්‌ථාවේ ඔහු ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය. නිලබ්දීන් දිවයින ඉරිදා සංග්‍රහය අමතමින් මහ බැංකු බෝම්බයට ප්‍රභාකරන් වරදකරු වූ අයුරු අනාවරණය කළේය.

“මහ බැංකු බෝම්බයේ සුලමුල සොයා ගැනීමත් සමඟම ප්‍රභාකරන් මාව මරා දැමීමට බෝම්බකාරියක්‌ එව්වා. නමුත් ඉලක්‌කය වැරදුණා. මගේ හිසේ තවමත් යකඩ කෑලි තිබෙනවා” යෑයි නිලබ්දීන් හෙළි කළේය.

අද අපි අනාවරණය කරන්නේ නිලබ්දීන් හෙළි කළ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සොයා ගැනීමේ ත්‍රාසජනක සිද්ධියයි.

පිටකොටුවේදී අසුවූ කොටි ත්‍රස්‌තයන් දෙදෙනාගෙන් එක්‌ අයකු වූ රගුගෙන් ප්‍රශ්න කළ විට ඔහු බෝම්බ පිපිරීමට බියේ ජනතාව දිවූ නිසා තමාද දිවුවේ යෑයිද තමා නාටාමියකු ලෙස සේවය කරන බව ද කීවේය. එහෙත් රගු නාටාමියකු නොවන බව නිලබ්දීන් සොයාගෙන තිබුණි. නොකඩවා සිදු කෙරුණු ප්‍රශ්න කිරීමේදී සත්‍යය හෙළි කිරීමට ඔහුට සිදු විය.

සති දෙකකට පෙර ප්‍රභාකරන් විසින් තමා ඇතුළු තිදෙනකුට මහ බැංකුවට පුපුරණ ද්‍රව්‍ය අඩංගු ලොරියක්‌ යවා වනසන ලෙස උපදෙස්‌ දුන් බවත් රිවිරැස මෙහෙයුමින් යාපනය හමුදාවට අසුවීම නිසා ඊට පළිsගැනීමක්‌ ලෙස මෙම ප්‍රහාරය එල්ල කරන බව ප්‍රභාකරන් පැවසූ බවත් රගු පළ කළේය.

මේ සෑම ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ සඳහාම සහභාගි වන මෙහෙයුම්කරුට තෑගි පෙට්‌ටියක්‌ ලබාදෙන බව නිලබ්දීන්ට වාර්තා වී තිබුණි. කෝ නුඹට ප්‍රභාකරන් දුන් තෑගිපෙට්‌ටිය යෑයි නිලබ්දීන් විසින් රගුගෙන් ප්‍රශ්න කළේය.

නිලබ්දීන් කොටි සංවිධානයේ ක්‍රමවේදයන් දන්නා බව රගු තේරුම් ගත්තේය. අපේ නායකයා මට තෑගි කළ තෑගි පෙට්‌ටිය මුතූර්හි වත්තේ නිවසේ තිබෙනවා. ඒ පෙට්‌ටිය තාත්තා නිවසේ පෙට්‌ටගමක දැමුවා යෑයි රගු තවදුරටත් හෙළි කළේය.

අපිට නුඹට තෑගි කළ පෙට්‌ටියෙන් වැඩක්‌ නැහැ. යෑයි රගු හමුවේ පැවසූ නිලබ්දීන් සිය ඊළඟ රහසිගත මෙහෙයුම ආරම්භ කළේය.

“මම සාමාන්‍ය ඇඳුමින් සැරසී මුතූර් පොලිසියට පැමිණ කොටියකු ගැන තොරතුරු සෙවීමට පොලිස්‌ භටයන් ඉල්ලා සිටියා. එහෙත් මුතූර් පොලිසියේ ආරක්‍ෂාවට ද පොලිස්‌ භටයන් ප්‍රමාණවත් නැතැයි කියා පොලිස්‌ ස්‌ථානාධිපති එක්‌ භටයෙක්‌ ලබා දුන්නා. මම හමුදාවේ සහාය ඉල්ලා සිටියත් හමුදාව මට අනතුරු අඟවමින් කොටි සිටින පැත්තට ගොස්‌ අහුවෙන්න එපා. අල්ලගත්තොත් අපට ඔයාව බේරගන්න විදියක්‌ නැහැ යනුවෙන් හමුදා බලධාරීන් මට කිව්වා යෑයි නිලබ්දීන් කීවේය.

මුතූර් පොලිසියෙන් ලබාදුන් පොලිස්‌ භටයා සහ කොළඹ ත්‍රස්‌ත මර්දන ඒකකයේ පොලිස්‌ භටයකු සමඟ මුතූර් වෙත ගිය නිලබ්දීන් ට පාළම්පාරුවේ තොටියා අනතුරු ඇඟවූයේය.

කවුරු බලන්ඩ ද යන්නේ මම සවස 5.30 ට ආපසු ත්‍රිකුණාමලයට යනවා. ඊට පෙර නුඹලාට එන්න බැරි වුණොත් උඹලව කොටින්ට අහුවෙනවා යෑයි තොටියා කියා සිටියේය.

නිලබ්දීන් කොටියාට පැවසුවේ දැඩි අසනීප ගතියෙන් සිටින සිය මාමාට බෙහෙත් වගයක්‌ ගෙන යන බවකි. චතුර ලෙස ද්‍රවිඩ භාෂාව කතා කළ හැකි නිලබ්දීන් ඇතුළු පිරිස මුතූර්හි විශාල පොල්වත්තට පැමිණියහ. පොල්වත්ත මැද නිවසක්‌ ඇති බවත් වයසක ද්‍රවිඩයකු එහි සිටින බවත් ඔවුන්ට පෙනුණි. රගු හෙළි කළ තොරතුරු සත්‍ය බව නිලබ්දීන්ට සනාථ විය. විගස නිවස ඉදිරියේ සිටි තැනැත්තා වෙත ගිය නිලබ්දීන් තමන් කොටි සංවිධානයේ ක්‍රියාකාරිකයකු බවත් රගු දුන් තෑගි පෙට්‌ටිය ගෙනඑන ලෙස රගු පැවසූ බවත් පැවසීය.

එහෙත් මහ බැංකුවට එල්ල වූ ප්‍රහාරය ගැන හෝ සිය පුතා පොලිස්‌ අත්අඩංගුවේ සිටින බව එම මහලු මිනිසා දැන සිටියේ නැත. හමුදාව මේ පැත්තට අවුත් ගේ සෝදිසි කළහොත් නුඹ අසුවෙයි. ඒ නිසා තෑගි පෙට්‌ටිය ඉක්‌මනට ගේන්න කියා රගු කිව්වා යෑයි නිලබ්දීන් කියා සිටියේය.

රගුගේ පියා විසින් නිවසේ පෙට්‌ටගමක තිබූ තෑගි පෙට්‌ටිය විගස නිලබ්දීන්ට ලබාදී ඇත. එය පොලිතින් උරයක දමා ගත් නිලබ්දීන් ඇතුළු පිරිසට එළවළු මල්ලක්‌ ද ලැබුණි.

එළවළු මල්ල තුළ තෑගි පෙට්‌ටිය සඟවා ගත් නිලබ්දීන් ඇතුළු තිදෙනාගේ මේ මුතූර් සංචාරය ගැන ඉහළ පෙළේ පොලිස්‌ නිලධාරීන් පවා දැන සිටියේ නැත.

ඊට හේතුව වූයේ කොළඹ ග්‍රෙගරි පාරේ අපරාධ විමර්ශන කාර්යාංශය ක්‍රියාත්මක වන අවස්‌ථාවේ එහි සිටින චරපුරුෂයකු මගින් නිලබ්දීන්ගේ තොරතුරු කොටි බුද්ධි සේවාවට දැන්වීමයි. නිලබ්දීන්ගේ ඡායාරූපයක්‌ ලබා ගැනීම සඳහා කොටි බුද්ධි නායක පොට්‌ටුඅම්මාන් දැරූ උත්සාහයක්‌ ද ව්‍යර්ථ වී තිබුණි.

ත්‍රිකුණාමලයට යැම සඳහා මුතූර් ජැටිය වෙත එනවිට අවට අඳුර වැටී ඉර බැස යැමට ආසන්නව තිබුණා. අපි එම ස්‌ථානයට එනවිට වෙලාව 5.28 යි. පාලම් පාරුව පිටත්වීමට සූදානම්ව සිටියා යෑයි නිලබ්දීන් හෙළි කළේය.

නිලබ්දීන් ඇතුළු තිදෙනා දුටු තොටියා සතුටට පත් විය. විනාඩි කීපයකට පෙර මෙතැනින් කොටි කණ්‌ඩායමක්‌ ගියා මම සිතුවා නුඹලා කොටින්ට අහුවෙලයි කියලා” යෑයි තොටියා පළ කළේය. ජීවිතය පරදුවට තබමින් නිලබ්දීන් මුතූර් කොටි අඩවියට ගොස්‌ රගුගේ තෑගි පෙට්‌ටිය ගෙන ආ බව කොටින්ගේ ටොසී බුද්ධි සේවාවට වාර්තා වූයේ නැත.

නිලබ්දීන් කොළඹදී සිය දෙවැනි මෙහෙයුම ආරම්භ කළේය. ඒ රගුගේ තෑගි පෙට්‌ටියේ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු ඇති බව ඔහු තරයේ විශ්වාස කර එය පරීක්‍ෂාවට ලක්‌ කිරීමයි. මේ අවස්‌ථාව වන විට ඇඟිලි සටහන් අංශය වෙත මදුරාසි පොලිසියේ තිබූ ප්‍රභාකරන්ගේ ඇඟිලි සටහන් ලැබී තිබුණි. රන් හා රිදී පැහැයෙන් යුත් තෑගි පෙට්‌ටියේ ඊළාම් සිතියම සලකුණු කර තිබුණි.

කොළඹ ඇඟිලි සටහන් අංශයේ නෝමන් පෙරේරා සහ රත්නායක යන නිලධාරීහු මහත් පරිශ්‍රමයක්‌ දරා එහි තිබූ ඇඟිලි සලකුණු කීපයෙන් දෙකක්‌ ප්‍රභාකරන්ගේ බව සොයා ගත්හ.

මෙය මෙරට පොලිස්‌ ඉතිහසයේ විශිෂ්ටතම ක්‍රියාවකි. ඒ අනුව එකී පොලිස්‌ ඇඟිලි සටහන් විශේඥයන් දෙදෙනා සිය දිවි නොතකා කොළඹ මහාධිකරණය හමුවේ රහසිගතව සාක්‍ෂි දුන්හ. එහි ප්‍රතිඵලය වූයේ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ප්‍රභාකරන්ව චෝදනා 52 කට වරදකරු කර වසර 200 කට සිරගෙට නියම කිරීමයි. තමා වරදකරු වූයේ නිලබ්දීන් මුතූර් කොටි අඩවියට පැමිණ රගුට දී තිබූ තෑගි පෙට්‌ටිය නිසා යෑයි ප්‍රභාකරන්ට වාර්තා විය. ප්‍රභාකරන් ජීවත්ව සිටියදී ප්‍රභාකරන්ට එරෙහිව නොබියව තීන්දුවක්‌ දුන් විනිසුරු ලෙස එතුමා ඉතිහාසගත විය.

මේ නඩු තීන්දුව ඇසූ ප්‍රභාකරන් දැඩි ලෙස කෝපාවිෂ්ට විය. මුතූර් ප්‍රදේශය භාර කොටි හමුදා නායක අරුන්ට වන්නියට එන්නැයි නියෝග කළේය. පොලිසිය මුතූර් වෙත එනකන් නුඹලා කුමක්‌ කළේද යෑයි ප්‍රභාකරන් ප්‍රශ්න කළේය. ප්‍රභාකරන්ගේ ශබ්දකෝෂයේ සමාව යන වචනය නැත. පසුව ඔත්තුකරුවකු මගින් නිලබ්දීන්ට වාර්තා වූයේ අරුන්ට වෙඩි තබා මරා දැමූ බවයි. ප්‍රභාකරන්ට වසර 200 ක සිරදඬුවමක්‌ නියම කර ඇති බවට වාර්තා වූ විට කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් මෙලෙස කීවේය. “අපි ශ්‍රී ලංකාවේ නායකයන්ට එරෙහිව නඩු අසා වසර 1000 කට සිරදඬුවම් නියම කරනවා” යෑයි ඔහු ගුගුලේaය. එහෙත් සිය දිවි පරදුවට තබමින් ප්‍රභාකරන්ට සිරදඬුවම් නියම කිරීමට මුල් වූ තෑගි පෙට්‌ටිය සොයාගත් නිලබ්දීන් සහ නෝමන්a පෙරේරා සහ රත්නායක යන පොලිස්‌ නිලධාරීන්ට ඉහළ පෙළේ පොලිස්‌ නිලධාරීන් කෘතගුණ සැලකුවේ නැත.

මේ පිරිස තෑගි ලැබීමට සුදුසු බවට නිර්දේශ වුවත් ඒ ගැන තැකීමක්‌ නොවීය. 2002 ඔක්‌තෝබර් මස ප්‍රභාකරන්ට එරෙහිව නඩු තීන්දුව ප්‍රකාශයට පත් වීමෙන් පසු නිලබ්දීන් ගල්කිස්‌ස පොලිසියේ මුල්ලකට දමනු ලැබීය. කොටි ගල්කිස්‌සට පැමිණ ඔහුගේ සහායකයා වූ ජෙයරත්නම් ද පැහැරගෙන ගොස්‌ වෙඩි තබා මරා පුළුස්‌සා දමනු ලැබීය.

සිය රට ගැන පොලිසිය වෙනුවෙන් කැපවූ නිලබ්දීන් දිවි ගලවා ගැනීමට විදේශගත විය. මට විශ්‍රාම වැටුප් පවා ලබාගැනීමට පොලිසියට එරෙහිව නඩු පැවරීමට සිදු වුණා. ඒ නිසා මම පොලිස්‌ සේවයේ ඉල්ලා අස්‌වුණා යෑයි නිලබ්දීන් සිය අතීතය හෙළි කරමින් කියා සිටියේය.

ඇඟිලි සළකුණු අංශයේ නෝමන්a පෙරේරා සහ රත්නායක ද විශ්‍රාම ගියේය. ඔවුන්ගේ සේවය ඇගයීමක්‌ සිදුවූයේ නැත. එහෙත් වසර කීපයකට පසු උසස්‌ පොලිස්‌ නිලධාරීන් රැසක්‌ ත්‍රස්‌ත මර්දන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් තෑගි මුදල් ලබාගත්හ.

මෙලෙස විසි වසරක අතීSතය අනාවරණය වන අවස්‌ථාවේ පසුගිය ඉරිදා යාපනය වීරසිංහම් ශාලාවේදී දෙමළ ජනතා සංසදය උතුරට ස්‌වයංපාලනය අවශ්‍ය බවත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් දේශපාලන විසඳුමක්‌ ලබාදීමට පෙර යුරෝපයේදී අත්සන් කෙරුණු ඩේටන් ගිවිසුම සහ බ්‍රිතාන්‍යයේදී අත්සන් තැබුණු මහ සිකුරාදා ගිවිසුමට සමාන ගිවිසුමක්‌ අත්සන් කිරීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ යුතු බව වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරනු ලැබීය.

පිටු 16 කින් යුත් මේ වාර්තාවේ සියලු කරුණු දකුණේ ජනතාවට හෙළි නොවුවත් උතුරේ ජනතාවට හෙළි විය. මෙකී වාර්තාවෙන් ශ්‍රී ලංකාව තුළ උතුරට පෙඩරල් ආණ්‌ඩුවක්‌ අවශ්‍ය බව සඳහන් කර තිබුණි. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ ප්‍රතිසංවිධානය කළ යුතු යෑයි ද මෙකී වාර්තාවෙන් ඉල්ලා ඇත. මේ අතර ශ්‍රී ලංකාවේ 68 වැනි නිදහස්‌ උත්සවය ගාලු මුවදොරදී පැවැත්වුණි. මෙවර නිදහස්‌ උත්සවයේ ගුවන් ආචාර පෙළපාලියට මිග් 27 ප්‍රහාරක යානා මෙන්ම එම් අයි 24 ප්‍රහාරක හෙළිකොප්ටර් සහභාගි වූයේ නැත. වන්නි මෙහෙයුමේදී කොටින්ට එරෙහිව විශිෂ්ට සේවාවක්‌ තුළ මෙම ප්‍රහාරක යානා සහ ප්‍රහාරක හෙළිකොප්ටර් යානා සහභාගි නොවූයේ ඒවා අලුත්වැඩියා කිරීම සඳහා ගුවන් හමුදා බලධාරීන් ක්‍රියා නොකිsරීමෙනි.

ඒ වෙනුවට බෙල් 212 -412 ප්‍රවාහන හෙළිකොප්ටර් ද එම්. අයි 17 ප්‍රවාහන හෙළිකොප්ටර් සහ ඇන්ටනෝව් ප්‍රවාහන යානාවක්‌ සහ සී 130 හර්කියුලිස්‌ යානා ද ගුවන් ආචාර පෙළපාලියට යොදවා තිබුණි. එහෙත් යාපනය අර්ධද්වීපය අල්ලා ගැනීමට සහ වන්නි මෙහෙයුමට මහත් සේවාවක්‌ ඉටු කළ එම් අයි. 24 කොකර්ඩයිල් ප්‍රහාරක හෙළිකොප්ටර් ගුවන් ගත නොවීම තුළින් පෙන්නුම් කළේ ගුවන් හමුදාවේ අද පවතින තත්ත්වයයිs.

වසර කීපයකට පෙර මිග් 27 සහ කපීර් ප්‍රහාරක යානා මෙන්ම කොකර්ඩයිල් ප්‍රහාරක හෙළිකොප්ටර් අහස සිසාරා පියාසර කරද්දී හමුදා භටයෝ අත්පොළසන්a දුන්හ.

මේ පසුබිම මැද ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ඊයේ (06) මෙරටට පැමිණීමට නියමිතව තිබුණි. ඔහු මෙරටට පැමිණෙන්නේ ජිනීවා යෝජනාව ගැන සාකච්ඡා කිරීමට නොවේ යෑයි විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරියෙක්‌ පැවසූ බව වාර්තා වේ. එහෙත් මානව හිමිකම් කොමසාරිස්‌ මෙරටට එන්නේ මෙහි සෞන්දර්යය බැලීමටද? එසේ වුවත් උතුරේ ආරංචි මාර්ග පැවසුවේ මානව හිමිකම් කොමසාරිස්‌වරයා උතුරේ සංචාරය කරන බවත් යුද්ධයෙන් විපතට පත් වූවන්ගේ ඥතීන් හමුවීමට නියමිත බවත්ය.

මේ අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඡේම්ස්‌ බෝරිස්‌ ද ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා රජය ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාවට නැංවිය යුතු බවත් යුද අපරාධ පරීක්‍ෂණයට ජාත්‍යන්තර විනිසුරුවන්ගේ දායකත්වය ඉතා වැදගත් බවත් කියා සිටියේය.

එහෙත් ඉරාකයේදී බ්‍රිතාන්‍ය හමුදාවට එල්ලවු යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට බ්‍රිතාන්‍ය රජය අන්තර්ජාතික විනිසුරුවන් සහභාගි කරගත්තේ ද යන්න බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ගෙන් විමසීමට කිසිවෙක්‌ ක්‍රියා කළේ නැත. එසේ වුවත් මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාව සම්පූර්ණයෙන් ඉටු කළ යුතු යෑයි බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවට පැවසීමට අයිතියක්‌ තිබේද?

මේ වාර්තාවේ එක්‌ නිර්දේශයක්‌ නම් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ නිම වනතුරු සේවය අත්හිටුවිය යුතු බවයි.

ජිනීවා නුවර පාකිස්‌තාන් තානාපති සමීර් අක්‌රම් මෙලෙස පැවසීය.

ත්‍රස්‌තවාදය හා බෙදුම්වාදය පරාජය කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියාකළ අවස්‌ථාවේ බෙදුම්වාදයට සහාය වූ පාර්ශ්වවල ඉතිහාසය විමර්ශනය කළ යුතුයි.

මේ අතර මුලතිව්හි නාවික කඳවුරක්‌ ස්‌ථාපනය කිරීම වැළැක්‌වීම සඳහා උතුරේ දේශපාලඥයන් දැරූ උත්සාහය ව්‍යර්ථ විය. මෙම නාවික කඳවුර පිහිටුවන ස්‌ථානය තමන්ට අයිති බව ද්‍රවිඩ සිවිල් වැසියන් පිරිසක්‌ පැවසුවත් ඒ සඳහා ඔවුන්ට හිමිකම් නැතැයි සනාථ විය. මේ පසුබිම මැද අති විශාල මුදලක්‌ වැය කරමින් නිදහස්‌ දින හමුදා ආචාර පෙළපාලියක්‌ පවත්වන්නේ කුමටද යන අදහසක්‌ මතුවිය. යුද්ධය නිමාවී ඇති නිසා හමුදා ආචාර පෙළපාලියක්‌ අවශ්‍ය නැතැයි විද්යුත් නාලිකාවක්‌ ඔස්‌සේ ප්‍රකාශයක්‌ කළ පිරිසක්‌ කියා සිටියහ.

එසේනම් ඉන්දියාව ජනරජ දිනයට හමුදා ආචාර පෙළපාලියක්‌ පවත්වන්නේ කුමකටද?

කීර්ති වර්ණකුලසූරිය