Spread the News

මහ බැංකු ත්‍රස්‌ත ප්‍රහාරයට විසි වසරයි

* ප්‍රභාකරන් චෝදනා 51 කට වරදකරු වෙයි

* නිලබ්දීන් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ සොයා ගත්තා”

* පොලිස්‌ දෙපාර්තමේන්තුව නිලබ්දීන් සහ ඇඟිලි සලකුණු පරීක්‍ෂකවරුන් වූ නෝමන් පෙරේරා සහ රත්නායක ගැන තැකීමක්‌ කළේ නැහැ.

* නිලබ්දින් “දිවයින” අමතයි

100 කට අධික සිවිල් වැසියන් ඝාතනය වූ මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 20 ක්‌ ගත වී ඇත. 1996 ජනවාරි 31 දා මෙම ප්‍රහාරය එල්ල විය. මේ අතිබිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාරයට වගකිව යුතු ප්‍රභාකරන් යුද අපරාධකරුවකු ලෙස කිසිම රටක්‌ නම් කළේ නැත. බිරියට සැමියා අහිමි විය. සැමියාට බිරිය අහිමි විය. එසේම එම අවස්‌ථාවේ මහ බැංකුව අසලින් යමින් සිටි අහිංසකයන් රැසක්‌ද එකී බෝම්බ ප්‍රහාරයට ගොදුරු විය.

එදා සිදු වූ මේ අමානුෂික ත්‍රස්‌ත ක්‍රියාව බොහෝ පර්ශවවලට අමතක වී ඇත. මෙවර පැවැති සමරු උත්සවයට ප්‍රභාකරන්ට කන්ටේනර් බඩු තොග යෑවූ අයකුද පැමිණ සිටියේය. 2009 දක්‌වා ප්‍රභාකරන් නැමැති ත්‍රස්‌තයකු මෙරට සිටියේද යන්න පවා ඇතමුන් දන්නේ නැත. වන්නියේ කැලෑවකට වී මෙරට දේශපාලනඥයන් ජීවත් විය යුතුද නැද්ද යන්න තීරණය කළේද ප්‍රභාකරන්ය. ඒ බව අමතකය.

දෛවය එක්‌ දොරක්‌ නොවසා තවත් දොරක්‌ අරින්නේ නැතැයි වික්‌ටර් හියුගෝ නැමැති ප්‍රංශ ගත්කරුවා වරක්‌ පවසා තිබුණි.

ප්‍රභාකරන්ගේ දෛවය 2009 මැයි මස සඳහටම වසා දමනු ලැබීය. එහෙත් මහ බැංකු ප්‍රහාරයට ප්‍රභාකරන් වගකිවයුතු යෑයි තහවුරු කළ හිටපු ත්‍රස්‌ත මර්දන නිලධාරියාගේ දෛවය වසා දැමීමට කොටි ත්‍රස්‌ත කල්ලියට නොහැකි විය.

සිය දිවි ගලවා ගැනීමට මෙරටින් පැනගිය ත්‍රස්‌ත මර්දන නිලධාරියකු වූ හිටපු ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක” නිලබ්දීන්” පසුගිය සතියේ මෙරටට පැමිණ දින කීපයක්‌ නතර වීමෙන් පසුආපසු පිටව ගියේය.

නිලබ්දීන් මෙරටින් යැමට පෙර එක්‌තරා රහසිගත ස්‌ථානයකදී අපට හමුවිය. නිලබිදීන් නැමැති ත්‍රස්‌ත මර්දන නිලධාරියා ප්‍රභාකරන්ට අභියෝගයක්‌ විය. ඒ නිසාම ඔහුව ඝාතනය කිරීමට ගල්කිස්‌සේ මහ මාර්ගයේදී දැරූ උත්සාහය අසාර්ථක විය. කොටි බෝම්බකරු පිපිර වූ බෝම්බයෙන් විසිරුණු යකඩ කැබලි මගේ හිසේ තවමත් තියෙනවා. යෑයි ඔහු කියා සිටියේය.

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ රගු නැමැති ත්‍රස්‌තයාගෙන් මා ප්‍රශ්න කිරීමෙන් පසු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ රහස්‌ හෙළි වුණා. ප්‍රභාකරන් ඔහුට රිදීවලින් නිම කළ තෑගි පෙට්‌ටියක්‌ දී තිබුණා. මේ පෙට්‌ටිය මුතූර්හි කැලෑවක පිහිටි ඔහුගේ ගෙදර තිබෙන බවත් රගු හෙළි කළා. මම මුතූර් පොලිසියට ගොස්‌ කොටි සිටින කැලෑවට යෑවීමට පොලිස්‌ භටයන් ඉල්ලා සිටියා. මට එක්‌ භටයෙක්‌ ලැබුණා. හමුදාව මට අනතුරු අඟවමින් කිව්වේ කොටි සිටින පැත්තට යන්න එපා. අල්ල ගත්තොත් අපට බේර ගන්න බැහැ කියලා. යෑයි නිලබ්දීන් හෙළි කළේය.

රගු නැමැති ත්‍රස්‌තයාගේ නිවසට යැම සඳහා නිලබ්දීන් මුතූර් වෙත යන පාලම් පාරුවට ගොඩ වූයේ තවත් සගයන් දෙදෙනකු සමඟය. පාලම් පාරුව පැද වූ ද්‍රවිඩයා නිලබ්දීන් කවුදැයි දැන සිටියේ නැත. චතුර ලෙස ද්‍රවිඩ භාෂාව කතා කරන නිලබ්දීන් ඇතුළු පිරිස පාලම්පාරුව මෙහෙය වූ තැනැත්තාට පැවසුවේ අසනීප වී ඇති නෑයෙකුට බෙහෙත් වගයක්‌ ගෙන යන බවයි.

පාලම් පාරුව ආපසු සවස 5.30 ට පිටත් වෙනවා. ඊට පෙර පැමින යුතුයි. නැත්නම් උඹලාව කොටින්ට අහුවෙයි. රෑට මේ පැත්තට කොටි කණ්‌ඩායම් එනවා යෑයි පාලම් පාරුවේ තොටියා අනතුරු අඟවනු ලැබීය.

මුතර් වෙත පැමිණ නිලබ්දීන් ඇතුළු පිරිස රගු හෙළි කළ තොරතුරු මැද විශාල වත්තක මැද පිහිටි නිවසක්‌ වෙත පැමිණියහ. එහි සිටියේ රගුගේ පියායි. සිය පුත්‍රයා පොලිස්‌ අත්අඩංගුවේ බව ඔහු දැන සිටියේ නැත. නිවසේ පෙට්‌ටගමක ඇති තෑගි පෙට්‌ටිය වහාම ගෙන එන ලෙස පුතා තමන්ට පැවසූබව නිලබ්දීන් කියා සිටියේය.

ඒ අනුව එම තෑගි පෙට්‌ටිය නිලබ්දීන්ට ලබාදීමට රගුගේ පියා ක්‍රියා කළේය. ඉතා ප්‍රවේශමෙන් පොලිතින් උරයක දමා පසුව එළවළු මල්ලකට දමාගත් තෑගි පෙට්‌ටිය රැගෙන නිරුපද්‍රිතව මුතූර් පැමිණීමට එන විට පාලම් පාරුව ත්‍රිකුණාමලය බලා පිටත්ව යැමට නියමිතව තිබුණි.

මම හිතුවා නුඹලා ප්‍රමාද වෙනකොට කොටින්ට අහුවෙලයි කියල. විනාඩි කීපයකට පෙර කොටි කණ්‌ඩායමක්‌ මෙම ස්‌ථානයෙන් ගියා යෑයි තොටියා කියා සිටියේය.

ජීවිතය හා මරණය අතර සටනක්‌ කරමින් නිලබ්දීන් ගෙන ආ තෑගි පෙට්‌ටිය ඇඟිලි සලකුණු සඳහා කොළඹ ඇඟිලි සටහන් අංශයට යොමු කෙරුණි. ඇඟිලි සටහන් අංශයේ නෝමන් පෙරේරා සහ රත්නායක යන නිලධාරීන් එම තෑගි පෙට්‌ටියේ තිබූ ඇඟිලි සටහන් හා මදුරාසි පොලිසිය ලබාදුන් ප්‍රභාකරන්ගෙ ඇඟිලි සටහන් සංසන්දනය කළේය.

තෑගි පෙට්‌ටියේ ඇඟිලි සටහන්වලින් දෙකක්‌ ප්‍රභාකරන්ගේ ඇඟිලි සටහන් බවට තහවුරු විය. ඒ අනුව අධිකරණය වෙත එම තොරතුරු ඉදිරිපත් කෙරුණි. නිලබ්දීන් විසින් සොයාගත් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු මත ප්‍රභාකරන්ට වසර 200 ක සිරදඬුවමක්‌ නියම කළේ සරත් අඹේපිටිය විනිසුරුතුමායි. එතුමා ප්‍රභාකරන්ව චෝදනා 51 කට වරදකරු කළේය.

මේ නඩු තීන්දුව ඇසූ ප්‍රභාකරන් කෝප විය. මුතූර් ප්‍රදේශය භාරව සිටි කොටි හමුදා නායකයකු වූ අරුන් වන්නියට ගෙන්වනු ලැබීය.

පොලිසිය මුතූර් වෙත එනකන් නුඹලා කුමක්‌ද කළේ යෑයි ප්‍රභාකරන් ප්‍රශ්න කළේය.

පසුව නිලබ්දීන්ට වාර්තා වූයේ ප්‍රභාකරන්ගේ නියෝග මත අරුන්ව වෙඩි තබා මරා දැමූ බවයි. මේ රහසිගත මෙහෙයුම දිවයින මගින් විශේෂයෙන් අනාවරණය කරනු ලැබීය.

ප්‍රභාකරන්ට වසර 200 ක සිරදඩුවමක්‌ නියම කර ඇතැයි සවනය වූ විගස කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් කෝපාවිෂ්ට විය.

අපි ශ්‍රී ලංකාවේ නායකයන්ට එරෙහිව නඩු අසා වසර 1000 කට සිරයට නියම කරනවා යෑයි ඔහු තර්ජනය කළේය.

එහෙත් ප්‍රභාකරන්ට සිරදඬුවම් නියම කිරීමට තම ජීවිතය පරදුවට තැබූ නිලබ්දීන්ට පොලිසිය කෘතගුණ සැලකුවේ නැත.

ඊනියා සටන්විරාම ගිවිසුම සමයේ ඔහුව ගල්කිස්‌ස පොලිසියේ මුල්ලකට දමනු ලැබීය. කොටි ඔහුගේ සහායකයා වූ පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම්ද පැහැරගෙන ගොස්‌ ඝාතනය කරනු ලැබීය.

සිය දිවි බේරා ගැනීම සඳහා නිලබ්දීන් විදේශ ගත විය. ඔහුට තම විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පවා පොලිසියට එරෙහිව නඩු පැවරීමට සිදු විය.

ප්‍රභාකරන් විසින් රගු නැමැති ත්‍රස්‌තයාට තෑගි කළ පෙට්‌ටිය සොයා ගැනීම ගැන පොලිස්‌ දෙපාර්තමේන්තුව විශාල තෑගි මුදලක්‌ පිරිනැමුවේ නැත. නිලබ්දීන්ගේ බිරිය පොලිස්‌ මූලස්‌ථානයට ගොස්‌ තම සැමියාට හිමි තෑගි මුදලක්‌ ඇති බවත් එය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියාය.

කවුද කිව්වේ තෑගි මුදල් තිබෙනවා කියලා යෑයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ ප්‍රශ්න කළේය.

ඇඟිලි සලකුණු අංශයේ නෝමන් පෙරේරා සහ රත්නායක යන පොලිස්‌ නිලධාරීන්ගේ විශිෂ්ට සේවයද ඇගයීමට ලක්‌ වූයේ නැත. රන් පදක්‌කම් හිමිවිය යුතු එම පොලිස්‌ නිලධාරීන් දෙදෙනා දැන් විශ්‍රාම ගොස්‌ ඇත.

පොලිසිය වෙනුවෙන් තම ජීවිතය පරදුවට තැබූ නිලබ්දීන්ද පොලිසියෙන් ඉල්ලා අස්‌විය. මේ තිදෙනා ඊශ්‍රායලයේ සිටියේ නම් ඔවුන් විරුවන් ලෙස ප්‍රකාශයට පත්වනු නිසැකය.

* කීර්ති වර්ණකුලසූරිය