මාංශ ශරීරගත නොකරනු!

Spread the News

මාංශ ශරීරගත නොකරනු!

source:

ආචාර්ය, පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි

පංච ඉන්ද්‍රියන් පිනවීමට උපදෙස්‌ සැපයීමට අමුතු කිසිදු ආගම් යතිවරයකු මෙලොව පහලවිය යුතු නොවේ. ඒ මක්‌නිසාද යනු ගණනය කළ නොහැකි අදීන කාලවල සිට මිනිස්‌ සත්ව භේදයකින් තොරව ස්‌වභාවිකව සදාකාලිකව ලැබෙමින් පවතින තෘෂ්ණාවේ යථා ස්‌වභාවය නිසයි. බුද්ධිමත් බෞද්ධයිනි, මනස වෙලාගත් පංච ඉන්ද්‍රියයන් පිනවීම යන කඩතුරාව නිර්-වාණයක්‌ නොව වානයකි. නිර් යනු වානය හෙවත් තෘෂ්ණාවේ ප්‍රතිවිරුද්ධ අර්ථයයි. පංචඉන්ද්‍රියන් පිනවා සතුට ලැබීම යනු අන්ධකාර කඩතුරාවකින් ශරීරයේ සියලු අංගයන් මනා වසා ගැනීමයි.

ඉතා දුෂ්කරව, දුර්ලභව ලබාගත් මනුෂ්‍ය භවයකදීත්, එසේම පතිරූප දේශයක ඉපද ධර්ම ශ්‍රවණය සහ ධර්මයේ හැසිරීම සඳහා බෙහෙවින් ඉඩකඩ ඇති මහඟු අතිදුර්ලභ අවස්‌ථාවත් ලබා තිබියදීත්, තිරිසන් අපායේ දුකින් ජීවත්වන නිරි සත්වයින් හැසිරෙන්නාක්‌ මෙන් අපත් නිරතුරු හැසිරි යුතුද? එහෙත් අපද හැසිරෙන්නේ සතුන්ගේ දෛනික චර්යාව විලසින් නොවේද සුධනනිෘ මොහොතක්‌ සිතා බලන්න.

භේදයකින් තොරව බොහෝ සතුන් කාලයේ නීතිය පිහිට කර ගනිමින් ජීවත්වීමට වලිකන තමන්ට වඩා ශක්‌තියෙන් අඩු සතුන් මරාගෙන උන්ගේ ශරීර රසඕජස්‌ ස්‌වකීය ජීවන පෝෂණය සඳහා උරාබොයි. උන්ටද නිද්‍රdව අවශ්‍යම සාධකයකි. එසේම ගහණය බෝකිරීම සඳහා මෛථුන සේවනයට වේලාවක්‌ කලාවක්‌ නොමැත. මේවා මිනිස්‌ සහ සතුන්ට අදාළ ජීව විද්‍යාවක්‌ මිස අසභ්‍යද නොවේ. මිනිස්‌ බව ලැබ උපන් අප අතින් සිද්ධවනුයේද තිරිසන්ගත සත්වයින් මෙන් පංච ඉන්ද්‍රියයන් පිනවීම මූලික කර ගත් ජීවන රටාවක හැසිරීමක්‌ හෝ නිරතවීමක්‌ නොවන්නේද?

තෙවන සිල් පදයේ ‘කමේසු මිච්ඡාචාරා’ යන්න බහු වචනයක්‌ බව තේරුම් ගන්න. එහි අදහස ශරීරයේ ස්‌පර්ශ කාමය යන එක්‌ අංගයකින් පමණක්‌ විග්‍රහ කිරීමක්‌ නොවේ. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියයන් අනිසි ලෙස පිනවීමෙන් වළකිමි, යන්න එහි සැබෑ විග්‍රහයයි. ලෝවැඩ සඟරාව පරිදි ‘දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ’ ඉතා දුකින් ලබාගත් මනස උසස්‌ මිනිස්‌ භවයේදීත් කිසිදු තැකීමක්‌ නොමැතිව තිරිසන් නිරි සත්වයින් හැසිරෙනනාක්‌ මෙන් අපද හැසිරෙන්නේ නම් මහා මංගල සූත්‍රය පරිදි මෙතරම් සුදුසු පතිරූප දේශයක අප ඉපදී තිබියදීත් මිනිසත්බව ලබාවුවද බුදුවදන් පරිදි නිවන් නොදකින කාරණා අටෙන් එක්‌ කරුණක්‌ වන අවාසනා ප්‍රත්‍යන්ත දේශයක ඉපදීම හා අවාසනාවන්ත කාරණාව බලෙන්ම අපද ආරෝපණය කරගෙන නොමැති ද සුදනනිෘ මොහොතක්‌ සිතන්න.

සය අවුරුදු දුෂ්කර ක්‍රියාවකට පසු බෝධි සත්වයාණන් වහන්සේ අත්තකිලමතානු යෝගය හැරදමා කාමසුකල්ලිකානුයෝගයක්‌ එපා මැදුම් පිළිවෙළ මෙය යෑයි සහසුද්දයෙන් පෙන්වාදී සාමාන්‍ය ආහාරයෙන් පමණක්‌ තමන් වහන්සේ පෝෂණය විය. කරණීය මෙත්ත සූත්‍රය අනුසාරයෙන් මෛත්‍රී කිරීමට සුදුස්‌සාගේ ගුණාංගවල ඇති අංක අටවැන්න අනුව ‘සුභරෝච’ පහසුවෙන් පෝෂණය කළ හැකි වූවෙක්‌ විය යුතුය.

සතුන් මරා මරවා එම මරණ අනුමත කිරීමකින් මාංශ අනුභව කිරීම පහසුවෙන් පෝෂණය වීමක්‌ නොවන්නේය. මස්‌ මාංශ යනු අනිවාර්යයෙන්ම කාමසුඛල්ලිකානු යෝගයට අයත් අධිපෝෂණ ආහාරයන්ය. මෙවන් ආහාර කරනකොටගෙන කාමය, රාගය, ශරීර කදම්භ තුළ නිතැනින්ම වැඩෙන බව අමුතුවෙන් පෙන්වා දිය යුත්තක්‌ නොවේ. එයින් වනුයේ නිවන දුරින් දුරට ඈත්වීමයි. කාම තෘෂ්ණාව බදා ගැනීමයි.

මනුෂ්‍යයින් වන අපට ඉහත කරුණු කාරණා විශේෂයෙන් පහදාදීමක්‌ අවශ්‍ය නොවේ. මස්‌ මාංශ දන් දෙනවා සහ දන් ලබනවා යනු සතුන්ගේ නොනිමෙන කාමය, රාග ගින්න යලි යළි දැල්වීමට දෙන උඩගෙඩි දානයක්‌ වශයෙන් එකහෙලා විග්‍රහ කළ හැකිය. එය එසේ නොවන්නේ දැයි අපහට පහදා දෙනු මැනවි සුධනනිෘ සුදන සාධුනි.

බුදුරජාණන් වහන්සේ මෙකී අන්ත දෙකින්ම මිදී සාමාන්‍ය නිර්මාංශ ආහාරයෙන් පෝෂණය වී දහවල් ඉර අවරට ගිය පසුද ආහාර නොවළඳා මැදුම් පිළිවෙත අනුගමනය කළ සේක. කෙටියෙන්ම පවසුවහොත් මස්‌ මාංශ යනු වාජීකරණ ආහාරයකි. පසු කලෙක බුදුරජාණන් වහන්සේ භික්‌ෂුන්ට දේශනා කළේ වාජීකරණ ඖෂධයන් වන ලූනු වර්ග පවා නොවළඳ ලෙසටය. මෙවැනි ශාරීරික ස්‌වභාව තත්ත්වයනට ප්‍රතිවිරුද්ධව බුද්ධත්වයට පත්වූයේ (අත්තකිලමතානු දුෂ්කර යෝගයෙන් පසුව) මස්‌ මාංශ වළඳමින් යෑයි කොතැනකවත් සඳහන් වන්නේද? විමසන්න.

එසේ නම් සය අවුරුදු දුෂ්කර ක්‍රියාවෙන් පසු මාංශ අනුභව කර තම ශරීරය පෝෂණය කරගත්තේ කවදාද? කොතැනකදීද? උන්වහන්සේගේ ශරීරය වඩවා ගැනීමට තවත් අප සේම ජීවත්වීමට ආශා ඇති දුකින්ම ශරීරය වඩවාගත් දුක, වේදනාව, දරු කැක්‌කුම ඇති මව් කුස්‌වලින් තමන් වහන්සේ ආකාරයෙන්ම බිහිවූ ජීවිත නිහඬවම හඬවමින් සරණ විය යුතු අන්ත අසරණ සත්වයින්ගේ ප්‍රාණය බලයෙන් වධයෙන් තුරන් කරමින්, අසරණ ජීවිත පළවා හරමින්, මරණ අඳෝනාවෙන් ලබාගත් මාංශවලින්ද? එවැන්නක්‌ බුද්ධ චරිතයේ කොතැනකවත් අන්තර්ගතව ඇත්ද සුධනනිෘ සුදන සාධුනිෘෘ

මෘත ශරීරවලින් ලබාගත් දෙතිස්‌ කුණුප කොටස්‌වලින් වැගිරෙන කුණුවූ ලේ සහිත දුගඳ හමන, කුණුවී යන මාංශ කොටස්‌වලින් යුත් ආහාර වළඳමින් බෝධි සත්වයින් වහන්සේ උතුම් බුද්ධත්වය කුණුවූ මාංශ සහ රුධිර හා දෙතිස්‌ කුණුප කොටස්‌ තුළින් ප්‍රාර්ථනා කළ සේක්‌ද? කැලයේ නීතිය රජකර වූ සේක්‌ද? වැදි දහම බුදුදහමට අන්තර්ගත කළ සේක්‌ද? සුධනනිෘ එය සත්‍යයක්‌ නම් වැදි දහමක්‌ අපට තවත් කුමකටද? එවිට බුදුදහමද සෙසු මිථ්‍යා දෘෂ්ටික දහම්ද එක හා සමාන නොවන්නේද? සුධනනිෘ මෙලොව පහළ වූ අතිශ්‍රේෂ්ඨතම දාර්ශනිකයාණන් වහන්සේගේ දාර්ශනික දහම හෑල්ලුවට ලක්‌වී ඇත්තේ කුමන අවාසනාවකටදැයි අපට තේරුම්ගත නොහැක. ‘මහණෙනිෘ මාගේ දහම ප්‍රඥවන්තයින්ට පමණි’ දේශනා කළෝ බුදුන් වහන්සේමය.

බුදුපියාණන් වහන්සේ පහළ වී සිටි උතුම් සද්ධර්මය දේශනා කළ කාලයේදීද, බත් සැලි සැටක්‌ උයවා කෑම සැපයීමට තරම් විශාල අනුගාමික පිරිසක්‌ බුදුරදුන්ගෙන් බුදුබව උදුරා ගැනීමට මාන බැලූ දේවදත්තයාටද සිටියහ. දේවදත්තයා අවිහිංසාවාදියෙකි. නිර්මාංශකයෙකි. එහෙත් බුදුරදුන් මංශ වැළඳුවෝය, ඒ නිසා අප ද වැළඳමු යනුවෙන් කෑකෝ ගසන්නෙන් අඳ බාලයෝ අද ද සිටිති. සිය තරුණ කාලයේදී අහසේ සැරිසරන පක්‌ෂීන් විනෝදයට දුන්නෙන් විද මරා ආහාරයට ගත් දේවදත්තයාගේ දෙව්දත් චරිතය බොහෝ දෙනා අමතක කර ඇත.

අසරණ සරණ වූ සම්බුදුපියාණන් වහන්සේ, එසේම මහා කරුණා සමාපත්තියට මැදියම් රැයේ සිට දෛනිකව පාන්දර යාමය දක්‌වා සමවැදුනු සම්බුදුරජාණන් වහන්සේ, සියල්ලන්ට ශාන්තිය උදා කළ ශාන්ති නායකයාණන් වහන්සේ, අනන්ත විශ්වයේ සියලු ලෝකතලවල සිටින සියලුම ජීවී කොටස්‌වලට ‘මෙත්තංච සබ්බ ලෝකස්‌මිං’ යනුවෙන් මෛත්‍රිය දොaරේ ගලාගිය හදවතක්‌ ඇති බුදුපියාණන් වහන්සේත් ලේ බිබී මස්‌ කකා උතුම් බුද්ධත්වයට පත්වූ බව විශ්වාස කරන්නේ මොන පව්කාර සිතකින්ද? මොන විකාර බුද්ධියකින්ද සුධනනිෘ

නියත විවරණ ලබා සාරා සංෙඛ්‍යයිය කල්ප ලක්‌ෂයක්‌ පෙරුම් පුරමින් තමන් වහන්සේගේ ශරීර කොටස්‌ මිස, අනුන්ගේ ශරීර කොටස්‌ බලයෙන් ලබාගෙන හෝ වෙළෙඳපොළෙන් මිලදී ගෙන හෝ දන්දුන් බවක්‌ සඳහන් වන්නේ කොතැනකදීද යනු දැන ගැන්මට අපද කැමැත්තෙන් සිටිමු.

උතුම් කරණීය මෙත්ත සූත්‍රය පරිදිද මාංශ ශරීරගත කිරීම කිසිසේත් සරල දිවි පැවැත්මක්‌ නොවනු ඇත.

එසේම ‘සන්තින්ද්‍රියෝච නිපකෝච’ අනුව රීරි මාංශ වළඳා කිසිසේත් ස්‌වකීය ඉන්ද්‍රියයන් සංවර කරගත නොවේ. එය ජීව විද්‍යානුකූලය. තම තම ශරීර තත්ත්වයන්ගෙන් සිත් සතන් තුළ ඇතිවන රාග සිතුවිලි තුළින්ම විමසුම වටී.

දුසිල් හෝ සිල්වත් සිත් කෙසේද යන්න මැනීමට මෙතෙක්‌ යන්ත්‍රයක්‌ ලොව නිපදවා නැත. සිල්වත් තත්ත්වයේ (ගිහි හෝ පැවිදි) මූලික මිනුම් දණ්‌ඩ වනුයේ ප්‍රථම දෙවැනි මූලික සිල්පද කඩා නොගන්නා ආහාර දානමය බව අමුතුවෙන් කිව යුතු නොවේ. දම්වැලක පුරුක්‌ පරිද්දෙන් ඇති සියලු සිල්පද මූලික සිල්පද සිඳලීමෙන් කැඩීබිඳී යනු වැළැක්‌විය නොහැක.

මෙම සියලු කරුණු කාරණා නැවත නැවත විමර්ශනය කිරීමේදී අපහට පෙනී යන මූලිකම සිද්ධාන්තය වනුයේ පංච ඉන්ද්‍රියයන් පිනවීම යනු නිර්-වානය සාක්‌ෂාත් කර ගැනුම අහස පොලොව මෙන් පරස්‌පර වීමක්‌ බවය. යමෙකුට අවශ්‍යතාවක්‌ ඇතිවුවත් පාරවල් දෙකක එක විට කිසිසේත් ගමන් කළ නොහැක. එයම ඔබට කදිම උදාහරණයකි. පංච ඉන්ද්‍රියයන් පිනවීම යනු මාරයාට අවනත වීමකි. තෘෂ්ණාවකි. වානයකි. රේල් ලීපි දෙකක්‌ කොතැනකදීවත් එක්‌ නොවන පරිදිම වානය කෙලෙසවත් ‘නිර්’ වන්නේ නැත.

සචිත්ත පරියෝ ද පනං – ඒතං බුදධානු සාසනං සියලු බුදුවරයන් වහන්සේලාගේ දහම එයයි. බැතිමතුනිෘ තෙරුවන්සරණයි.