Spread the News

rajitha

කිසියම් සංවිධානාත්මක පිරිසක් ඉකුත් 10 වැනිදා මාධ්‍යවේදියකු පැහැරගත් බවට පොලිසියට ලැබී තිබූ අසත්‍ය පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න මහත්වරුන් අපරාධ කොට්ඨාසයට කැඳවා ප‍්‍රශ්ණ කර තිබේ.
 
 මහිම සහ සියරට නමැති පුවත්පත් දෙකෙහි සේවය කරන තමන් ඉකුත් 10 වැනිදා සේවයට පැමිණෙමින් සිටියදී මීරිගම ප‍්‍රදේශයේදී සිව්දෙනකුගෙන් යුතු කල්ලියක් පැහැරගෙන ගිය බවට මාධ්‍යවේදියකු විසින් මෙම පැමිණිල්ල සිදු කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
 
 පැහැර ගැනීමෙන් පසු විනාඩි හතළිස් පහක පමණ කාලයක් වාහනයකින් රැුගෙන ගොස් දත්ත ගබඩා කර ඇති ‘චිප්’ එකක් පිළිබඳව තමන්ගෙන් විමසමින් පුළුස්සා වධහිංසා කළ බවද එම මාධ්‍යවේදියා සිදුකළ පැමිණිල්ලේ සඳහන්ව තිබී ඇත.
 
 පසුව තමන් කොළඹට රැුගෙන විත් අදාළ කල්ලිය කොළඹ මාලිගාවත්ත ප‍්‍රදේශයේදී අතහැර දමා ගිය බවට ද සිය පැමිණිල්ලෙන් ප‍්‍රකාශ කර තිබුණු එම මාධ්‍යවේදියා දින හයක කාලයක් පිළිස්සුම් තුවාල සඳහා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලැබූ බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
 
 මෙම පැමිණිල්ලත් සමග විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාසය සීසීටීවී දර්ශන ඔස්සේ යමින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පැමිණිල්ලක් බවට කරුණු හෙළිකරගෙන ඇත.
 
 අදාළ මාධ්‍යවේදියා පිළිස්සුම් තුවාල සිදුකරගෙන ඇත්තේ දඹදෙණිය ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඉකුත් නවවැනිදා රාති‍්‍රයේ ‘මේසන් හැන්දක්’ රත් කිරීමෙන් බවට ද පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.
 
 සිද්ධිය සිදුවූ බවට ඔහු සඳහන් කළ දිනයේදී එම මාධ්‍යවේදියා මීගමුව ප‍්‍රදේශයේ සිට දුම්රියකින් පැමිණ දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් බැස යන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වී තිබෙන ආකාරය ද පොලිසිය හෙළිකරගෙන ඇති අතර එසේ පැමිණි ඔහු එදින දහවල් කෙළින්ම ගොස් ඇත්තේ තිඹිරිගස්යාය ප‍්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්නගේ කාර්යාලයට බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා අනාවරණය කළේය.
 
 එහි යෑමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතා එම කාර්යාලයට පැමිණ එම මාධ්‍යවේදියා සමග කතාබහ කිරීමෙන් පසු ඔහු රෝහල්ගත කර තිබෙන බව ද හෙළිවී ඇත.
 
 ඒ අනුව එම අසත්‍ය පැමිණිල්ල සිදුකිරීම සහ එය සිදුකළ පුද්ගලයා සමග සාකච්ඡුා කිරීම පිළිබඳව ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා රාජිත සේනාරත්න මහතා සහ චතුර සේනාරත්න මහතා කොළඹ අපරාධ කොට්ඨසයට කැඳවීමට තීරණය කළ බව ද අජිත් රෝහණ මහතා කීය.
 
 එම අසත්‍ය පැමිණිල්ල සිදුකළ මාධ්‍යවේදියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එවන් කි‍්‍රයාවක යෙදුණේ කුමක් නිසාදැයි යන්න පිළිබඳව සොයා බැලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන අරඹා ඇත.

 සමන් ගමගේ –divaina