Spread the News

මානව හිමිකම් චෝදනා නගමින්
රට යළි අස්‌ථාවර කිරීමට තැත් කරනවා
– ජනපති බොලිවියාවේදී රාජ්‍ය නායකයන් සමග පවසයි

ගැටුම් අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක්‌ කරා ගමන් කරන අවස්‌ථාවේ බාහිර බලවේග මානව හිමිකම් චෝදනා නගමින් රට යළි අස්‌ථාවර කිරීමට උත්සාහ කරමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රකාශ කළේය. බොලිවියාවේ පැවැත්වෙන 77 කණ්‌ඩායමේ ස්‌වර්ණ ජයන්ති අනුස්‌මරණ රාජ්‍ය හා ආණ්‌ඩු නායක සමුළුවට සහභාගි වීමට පැමිණ සිටි රාජ්‍ය නායකයන් කිහිපදෙනකු සමග පැවැති ද්විපාර්ශීක සාකච්ඡාවලදී ජනාධිපතිවරයා මේ බව පැවැසීය. 77 කණ්‌ඩායමේ ස්‌වර්ණ ජයන්ති අනුස්‌මරණ රාජ්‍ය හා ආණ්‌ඩු නායක සමුළුවට සහභාගි වීම සඳහා බොලිවියාවේ සැන්ටා කෲස්‌ නගරය වෙත ගොස්‌ සිටින ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සමුළුව පැවැති එක්‌ස්‌පෝ කෲස්‌ අපනයන කේන්ද්‍රයේදි ඉරිදා (15 දා) රටවල් කිහිපයක නායකයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.

ගැබෝන් අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඔනා ඔන්ඩෝ, උරුගුවේ ජනාධිපති හොසේ මුජිකා සහ ඉක්‌වටෝරියල් ගිනි ජනාධිපති ටියඩෝරෝ ඔබියැංග් නියුමා ම්බසාගෝ ඔහු හමු වූ නායකයෝ වූහ.

රට දෙකඩ කිරීම සඳහා ත්‍රස්‌තවාදී සටනක්‌ කළ එල්ටීටීඊය දේශපාලන නායකයන්, සිවිල් වැසියන් හා නිලධාරීන් ඝාතනය කරමින් හා පොදු දේපළ විනාශ කරමින් සිදු කළ හානිය ජනාධිපති රාජපක්‌ෂ මහතා විස්‌තර කළේය.

සෑම ආණ්‌ඩුවක්‌ම සාකච්ඡා මගින් ප්‍රශ්නයට විසඳුමක්‌ සෙවීමට උත්සාහ කළ බවත්, තම රජය ද සාම සාකච්ඡා සඳහා ජිනීවා හා ඔස්‌ලෝ නගර වෙත ගිය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එහෙත් ත්‍රස්‌තවාදීන් බෙදුම්වාදය අත්හලේ නැත. එබැවින් යුදමය ක්‍රියාමාර්ගයකින් ත්‍රස්‌තවාදය පරාජය කිරීමට තම රජය සමත් වූ බව ඒ මහතා විදේශ නායකයන්ට පෙන්වා දුන්නේය.

“ගැටුම් අවසන් වීමෙන් පසු අපි රට වේගයෙන් සංවර්ධනය කිරීම ආරම්භ කළා. අවතැන්වූවන් යළි පදිංචි කළා. 12,000 ක්‌ පමණ සටන්කරුවන් පුනරුත්ථාපනය කර සමාජගත කෙරුණා. සියලු හිටපු ළමා සෙබළුන් දෙමාපියන්ට භාර දුන්නා. ගැටුම් පැවති ප්‍රදේශවල අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම් සහ ජීවනෝපා මාර්ග අංශවල ආකර්ශනීය ප්‍රගතියක්‌ ඇති වී තිබෙනවා.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම සහ අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව ඇතුළු ජාතික සංහිඳියාව සඳහා කොමිෂන් සභා පත් කෙරුණු බවද ඒ මහතා පැවැසීය.

මෙවැනි ප්‍රගතියක්‌ අත්කර ගෙන තිබුණ ද බාහිර බලවේග මානව හිමිකම් චෝදනා නගමින් රට යළි අස්‌ථාවර කිරීමට උත්සාහ කරමින් සිටින බව රාජපක්‌ෂ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ යථාර්ථය පැහැදිලි කර දීම පිළිබඳව ගැබෝන්, උරුගුවේ හා ඉක්‌වටෝරියල් ගිනි රාජ්‍ය නායකයෝ ජනාධිපතිවරයාට ස්‌තුතිය පුද කළහ.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා කියුබා ජනාධිපති රාවුල් කස්‌ත්‍රොa මහතාද හමුවිය. ජාත්‍යන්තර වේදිකාවලදී ශ්‍රී ලංකාවට අඛණ්‌ඩව සහය දෙන බවට කියුබානු ජනාධිපතිවරයා එහිදි සහතික විය. ලබාදෙන සහයෝගයට ජනාධිපතිවරයා කියුබාවට ස්‌තුතිය පළ කළේය.