Spread the News
 මාවිල් ආරු සොරොව්ව වසා දැම්ම වෙලාවේ  අතුරලියේ රතන හිමියන්ට ඒ ස්ථානයට ගිහින් අපේ රණවිරුවන් දිරි ගැන්වීමට හැකිවුණේ උන්වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කළ නිසයි.
එහෙම නැතිව මම ඇමරිකාවේ සංඝනායක කියල මට එතනට යන්න පුළුවන්ද? –
ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය වල්‍පොල පියනන්ද නාහිමි 

source:

ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වල්‍පොල පියනන්ද නාහිමි
ප්‍ර- නායක හාමුදුරුවනේ. භික්ෂු දේශපාලනය පිළිබඳ පරණ ප්‍රශ්නයම යළිත් මතුවෙලා. සැබවින්ම භික්ෂුවගේ සමාජ දේශපාලන භූමිකාව කුමක්ද?
ඉතිහාසය පුරාම අපේ සිංහල භික්ෂුව පන්සලටම සීමා වී සිටියේ නැහැ. රටේ පාලනයේ උපදේශකත්වය දැරුවේ භික්ෂුවයි. රටේ ආර්ථික, සමාජයීය, ආදී සෑම දෙයකටම භික්ෂුවගේ තීරණ බලපෑවා. රජවරු සියල්ල මෙහෙයවුවේ භික්ෂුන් වහන්සේගේ උපදෙස් අනුවයි. ඒ අනුව බැලුවම භික්ෂුව මේ සමාජ ස්ථරයෙන් අයින් කර තබන්න බැහැ.  රටේ පාලනයට අවශ්‍ය උපදෙස් දීම මෙන්ම පාලකයන් යහ මගට මෙහෙයවීමේ වගකීම භික්ෂුවට අතීතයේ සිට උරුම වූවක්. අතීතයේ සිටම මේ දක්වා සමාජ දේශපාලන ආදී කාරණා සමග භික්ෂුව ගැටුණු කෙනෙක්. ඒ උරුමය අනාගතයටත් එලෙසම තමයි. එයට කිසිවකුට අභියෝග කරන්න බැහැ.

 

ප්‍ර- භික්ෂූන් වහන්සේලා පිරිසක් 2004දී පාර්ලිමේන්තුවට වැඩියා. මේ පෙරළිකාර සිද්ධිය ඔබ වහන්සේ දකින්නේ කෙලෙසද?

 

අපේ හාමුදුරුවරු කීපනමක් පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම් වන විට ඊට එරෙහිව මුලින්ම ප්‍රකාශයක් කළේ මමයි. නමුත් ටික කාලයක් යන විට මට තේරුණා එදා මම ගත්තේ වැරදි තීරණයක් කියලා.
එදා එක්සත් ජාතික පක්ෂයේ සිටි ප්‍රබල ඇමැතිවරයකුගෙන් මම ඇසුවා මේ හාමුදුරුවරු පාර්ලිමේන්තු පිවිසීම ගැන මොකද හිතෙන්නේ කියලා. “අනේ හාමුදුරුවනේ පාර්ලිමේන්තුවට හාමුදුරුවරු පිවිසීම මොනතරම් ආශීර්වාදයක්ද. අපේ මන්ත්‍රීවරු දැන් වෙනදා වගේ කෑ කෝ ගසන්නේ නැහැ. ඉතා සංවරව හැසිරෙනවා කියා ඒ ඇමැතිතුමා එදා මට කිව්වා. ඒ වගේම අපේ හාමුදුරුවරු පාර්ලිමේන්තුවේ ක්‍රියා කළ අන්දම බැලුවහම තව තවත් හාමුදුරුවරු මැති සබයේ සිටිය යුතුයි කියලා මට හිතෙනවා.
ප්‍ර- ඔබ වහන්සේ ඇයි? එහෙම ප්‍රකාශ කරන්නේ.

 

දැන් බලන්න 1956 ඉඳලම බලයට පැමිණි සෑම  ආණ්ඩුවක්ම පාලනය කළේ කවුද? ජාතිවාදී පක්ෂ නොවේද? මේ නිසා ඒ ඒ ආණ්ඩු මොනතරම් අපහසුතාවලට පත් වුණාද? නමුත් අපේ හාමුදුරුවරු  පාර්ලිමේන්තු පිවිසීමෙන් ඒ තත්ත්වය නැතු වුණා නේද? එය මොනතරම් ජයග්‍රහණයක්ද?  එය ආණ්ඩුවට මොනතරම් පහසුවක්ද. අනෙක සුරාවට සූදුවට එරෙහිව මේ හාමුදුරුවරු මැති සබයේ එඩිතරව හඬ නැගුවා.

ප්‍ර-  භික්ෂුවගේ පාර්ලිමේන්තු ආගමනයෙන් ශාසනික පරිහානියක් වූ බව සමහරු කියනවා. මේ ගැන නායක හාමුදුරුවන්ගේ අදහස කුමක්ද?

 

ඒක මොනතරම් සාවද්‍ය  කතාවක්ද? දැන් ඔය අපිට විටින් විට ශාසන විරෝධී ක්‍රියා අහන්න දකින්න ලැබෙන්නේ හාමුදුරුවරු පාර්ලිමේන්තු පිවිසි නිසාද. මේවා මේ අනුන්ට ඊර්ෂ්‍යා කරලා තමන් සතුටු වෙන්න කියන කතානේ.
ශාසනික පරිහානි වෙනවානම් ඊට පිලියම් යෙදිය යුත්තේ අපේ ප්‍රධාන නායක හාමුදුරුවරු මිසක් ගිහියන් ගෙනෙන පනත් වලින් නොවේ. දැන් පසුගිය දිනවල මම දැක්කා අධිවේගී මාර්ගයේ ගමන් කළ භික්ෂුවක් අනවශ්‍ය ලෙස හැසිරුණා කියලා අන්තර්ජාලයේ තිබුණා. තව කෙනෙක් වාහනයක් පදවගෙන ගිහින් අනතුරක් වුණා කිව්වා. මේවා වුණේ හාමුදුරුවරු පාර්ලිමේන්තු ගිය නිසා කියලත් සමහර අඥානයෝ හිතනවත් ඇති.
ඒ මොකුත් අවශ්‍ය නැහැ. මම මෑතක දී අන්තර්ජාලයෙන් දැක්කා අඩෙක්කලනාදන් නමැති ද්‍රවිඩ සංවිධානයේ මන්ත්‍රීතුමා අපේ  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණා උතුරු නැගෙනහිර ඒ අයගේ නිජබිම සිංහලයන් අල්ලා ගෙන කෝවිල් කඩල ඒ උඩ පන්සල් හදනවා කියලා. නමුත් ඒ දවසේ පාර්ලිමේන්තුවේ හිටපු අපේ එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ ඒ කතාවට අභියෝග කරමින් කියා තිබුණා කෝවිලක් කඩා පන්සලක් හදපු එක තැනක් තියෙනවා නම් පෙන්වන්න කියලා. එසේම උන්වහන්සේ පෙන්වා දී තිබුණා පන්සල් කඩා කෝවිල් හදපු තැන් සිය ගණනක්.
දැන් බලන්න අඩෙක්කලනාදන්ගේ මේ කතාවට ඇමරිකාවෙත් ප්‍රචාරයක් ලැබුණා. නමුත් එල්ලාවල හාමුදුරුවන්ගේ පිළිතුර නිසා ඒ කතාව නිෂ්ප්‍රභ වුණා. අපේ හාමුදුරුවෝ පාර්ලිමේන්තුවේ නොසිට පිට ඉඳලා ඒ කතාවට පිළිතුරු දුන්නා නම් එය අන්තර්ජාතිකව යන්නේ නැහැ. එහෙනම් ලෝකය පිළිගන්නේ අර මන්ත්‍රීන්ගේ ප්‍රකාශය පමණයි. මෙන්න මේ වගේ සිද්ධි අනන්තවත් තිබෙනවා කියන්න. අනික ඔය මම කිව්ව වගේ ප්‍රශ්න ආවම පිළිතුරු දෙන්න අද ඔය හාමුදුරුවරුන්ගේ දේශපාලනය තහනම් කරන්න යන අයට පුළුවන්ද?
ප්‍ර- භික්ෂු දේශපාලනය පිළිබඳ මේ සංවාදය ගැන අන්තර්ජාතික සමාජයෙහි ඇතිවෙලා තිබෙන කතාබහ කොහොමද හාමුදුරුවනේ.
අන්තර්ජාතිකවනම් අපේ භික්ෂූන් වහන්සේට එරෙහිව විවිධ කුමන්ත්‍රණ දියත් වෙනවා. ත්‍රස්තවාදය පවතින තාක් කල්  එල්.ටී.ටී.ඊ.යට හිතවත් ජාත්‍යන්තරයේ අය කිව්වේ ලංකාවේ භික්ෂූන් ඉන්නකල් ලංකාව අල්ල ගන්න බැහැ කියලයි. එල්.ටී.ටී.ඊ.ය. නිතරම ජාත්‍යන්තරය ඉදිරියේ අඳෝනා නැගුවේ ඒ අයට බලය අල්ලන්න බැරි මේ භික්ෂූන් ඉන්න නිසයි කියලයි.
ඒ නිසා භික්ෂුවගේ බලය බිඳින්න ඕනේ කියලා කොටි ප්‍රජාව එදා ජාත්‍යන්තරය ඉදිරියේ අඳෝනා නැගුවා. අද වෙනස් මුහුණුවරකින් ආවත් මේ හදන්නේ භික්ෂුවගේ බලය බිඳ දැමීමේ උත්සහයක් බව නම් පෙනෙනවා.

ප්‍ර-  දැන් නායක හාමුදුරුවනේ ලෝකයේ වෙනත් රටවල පූජ්‍ය හා පූජකවරු දේශපාලනයේ නිරතව නැද්ද?

මම දැනුවත්වම ඇමරිකාවේ ජනාධිපතිවරණයට කතෝලික පූජකවරු තිදෙනෙක් තරග කළා. මන්ත්‍රීකම්වලට නොවේ ඇමරිකාවේ ජනාධිපතිකමට. ජැසි ජැක්සන් පියතුමා තමයි ඒ අතර ප්‍රසිද්ධත්වයක් ඉසුලුවේ. ඒ අය පැරදුන එක වෙනම වැඩක්. නමුත් ඡන්දය ඉල්ලුවා. ඒ මොකුත්  ඕනේ නැහැ. අපේ අසල්වැසි ඉන්දියානු රජය කෝසලාමා නැමැති ටිබෙට්  භික්ෂූව කොංග්‍රසයට පත්කළා. එසේම හරිජන ප්‍රජාව නියෝජනය කිරීමට හරිජන හාමුදුරුනමක් කොංග්‍රසයට පත් කළා. ඒ අය මන්ත්‍රීවරු ලෙස වැඩ කළා.  මේ වගේ ලෝකයේ මොනතරම් උදාහරණ තිබෙනවාද කියන්න.
අනෙක බලන්න එදා කොටි මාවිල් ආරු සොරොව්ව වසා දැම්ම වෙලාවේ  අතුරලියේ රතන හිමියන්ට ඒ ස්ථානයට ගිහින් අපේ රණවිරුවන් දිරි ගැන්වීමට හැකිවුණේ උන්වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කළ නිසයි. එහෙම නැතිව මම ඇමරිකාවේ සංඝනායක කියල මට එතනට යන්න පුළුවන්ද? මාවිල් ආරු ප්‍රශ්නය නිසානේ මේ ත්‍රස්තවාදය තුරන්කර දැමීමේ මුලාරම්භය ඇතිවුණේ. මේවා ජාත්‍යන්තරය දන්නවා. ඒ නිසා තමයි විවිධ මුහුනුවරින් භික්ෂුවගේ බලය බිඳින්න පිල්ලි එවන්නේ.
අනෙක ජාත්‍යන්තරය දන්නවා මේ රටේ මහා සංඝරත්නය මහින්ද රාජපක්ෂ මහතා සමග ඉන්න බව. පන්සල සමග දැඩි සම්බන්ධයක් එතුමාගේ තිබෙන නිසා එතුමා පරදන්න බැරි බව මේ රටේ සමහරුන් වගේම ජාත්‍යන්තරයත් දන්නවා. අද එජාපය පන්සල් ගැන, හාමුදුරුවරු ගැන මොනවා කතා කළත් පන්සල් ගානේ ගිහින් පනස් දහ ගානේ දුන්නත් හාමුදුරුවරුන් හරව ගන්න බැහැ. ඒ නිසා මේ ආණ්ඩුව  බිඳ හෙළන්න නම් තිබෙන එකම ක්‍රමය භික්ෂුවගේ බලය බිඳ දැමීම කියලා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවෝ කල්පනා කරනවා. හාමුදුරුවන්ට දේශපාලනය තහනම් කිරීමේ කතා බහ ඇතිවුණ විගසම  එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ කියලා තිබුණා මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා. උන්වහන්සේගේ ඒ ප්‍රකාශය අන්තර්ජාලයෙන් අප දුටුවා.
මේධානන්ද හාමුදුරුවන්ගේ  ඒ ප්‍රකාශය හරියටම හරි. මේ ගෙනෙන යෝජනාව ශාසනයට ආදරයෙන්වත්, හාමුදුරුවරුන්ට ආදරයෙන්වත්  ගෙනෙන්නක් නොවේ. මෙය සම්පූර්ණයෙන්ම හාමුදුරුවරුන්ගේ කට වසා අතපය බැඳ දැමීමට ගෙනෙන භයානක යෝජනාවක්. මෙය තනිකරම දේශපාලන කපටිකමක්. ශාසනයට ආදරේනම් කළ යුත්තේ මේවා නොවේ.
අද ශාසනය නසන, ධර්ම විනය විකෘති කරන ක්‍රියා කටපුරාම සිදුවෙනවා. වඳුරඹ සිද්ධිය උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්. දහම් ‍පොතපත විකෘති කරනවා. බුදුවරු, සෝවාන් වූ අය කියා මිනිසුන් රවටනවා. ලංකාවේ බුදුන් පහළ වුණා කියනවා. අන්න ඒ වගේ සසුන නසන ක්‍රියා වළක්වන්නයි පනත් ගෙන ආ යුත්තේ.
භික්ෂු බලය සිඳලීමේ මේ කුමන්ත්‍රණය පිටුපස සී.අයි.ඒ. වැනි සංවිධාන ඉන්නවා කිව්වොත් ඒක පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ අය තමන්ගේ  හෙංචයියන් දාලා භික්ෂු බලය බිඳලන්න කලක සිටම උත්සහ කළා.
ප්‍ර- එතකොට ඔබ වහන්සේ කියන්නේ මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලයි.
අනිවාර්යෙන්ම එය සත්‍යයක්. මොකද ජාත්‍යන්තරයේ ඉන්න කෙනෙක් හැටියට මම දන්නවා අපේ භික්ෂු බලය බිඳින්න මොනතරම් දේවල් ලෝකයේ ක්‍රියාත්මක වෙනවද කියලා. නමුත් මට කනගාටු විජේදාස රාජපක්ෂ මහතා වැනි හොඳ මහත්මයෙකුත් මේකට පැටලිලා ඉන්න එක ගැනයි. එතුමා  හොද අනාගතයක් තිබෙන මන්ත්‍රීවරයෙක් බව පෙනෙනවා. එතුමාගේ ඒ ගමන් මග විනාශ කර දාන්න කිසියම් පිරිසක් යටින් ක්‍රියාත්මක වෙනවද කියලා සැකයක් තිබෙනවා. මොකද මේ ප්‍රශ්නය එතුමා හරහා දාලා ඔන්න එහෙනම් අනාගනිං, ඇනගනිං  කිව්ව වගේ වැඩක් කියලයි මම නම් හිතන්නේ.
අනෙක මෙහෙමයි භික්ෂුවට දේශපාලනය තහනම් කළ යුතුයි කියලා අපේ ගතානුගතික කඳවුරෙ ඉන්න නායක හිමිවරු කීපනමක් කිව්වා කියලා ඒ අදහස බහුතර අදහස වෙන්නේ නැහැ. 5ක් වගේ කොටසක් තමයි එය පිළිගන්නේ.
ප්‍ර- අපට පෙනෙන හැටියට  මෙවැනි ගැටලු පැන නගින්නේ ශාසනික කතිකාවක් නොමැති නිසයි. මේ ගැන නායක හාමුදුරුවන්ගේ අදහස මොකක්ද?
හාමුදුරුවරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. හාමුදුරුවරු දේශපාලනය කරනවාද නැද්ද? ඡන්දයටඉදිරිපත් වෙනවාද නැද්ද? කියලා තීරණය කළ යුත්තේ අපේ නිකායන්හි සංඝ සභාවලින් මිස ගිහියන් නොවේ. ඒ සඳහා තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ ඒ සංඝ සභාවලටයි. සංඝ සභා එක් වී කතිකාවක් සාදා ගැනීම ඉතා වටිනවා. එවිට මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකියි.

ප්‍ර-  සාකච්ඡාව අවසන් කිරීමට පෙර ඔබ වහන්සේ තවත් යමක් ප්‍රකාශ කරනවාද?

මෙම යෝජනාව නිසා සෘජුව හෝ වක්‍රව හෝ සංඝ භේදයක් ඇති වී තිබෙනවා. නැති ප්‍රශ්නයක් ඇතිවීමෙන් මහා සංඝයා වහන්සේලා බේදවී දැන් විවේචනය කරගන්නවා. මේ යෝජනාව සංඝ භේදයට උඩගෙඩි දීමක් වෙලා. ඒ  නිසා සංඝ භේදය ඇති කිරීමේ පාප කර්මයටත් යෝජනාව ගෙන ආ අයට කරගහන්න වේවි.
දැන් බොහෝ කලක සිට කොටි ත්‍රස්තයන් අපේ භික්ෂුවගේ බලය, බිඳින්න ගෙන ගිය ලතෝනියට උඩ ගෙඩි දීලා මේ රට විනාශ කරා ඇදගෙන යෑමේ මූලාරම්භයකට තමා මේ සූදානම් වන්නේ.  මේ රට යළි කඩන්න, බෙදන්න පුළුවන් වෙන්නේ භික්ෂුවගේ කට වහලා අත පය බැඳලා දාලා බිහි කරන රූකඩ ආණ්ඩුවකින් පමණයි. ඒ නිසා ජාත්‍යන්තරයට නැටවිය හැකි රූකඩ ආණ්ඩුවක් බිහිකිරීමට කැසකවන  මේ භික්ෂුවට දේශපාලනය තහනම් කිරීමේ යෝජනාව සම්මත කළහොත් එය රටේ අනාගතයට බරපතළ ලෙස බලපාන ප්‍රශ්නයක් වෙනවා.

2012 ජූනි 25 වෙනි සදුදා ලක්බිම පුවත්පතින් උපුටා ගන්නා ලදි.
සාකච්ඡා කළේ – ධර්ම ශ්‍රී තිලකවර්ධන