Spread the News

මා එදා රෝම ප්‍රඥප්තියට අත්සන් නොකළ නිසා
මේ රටේ කිසිවකු යුද අධිකරණයට ගෙන යැමට බැහැ

source:
පියසේන දිසානායක

තමන් අගමැතිව සිටියදී රෝම ප්‍රඥප්තියට අත්සන් තැබීම ප්‍රතික්‍ෂේප කළ නිසා මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා ඇතුළුව කිසිදු ශ්‍රී ලාංකික පුරවැසියකු ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත පැමිණවිය නොහැකි බව එක්‌සත් ජාතික පක්‌ෂ නායක සහ විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26 වැනිදා) විශේෂ ප්‍රකාශයක්‌ කරමින්

මා එදා එක්‌සත් ජාතික පක්‌ෂය සැම විටම ශ්‍රී ලාංකීය විසඳුමක්‌ වෙනුවෙන් කැපවී සිටින බව අවධාරණය කළ රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව ආණ්‌ඩුවේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් පසුවන බවද සිහිපත් කළේය. ජිනීවා නුවර පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්‌වීම පිළිබඳව අදහස්‌ දක්‌වමින් හෙතෙම මේ බව සඳහන් කළේය. මේ රැස්‌වීමට ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට අමරිකා එක්‌සත් ජනපදය ගෙන ඇති ඒකමතික තීරණය පිළිබඳව දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක්‌ ලැබී ඇති නමුත් මෙම යෝජනාව කවුන්සිලය මගින් සම්මත කළද එය හුqදු කාල රාමුවක්‌ පිළිබඳව ප්‍රකාශයක්‌ පමණක්‌ බැවින් කිසිදු නෛතික බලපෑමක්‌ නොමැති බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙම යෝජනාව පරාජයට පත්වුවද එයින් ගැටලුව අවසන් නොවනු ඇති බවත් ඊළඟ සැසිවාරයට තවත් යෝජනාවක්‌ ඉදිරිපත් කළ හැකි බව අමතක නොකළ යුතු බවත් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා තවදුරටත් මෙසේද පැවැසීය.

ආණ්‌ඩුව විසින් උගත් පාඩම් කොමිසමේ සාධනීය යෝජනා ක්‍රියාත්මක කරලීම සම්බන්ධව එක්‌සත් ජනපද යෝජනාවේ සඳහන්ය. මේ යෝජනා ක්‍රියාත්මක කරලීම පිළිබඳ එකම වගකිව යුත්තා ආණ්‌ඩුව පමණක්‌ නම් සාධනීය යෝජනා කවරේදැයි තීරණය කිරීම ආණ්‌ඩුව සතුය. එහෙත් අපේ මතය අනෙකකි. කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කරලීම සඳහා පදනම් විය යුත්තේ ආණ්‌ඩුව හා විපක්‌ෂය අතර ඇති වන්නාවූ එකඟත්වයයි. ආරම්භයක්‌ ලෙසට දැනටමත් විපක්‌ෂයේ දේශපාලන පක්‌ෂයන්හි අනුමැතිය ලැබී ඇති යෝජනා ක්‍රියාත්මක කළ හැකිය. ආණ්‌ඩුව හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර සාකච්ඡා පදනම් කරගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ ස්‌ථාපිත කර තිබේ. ඒ සාකච්ඡාවන්හි හවුල්කාරිත්වය අපට නොමැත. නමුත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව ඇතුළු විෂය ක්‍ෂේත්‍රයන්හි වෙනස්‌කම් සිදුකරලීම් පිළිබඳ අපගේ යෝජනා පිළිගන්නේ නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වන බව අප දන්වා ඇත්තෙමු. අප කැපවී සිටින්නේ ශ්‍රී ලාංකේය විසඳුමක්‌ සඳහාය.

ආණ්‌ඩුව මේ වන විටත් එක්‌සත් ජාතීන්ගේ විද්වත් වාර්තාව හා උගත් පාඩම් කොමිෂන් වාර්තාව අතර සම්බන්ධතාව පිළිගෙන තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය 2011 පෙබරවාරි 15 දා එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත ලිපියක්‌ යවමින් කියා සිටියේ ඔබගේ ප්‍රවේශය උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසම අතර ඇත්තේ නිර්බාධිත සම්බන්ධයක්‌ බවයි. අනතුරුව එක්‌සත් ජාතීන්ගේ විද්වත් කමිටුව වෙත ලිතව කරුණු දක්‌වමින් ආණ්‌ඩුව පැවසූයේ යුද නාවික හා ගුවන් හමුදා පනත්වලට පටහැනිව ක්‍රියා කර ඇතැයි සැකයට පාත්‍ර වූ සන්නද්ධ හමුදා සාමාජිකයන් හමුදා අධිකරණ හෝ සිවිල් අධිකරණ ඉදිරියට පැමිණවීමේ යාන්ත්‍රණයකින් යුක්‌තිය ඉටු කළ හැකි බවයි.

ආණ්‌ඩුව මේ ලිත සාක්‌ෂි ඉදිරිපත් කළේ එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයාට උපදෙස්‌ දීම සඳහා පත් කළ විද්වත් කමිටුව වෙතයි. කමිටුව පත් කෙරුණේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනාවන් හි ස්‌වභාවය සැලකිල්ලට ගෙන අන්තර්ජාතික ප්‍රමිතීන් හා සාමාන්‍ය අත්දැකීම් පදනම් කර ගනිමින් දෙපාර්ශ්වයේම කැපවීම සර්ව සම්පූර්ණ කරලීම සඳහායි.

උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභා වාර්තාව ක්‍රියාත්මක කරලීම සඳහා තවත් ප්‍රමාණවත් කාලයක්‌ අවශ්‍ය යෑයි ආණ්‌ඩුව පැවසීමෙහි කිසියම් පදනමක්‌ ඇත. එහෙත් පසුගිය සති කීපය තුළ ආණ්‌ඩුව ගත් ක්‍රියා මාර්ග නිසා ආණ්‌ඩුව පිළිබඳ විශ්වාස බිඳ වැටී ඇත.