Spread the News

මැණිකක අගය දන්නාම මැණික රැකීමට උත්සුක වෙයි !

අගය අධික වූ මැණිකක් ඔබට හමුවුනා යයි සිතමු. එහි අගය ඔබට නොවැටහේ නම් ඔබ මැණිකට පයින් ගසා ඔබගේ ගමන යනු ඇත.

ඔබ එවන් වූ වටිනාකමක් ඇති මැණිකකට පා පහරක් එල්ල කලේ ඇයි ?

ඔබ එහි වටිනාකම නොදන්නා නිසාය. නොදන්නාකමට හේතුවී ඇත්තේ එහි ඇති වටිනාකම ගැන ඔබ ඉගෙනගෙන නොමැති නිසාය. ඒ අනුව එහි ඇති වටිනාකමට අදාළ පරීක්ෂාවන් ගැන ඔබ නොදන්නා නිසාය.

නමුත් ඔබ මැණික් වර්ග සහ ඊට අදාළ පරීක්ෂාවන් ගැන ඉගෙනගත් උගතෙකු නම් ?

හමුවූ මැණික ඔබ එම ප්‍රායෝගික පරීක්ෂාවක් සඳහා යොමුකරනු නිසැකය. නැතහොත් ඔබම එය පරික්ෂා කරනු ඇත. ඉන් පසුව පමණක් මැණිකක් යනු කුමක්ද යයි ඔබට වැටහෙනු ඇත.

ඔබ එහි වටිනාකම මැනගත්තා නම්,

ඔබ එය සුරක්ෂා කරනු වස් ඒ වෙනුවෙන් ඔබ නොකරන දෙයක් නැති වනු ඇත. එපමණක් නොව එම මැණික හමුවූ වපසරියද ඔබ දිවිහිමියෙන් රකිනු ඇත. ඒ ඉදිරියේදී තව තවත් මැණික් බලාපොරොත්තුවෙනි.

බලන්න ! ඔබ මැණිකේ වටිනාකම හඳුනාගත්තා නම්,

ඔබ මැණිකට කිසිදා අවමන් නොකරනු ඇත. මැණිකට නින්දා \ අපහාස නොකරනු ඇත. මැණික ඇති භුමිය නිති ගෞරව බහුමානයට ලක්කරනු ඇත. භූමියට ඔබගේ උපරිමයෙන් කැපකිරීම් කරනු ඇත. ඒ භුමියේ ආරක්ෂාව වෙනුවෙනි.

යමෙක් බුදු දහම නමැති අගනා මැණිකේ වටිනාකම හඳුනාගත්තා නම්,

ඔබ බුදු දහම නිති සුරකිනු ඇත. ඊට අබමල් රේණුවක තරමේ අවලාදයක්, අවමනක්, අපහාසයක්, නින්දාවක්, කිසිදා කිසිවිටත් නොකරනු ඇත. මැණික් හමුවන භුමිය හෙවත් පතිරුපදේශය සුරකිනු වස් එවිට ඔබ විසින් නොකරනු දෙයක් නැති වනු ඇත.

යමෙකු රටත්, ජාතියත්, සාසනයත් අල්පමාත්‍ර වූ අවමනට ලක් කරයි නම් ඒ නයින් ඔහු මානසික වර්ධනයක් නොමැති වූවකු බව පමණක් නිතර සිහියේ තබා ගන්න. මනස භාවිත නොකිරීම නිසා කෙලෙස් දුවිලි තැවරී ඇති මනස් වලට බිමේ වටිනාකමක්, ජාතියේ වටිනාකමක් , සාසනයේ වටිනාකමක් නොතේරේ.

වත්මන් උරුමක්කරුවන්ට සිදුවී ඇත්තේ ඒ ටිකය.

ස්තුතියි !     

– වෛද්‍ය ධම්මික විජේරත්න