“මහණෙනි, මේ මිථ්‍යා දෘෂ්ටිය යම් ආකාරයක් වෙත් ද එසේ මහා සාවද්‍ය වූ අන් එකදු ධර්මයකුදු මගේ සර්වඥතා ඥාණයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යා දෘෂ්ටිය වරදවල් අතරින් සියල්ලට ම මහත් වරද වේ” යනුවෙන් බුදුන් වහන්සේ වදාළ සේක.
මෙය දේශනා කර තිබෙන්නෙ කර්ම, කර්ම ඵල ප්‍රතික්ෂේප කරන නාස්තික, අහේතුක, අක්‍රිය යන දෘෂ්ටි වලට ය. එම දෘෂ්ටි අතුරින් කුමන දෘෂ්ටියක් ගත් අයෙකු වුවත් එය අත් නො හැරියේ නම් මරණින් පසුව සුගතියකට යෑමක් සිදු නො වේ. නිවන් අවබෝධ කිරීමක් සිදු නො වේ. ඒ දෘෂ්ටි සත්වයාගේ ස්වර්ග මෝක්ෂ දෙක ආවරණය කර තිබේ. ඒ දෘෂ්ටි ගත්තවුන් මරණය දක්වා ම එය අත් නො හැරියේ නම් ඒකාන්තයෙන් ම ඉපදීම සිදුවන්නේ නරකයෙ. එම නිසා මෙය නියත මිථ්‍යා දෘෂ්ටිය ලෙස හදුන්වනු ලබනවා. මිථ්‍යා දෘෂ්ටිකයෙකු එම දෘෂ්ටිය නිසා නොයෙක් අකුසල් කිරීමට යොමු වේ. ඒවා ද එකතු වී මිථ්‍යා දෘෂ්ටිය විපාක දීමේ දී ආනන්තරීය කර්ම වලටත් වඩා බලවත් ලෙස විපාක විඳීමට සිදු වේ. ආනන්තරීය කර්ම කළවුන් කල්ප අවසානයේ දී නරකයෙන් මිදෙන නමුදු නියත මිත්‍යා දෘෂ්ටිය ගත්තවුන් ලෝකය විනාශය සිදුවන අවස්ථාවේදී වෙනත් ලෝකයක නරකයක ඉපිද දුක් විපාක විඳීමට සිදු වේ. එමෙන්ම එසේ සිදුවන විපාකවල අවසානය පිළිබඳ නිශ්චිතව කිව නො හැකි ය.”
බොහෝ අය මිථ්‍යා දෘෂ්ටික වීමට හේතුව එවැනි අය ඇසුරු කිරීමයි. එසේ මිසදිටු අය තමන්ගේ දෘෂ්ටිය අන්‍යන්ට රසවත් කොට පෙන්වා දී මෝඩ අයව ඒ දෘෂ්ටියට යොමු කරවා ගන්නවා. සම්‍යක් දෘෂ්ටිය ඇති අයෙකු මිථ්‍ය දෘෂ්ටිකයකු කිරීම තරම් විශාල අකුසල් සිදුවන ක්‍රියාවක් තවත් නැත. ධර්මයෙන් ඈත්ව වාසය කරන පුද්ගලයින් මෙවැනි අය ගේ උගුල්වලට පහසුවෙන් අසු වේ. එයට හේතුව ධර්මය නො දැනීම ම යි. කැරුණු කාරණා ධර්මානුකූලව නොබැලීම, මිසදිටු අයගේ දේශන වලට සවන් දීමෙන් ඔවුන්ගේ පොත්පත්, විද්‍යුත් සටහන් කියවීමෙන් නුවණ මඳ කෙනා මුලාවට පත්වෙලා මිථ්‍යා දෘෂ්ටිකයෙක් වී අකුසල් සිද්ධ කර ගන්නවා.