මිරිහානේ අලාභය මිලියන 39ක්

Spread the News

අමිල මලවිසූරිය

පුවත්

මිරිහාන පොලිස් වසමේ ජුබිලි කණුව – මහරගම බස් මාර්ගය අවහිර කරමින් පැවැති විරෝධතාවෙන් පොලිස් බස්රථයක්, මිරිහාන මූලස්ථාන පොලිසියේ ජීප් රථයක්, පොලිස් ත්‍රිරෝද රථයක්, රථවාහන හැසිරවීමේ පොලිස් යතුරුපැදි දෙකක් සහ යුද හමුදා බස්රථයකට ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කිරීම හේතුවෙන් මිලියන 39ක පමණ අලාභයක් සිදුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවැසීය.

එයට අමතරව තවත් රජයේ වාහන කිහිපයකටම පහර දී අලාභහානි සිදුකර ඇති බවත් පෞද්ගලික දේපළ රැසකටද අලාභ හානි සිදුව ඇති බවද හෙතෙම සඳහන් කළේය. එම සිදුවීම නිසා සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීවේය.

අයුතු ජනරාශියේ සාමාජිකයන් බවට පත්වීම නිසා පොලිසිය මැදිහත් වී අවම බලය පාවිච්චි කරමින් ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකොට පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ බවද සැකපිට කාන්තාවක ඇතුළුව පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එසේම මෙකී පිරිස් සිදුකළ සාමකාමී විරෝධතාව එක්වරම ප්‍රචණ්ඩකාරි වූයේ කුමන හේතුවක් කුමන කාරණයක් නිසාද යන්නත් කිනම් පිරිසකගේ මැදිහත්වීම මතද යන්නත් අනාවරණය කරගැනීමට විමර්ශන බස්නාහිර පළාත් අපරාධ දිසාව මඟින් ආරම්භකොට ඇති බවත් හෙතෙම පැවැසීය.

Source : Silumina