Sat. Jan 18th, 2025
Spread the News
Picture Courtesy by exploresrilanka.lk

දේවානම්පියතිස්ස රජතුමා මහ මිහිදු මහ අරහතුන් වහන්සේ හමුවෙහි තෙරුවන් සරණ ගත බෞද්ධයකු විය. එවක් පටන් බුදු සසුනට දිවි දී කටයුතු කළ එතුමා තිසරණයෙන් පිටත ඇදහීමක් නොවීය. ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ලංකාද්වීපයට වැඩමවූ දින ජය ශ්‍රී බෝධීන් වහන්සේට (සම්මා සම්බුද්ධ සාසනයට), ලංකා රාජ්‍යය පූජා කළේය. ඒ බව මහා වංශයෙහි “ඨපයිත්වාන ලංකින්දෝ ,ලංකාරජ්ජේන පූජයි” යනුවෙන් කීහු. (19 වන පරිච්ඡේදය 30 ගාථා පාඨය තිස.) ලංකා ධරණී තලයෙහි චිරාත් කාලයක් බුදු සසුනට පදනම දමා අනාගත රජ දරුවන්ට, රාජ්‍ය පාලකයන්ට, ජනතාවට ආදර්ශයක් වන ආකාරයෙන් පාලනය හෙබවීය. ලංකාවාසී බෞද්ධයාගේ එකම ශාස්තෘන් වහන්සේ බුදු රදුන් පමණක් ම විය. දේවාල කෝවිල් ඇදහීමක් නොවීය. දේවානම්පියතිස්ස රජ සමය, දේවාල කෝවිල් ඇදහූ බවට කිසිදු පුරාවිද්‍යා සාධක නැත.ඒ පිළිබඳ ටැං ලිපි ,ගිරි ලිපි, සෙල් ලිපි නැත.වංශ කථා තුලද නැත. පසු කාලීනව දකුණු ඉන්දියානු බලපෑමෙන් දේවාල කෝවිල් මෙරට ව්‍යාප්ත විය. රටේ ජනතාව ද දේශපාලන අස්ථාවර කාලයන්හි දේවාල-කෝවිල් ඇදහීමට නතු වූහ. එම දේවාල- කෝවිල් ඇදහීම හේතුවෙන් බුදු සසුනේ ආලෝකය දීප්තිය යටපත් විය. විහාරස්ථානද දේවාල- කෝවිල් කරණයට නතු විය. මේ හේතුවෙන් බෞද්ධකම බෞද්ධ උරුමය වෙනුවට මතු වූයේ විජාතික මිසදිටු දේවාල- කෝවිල් බලය ය. කල් යාමේදී බුදු සසුනත් දේවාල-කෝව්ල් ක්‍රමයත් එකට සම්මිශ්‍රණය වීමෙන් බෞද්ධ ජනතාව අතරමං වූහ. රාජ අනුග්‍රහය ද ලැබීමෙන් තව තව බලවත් විය. කොතෙක් අතරමං වීද යත් තම බෞද්ධ සිද්ධස්ථාන දේවාල කෝවිල් බවට පත් විය. බෞද්ධ උරුමය යට පත් වී දේවාල සන්තක වන තැනට වැඩ සිදු විය. බෞද්ධයාගේ බෞද්ධකම ආරක්ෂා කර ගැනීමට නම් දේවානම්පියතිස්ස රජතුමා අනුව යමින් එකම ශාස්තෘන් වහන්සේ බුදුරදුන් ලෙස සලකා දේවාල කෝවිල් අත් හළ යුතුය. දෙවියන් යැයි සිතා- කියා ගෙන අමනුෂ්‍යයන් ඇදහීමෙන් වැළකිය යුතුය. නොයෙක් ලොකුකම්, කෙරුම් කාරකම් කියාගෙන නොයෙක් නම් ගම් වලින් පෙනී සිටින සියලු දේවාල කොවිල් අමනුෂ්‍ය කොටු ය. දේශපාලකයන් අමනුෂ්‍යයන් ඇදහීමට නතුවන විට මෙරට බෞද්ධ ජනතාව සිහිය නුවණ එළවාගතයුතු කාලය එළඹ ඇත. බෞද්ධ වූ දිව්‍ය දේව සමූහයා ඇත. ඔවුහු බුදු සසුනත් මෙරට රට වැස්සාත් ආරක්ෂා කරත්.

– ආරියතිලක

Protected by Security by CleanTalk