මුහුදු කොටි කන්ති ජෝතිගේ පාපොච්චාරණය

Spread the News

මුහුදු කොටි කන්ති ජෝතිගේ පාපොච්චාරණය…

source:

බොර පැහැති දෑස්‌, දැඩි හීනි තොල් සහ වක්‌ නැහැයක්‌ තිබූ ඔහු මිටි මහත, කළු මිනිසෙකි. ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල මුහුදු කොටි සාමාජිකයෙකි. එමෙන්ම එල්.ටී.ටී.ඊ.යේ මෝටර් බෝට්‌ටු එකලස්‌ කළ දක්‍ෂ කාර්මිකයෙකි. දැන් ඔහු වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ වූ වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයේ ද මෝටර් බෝට්‌ටු යාන්ත්‍රික ඉංජිනේරු උපදේශකවරයෙක්‌ ලෙස ඔහු දත් කාර්මික දැනුම සහෝදර එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට බෙදා දෙමින් සිටියි.

ඔහු කන්තිජෝතිය.

අප වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයට යන විටත් ඔහු තවත් පුනරුත්ථාපනය වන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසකට මෝටර් බෝට්‌ටුවක එන්ජිමක්‌ අලුත්වැඩියා කරන ආකාරය උගන්වමින් සිටියේය. අපි ඔවුන් අසලට ගියෙමු. ඒ තරුණයන් සෑම කෙනකුගේම මුහුණු මිත්‍රශීලී සිනහවකින් සුන්දර විණි. මේසයක්‌ මත වෙන් වෙන් වුණු මෝටර් බෝට්‌ටු එන්ජිමක කොටස්‌ය. කන්තිජෝති ඒ කොටස්‌ එකින් එක ගෙන තම ගෝලයන්ට පැහැදිලි කර දෙමින් සිටියි. අපි මොහොතක්‌ ඔහුගේ දේශනයට සවන් දී සිටියෙමු.

ඔහුගේ දෙමාපියෝ ව්‍යාපාරිකයෝ වූහ. එහෙත් ඔහු ව්‍යාපාරික ලෝකයට අකැමැති වූයේය. ඔහු වෙනත් ක්‍ෂේත්‍රයක්‌ සොයා ගියේය. ඒ දියුණු වන ලෝකයත් සමග කාර්මික ශිල්පියෙක්‌ සේ ඉදිරියට යැමටය. ඔහු දක්‍ෂ විය. එහෙත් ඔහු ප්‍රඥවන්ත නොවීය. එසේ වූවා නම් ම්ලේච්ඡ ප්‍රභාකරන්ව තම ජාතියේ නායකයා සේ පිළිගන්නේ නැත.

කන්තිජෝතිට වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක්‌ මෙන්ම බාල නැඟණියන් තිදෙනෙක්‌ ද විය. ඔවුන් පදිංචිව සිටියේ පුනරින් ප්‍රදේශයේය. එනම් එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ව දේවත්වයෙන් සැලකූ එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයකය.

අපි ඔහුගේ දේශනයට බාධා කර කාලයාගේ ඇවෑමෙන් නිදිවැදී ඇති අඳුරු මතකයන් නැවත අවදි කරවීමේ අදහසින් මෙසේ පැනයක්‌ යොමු කළෙමු.

“ඔබ එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ වුණේ කැමැත්තෙන්ද?

ඔව්…

ඇයි එල්.ටී.ටී.ඊ.යට බැඳෙන්න තීරණය කළේ…

“අපේ ගමේ හැමෝම වගේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට කැමත්තෙන් හිටියේ. කවුද අකැමැති වෙන්නෙ ජාතිය වෙනුවෙන් සටන් කරන සංවිධානයකට. මම එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳෙනවා කිව්වහමත් මගේ දෙමව්පියෝ බොහෝම සතුටු වුණා”

“එල්.ටී.ටී.ඊ. සංවිධානය කියන්නේ අපිට විමුක්‌තිය ලබාදෙන එකම සංවිධානය හැටියට තමයි අපි තේරුම් ගෙන හිටියේ. මම එල්.ටී.ටී.ඊයට සම්බන්ධ වුණේ 2006 අවුරුද්දේ. ඒ දවස්‌වල එල්.ටී.ටී.ඊ. සංවිධානයට සිංහල හමුදාව උඩිනුයි යටිනුත් දෙකෙන්ම පහර දෙන්න පටන් ගෙනයි තිබුණේ. එල්.ටී.ටී.ඊ. සංවිධානයත් වැඩි වැඩියෙන් සාමාජිකයන් බඳවාගත්තා. වෙනදටත් වඩා තරුණ තරුණියොත් කැමැත්තෙන්ම එල්.ටී.ටී.ඊ. ට බැඳුණා. අපිට ලොකු විශ්වාසයක්‌ තිබුණා එල්.ටී.ටී.ඊ.ය සිංහල හමුදාව පරාජය කරනවා කියලා. ඉතිං මමත් ඔය කාලය වෙන කොට උසස්‌ පෙළ කරලා වෘත්තීය පාඨමාලාවකුත් හදරල ගෙදර හිටියේ. මුකුත් රැකියාවක්‌ කළෙත් නැහැ. දැන් තමයි එල්.ටී.ටී.ඊ. සංවිධානයට අපේ ශක්‌තිය ලබා දෙන්න ඕන හොඳම කාලය කියලා මට හිතුණා. මම තීරණයක්‌ ගත්තා එල්.ටී.ටී.ඊ. යට බැඳෙන්න ඕනා කියලා.

කොහේද ඔබ පාසල් ගියේ…

යාපනේ සෙන්බැප්ටිස්‌ විදුහලට. මම කලා අංශයෙන් උසස්‌ පෙළ කරලා විශ්වවිද්‍යාලයට යන්න ලකුණු ටිකක්‌ මදි වුණා. ඊට පස්‌සෙ තමයි මම වෘත්තීය පාඨමාලාවක්‌ හදාරන්න තීරණය කළේ.

ඇයි ඔබ මෝටර් බෝට්‌ටු පාඨමාලාවක්‌ තෝරගත්තේ…

මම ඒ විෂයට කැමතියි.

ඔබගේ පවුලේ තවත් අය එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳිලා හිටියද?

ඔව්… මගේ ලොකු අයිය, එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳිලා ඉඳලා කසාද බැන්දට පස්‌සෙ ඉවත් වුණා. එතකොට මම එල්.ටී.ටී.ඊයට බැඳිලා හිටපු නිසා එයාට ප්‍රශ්නයක්‌ වුණේ නැහැ.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි බළකායට ඔබ තෝරගත්තේ ඇයි…

මම මෝටර් බෝට්‌ටු පාඨමාලාවක්‌ හදාරලා ඒ සම්බන්ධයෙන් දැනුමක්‌ තිබුණු නිසයි.

එතකොට ඔබට එල්.ටී.ටී.ඊ.ය යුද පුහුණුවක්‌ ලබා දුන්නෙ නැද්ද?

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ වෙන සෑම සාමාජිකයකුට යුද පුහුණුව දීලා තියෙන්නෙ. ඒක එල්.ටී.ටී.ඊ. ය අනිවාර්යෙන්ම කරන දෙයක්‌. අපි එල්.ටී.ටී.ඊ. ට බැඳෙන කාලේ එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල හිටිය සාමාන්‍ය මිනිස්‌සුන්ටත් කැමත්ත අනුව යුද පුහුණුව ලබාදුන්නා.

ඔබ මොන මුහුදු කොටි කඳවුරේද සේවය කළේ…

මුලතිව් බීරුට්‌ බේස්‌ කඳවුරේ. ඒ කඳවුරේ බෝට්‌ටු අලුත්වැඩියා කරන විශාල ගරාඡ් එකක්‌ තිබුණා. ඒකෙ තමයි අපිට වැඩ කරන්න තිබුණේ.

ඒ කඳවුර භාරව හිටියේ කවුද?

කන්නන් මාස්‌ටර්.

ඒ ගරාඡ් එකේ ඔබට පැවරුණු රාජකාරි මොනවද?

එහෙම කියලා රාජකාරි වෙන් කරලා තිබුණේ නැහැ. බෝට්‌ටු අලුත්වැඩියා කළා. අලුත් බෝට්‌ටු හැදුවා. මුහුදු යාත්‍රා, අධිවේගී ප්‍රහාරයක යාත්‍රා වගේම සබ්මැරීනුත් ඒ කඳවුරේ එකලස්‌ කරලා තියෙනවා කියලා ඒ කඳවුරේ හිටපු පැරැණි සාමාජිකයෝ මට කියලා තියෙනවා. හොඳ වැඩකාරයෝ හිටියා. නවීන යන්ත්‍ර සූත්‍ර තිබුණා. අලුත් නිර්මාණ කරන්න හොඳ පසුබිමක්‌ අපිට තිබුණා. ඒ වගේම තමයි අලුත් නිර්මාණ කරනකොට අපේ නායකයා අපිව ගොඩක්‌ අගය කළා.

සබ්මැරීනයක්‌ ඔබ දැකලා තියෙනවද?

මම දැකලා නැහැ. අපි යන්න ඉස්‌සර වෙලා තමයි ඒවා හදලා තියෙන්නෙ අපි හිටපු කාලේ සබ්මැරීන් හැදුවේ නැහැ.

අපේ නායකයා කිව්වේ ප්‍රභාකරන්ද?

ප්‍රභාකරන් එක්‌ක මම කතා කරලවත් දැකලවත් නැහැ. මම එයාව දැකලා තියෙන්නෙ වීඩියෝ පටවලින්, පින්තූරුවලින් විතරයි. අපි අලුත් දෙයක්‌ කළා කීවාම ප්‍රභාකරන් සතුටු වෙනවා කියලා කිව්වෙත් අපව භාරව ඉන්න නායකයා තමයි.

කවුද ඔයාලාගේ නායකයා…

සුසෙයි..

සුසෙයි සමග කතාබහ කරලා තියෙනවද?

ඔව්… සමහර අවස්‌ථාවල කතාබහ කරලා තියෙනව..

සුසෙයි කොහොම චරිතයක්‌ද?

බුද්ධිමත් විදිහට තීන්දු තීරණ ගන්න නායකයෙක්‌. ඒ වගේම එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ගැන හොඳට සොයා බැලුවා. අපි ගැන විතරක්‌ නෙමෙයි අපේ පවුල්වල සාමාජිකයන් ගැනත් සොයා බැලුවා.

එතකොට අලුත් නිෂ්පාදනවලට අමුද්‍රව්‍ය ගෙනාවේ කොහෙන්ද?

බෝට්‌ටු එන්ජින් ඇතුළු අවශ්‍ය අනිත් දේවල් ගෙනාවේ පිටරටවලින්. මෙහෙදී කළේ ඒවා එකලස්‌ කරන එක විතරයි.

බෝට්‌ටු හදන්න යොදාගත්ත නවීන උපකරණ වගේම වටිනා අධිවේගී බෝට්‌ටු කිහිපයක්‌ම සුනාමියට නැති වුණා කියලා පරණ සාමාජිකයෝ අපට කියලා තියෙනවා. සුනාමිය ඇවිත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි කඳවුරුවල තිබුණු ගොඩක්‌ම දේවල් අරගෙන ගියා. ඒ වගේම එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ විශාල පිරිසක්‌ නැති වුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පරාජයට සුනාමියත් බලපෑමක්‌ වුණා කියලා කියන්න පුළුවන්.

එල්.ටී.ටී.ඊ. පාලනයට නතුව තිබුණු වෙරළ ආශ්‍රිත ගම්මානවලට සුනාමිය බලපෑවේ කොහොමද?

කියන්න දෙයක්‌ නැහැ. හෝදගෙනම ගියා. මිනිස්‌සු විශාල පිරිසක්‌ නැති වුණා. ඉතුරු වුණු මිනිස්‌සුත් ගෙවල් දොරවල් නැතිව ඉන්න හිටින්න තැනක්‌ නැතිව අන්ත අසරණ තත්ත්වයට පත් වුණා. හැබැයි ඊට පස්‌සේ විදේශ රටවලින් ගොඩක්‌ උදව් කළා. ඒත් එල්.ටී.ටී.ඊ. නායකයෝ ඒ ආධාර යටිමඩි ගහගෙන තිබුණා. අසරණ මිනිස්‌සුන්ට දීලා නැහැ.

දෙමළ ජාතිය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරපු එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇයි ඉතිං අසරණ මිනිස්‌සුන්ට එහෙම කළේ…

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හොඳවලට වඩා ගොඩක්‌ම තිබුණෙ නරක වැඩ. සාමාන්‍ය මිනිස්‌සුන්ව ගොඩක්‌ වෙලාවට අසරණ කළා. අකැමැත්තෙන් ළමයින්ව එල්.ටී.ටී.ඊ.යට බඳවා ගත්තා. වෙළෙඳසල්වලින් දහස්‌ ගණන් කප්පම් ගත්තා. බදු මුදල් අය කළා. එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල ජීවත් වුණු හැම පවුලකින්ම එල්.ටී.ටී.ඊ.ය බදු මුදල් අය කළා. මිනිස්‌සු කෑවේ නැති වුණත් බදු ගෙවන්න සිදු වුණා. නමුත් එල්.ටී.ටී.ඊ. යේ සාමාජිකයන් හිටපු පවුල්වලින් එහෙම බදු අය කිරීම් කළේ නැහැ.

ඔබලාගේ මිනිස්‌සුන්ට කෲර විදිහට සලකපු එවැනි සංවිධානයකට ඇයි ඔබ කැමැත්තෙන් බැඳුනේ…

අපිට ඕනෑ වෙලා තිබුණේ අපිටම කියා රටක්‌. එල්.ටී.ටී.ඊ. ය මොන දේ කළත් ඒ ඉලක්‌කයට යමින් හිටියා. ඒ නිසයි මම එල්.ටී.ටී.ඊ.යට බැඳුනේ.

ඔබ ඇතුළු එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඒ ඉලක්‌කයට යන්න බැරි වුණේ ඇයි…

ඒක එල්.ටී.ටී.ඊ.යේ අවාසනාව. ඊට එහාට කියන්න දෙයක්‌ නැහැ.

හමුදාව අවසාන මෙහෙයුම ආරම්භ කරපු මුල් කාලයේදීත් ඔබ සිටි කම්හලේ අලුත් බෝට්‌ටු හැදුවද?

ඔව්… මුල් කාලෙදි නම් අලුත් අධිවේගී බෝට්‌ටු හදන්න ගත්තා. ඒත් ඒව ඉවර කරන්න බැරි වුණා. හමුදාවේ එල්ල කරපු ගුවන් ප්‍රහාර නිසා අපේ නායකයන් ටිකක්‌ බියෙන් හිටියේ කොයි මොහොතක හරි අපේ කඳවුරටත් ගුවන් ප්‍රහාරයක්‌ පාත් වෙයි කියලා. ඊට පස්‌සේ අනතුරුවලට ලක්‌ වුණු බෝට්‌ටු අලුත්වැඩියා කළා මිසක්‌ අලුතෙන් හදන්න ගියේ නැහැ. හමුදාව ඉස්‌සරහට එනවා කියලා දැනගත්තට පස්‌සේ අපි ගන්න තියෙන දෙවල් අරගෙන පසු බැස්‌ස.

ඊට පස්‌සෙ ඔබලවත් මෙහෙයුම්වලට යොමු කළාද?

ඔව් අපේ සමහර අයව මෙහෙයුම්වලට සම්බන්ධ කර ගත්තා. අපව කඳවුරු ආරක්‍ෂා කරන්න යෙදෙව්වා. ඒත් වැඩි කාලයක්‌ එහෙම ඉන්න බැරි වුණා. හමුදාව දිනෙන් දිනම අපේ කඳවුරු එකින් එක අල්ල ගත්තා.

ඔබ එල්.ටී.ටී.ඊ. සංවිධානය නැති වුණු එක ගැන දුක්‌ වෙනවා නේද?

මුලදි එහෙම දුකක්‌ තිබුණා. ඒත් දැන් එහෙම නැහැ. දැන් අපිට තේරෙනවා අපි කළේ විශාල වරදක්‌ කියලා. සිංහල හමුදාව අපි තේරුම් අරගෙන තිබුණෙ වැරැදි විදිහට. මම දැන් සිංහල හමුදාවට ගරු කරනවා. එදා අපේ සංවිධානය ඒ අයත් එක්‌ක යුද කළත් ඒ අය ළඟ වෛරය නැහැ. එහෙම නෙමෙයි එල්.ටී.ටී.ඊ. නායකයෝ වෛරයෙන් පිපුරුණා. කතා කරන හැම වේලාවෙම අපට කිව්වේ සිංහල හමුදාව තමයි අපේ වෛරක්‌කාරයෝ කියලයි.

අපිට මේ හැම දේම වුණේ සිංහල මිනිස්‌සු සමග සම්බන්ධයක්‌ තිබුණේ නැති නිසයි. හරියට සිංහල වචනයක්‌ ඇහුවෙත් හමුදා පාලන ප්‍රදේශවලට ආවට පස්‌සෙ තමයි. සිංහල මිනිස්‌සු හොඳ මිනිස්‌සු කියල මම තේරුම් ගත්තේ මේ පුනරුත්ථාපන කඳවුරට ආවට පස්‌සෙයි. පුනරුත්ථාපන කඳවුරේ ඉන්න හමුදා නිලධාරීන් අපි එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ කියලා කිසිම වෙනසක්‌ කරන්නෙ නැහැ. බොහෝම හොඳින් අපිට සලකනවා. මේ කඳවුරේ ප්‍රධානියා අපිට අප්පා වගේ. මේ නිලධාරීන් දැන් අපිට සහෝදරයෝ වගේ. කිසිම වෙනසක්‌ නැහැ” ඔහු සිනාවකින් මුව සරසා ගත්තේය. ඒ සිනාව තුළ සමාව යෑදීමක්‌ද ගැබ්ව තිබිණි.

මරණය දැන සිටියත් ඔහු මරණයට බිය විය. අවසානයේ ඔහු තීරණයක්‌ ගත්තේය. ඒ තම මවත් පියාත් සහෝදර සහෝදරියන් සමග හමුදාවට භාරවීමටය. එල්.ටී.ටී.ඊ.යේ තහංචි වැට කඩුළු බිඳගෙන ඔවුහු පුදුමාතලන් ප්‍රදේශයේදී හමුදා පාලන ප්‍රදේශවලට පැමිණ හමුදාවට භාර වූහ.

ඔබ විවාහකද? මම නැවත ඔහුට පැනයක්‌ යොමු කරමි.

තවම නැහැ…

ප්‍රේමවන්තියක්‌ ඉන්නවාද?

අපිට ප්‍රේම කරන්න කාලයක්‌ තිබුණෙ නැහැ. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටිය කාලේ කෙල්ලෙක්‌ දැක්‌කෙත් කලාතුරකින්. අපේ ජීවිත හේදිලා ගියේ මුහුදටම තමයි.

තව නොබෝ කාලයකින් ඔබ මේ කඳවුරෙන් නිදහස්‌ වෙලා යනවා. ගියාට පස්‌සේ ඔබ මොකද කරන්න බලාපොරොත්තු වෙන්නෙ…

මට හොඳ කාර්මික දැනුමක්‌ තියෙනව. ඒ අංශයේ රැකියාවක්‌ කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.

බොහෝ දේ ලිවිය හැකිය. එහෙත් ඔවුන් කියන දේ පමණක්‌ ලියා තබමු. ඉර අවරට හැරෙමින් තිබිණි. සෑම සවසකම ඇති වන පාළුව, තනිකම ගලා යමින් තිබිණි. එහෙත් ඔවුහු කඩිසරව ක්‍රීඩා කරමින් සිටියහ. පිරිසක්‌ වොලිබෝල් ක්‍රීඩා කරති. තවමත් පිරිසක්‌ ක්‍රිකට්‌ සෙල්ලම් කරති. තවත් පිරිසක්‌ නරඹන්නන් වී ක්‍රීඩා කරන විලාසය දෙස බලා සිටිති. අපිදු මෙහොතකට ඒ නරඹන්නන් අතරට එක්‌ වීමු. දිගට හරහාට පන්දුවට වැරෙන් පහර දෙන ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ මෙන්ම, ප්‍රතිවාදීන් විමතියට පත් කරමින් ඩෑෂ් පහරවල් එල්ල කරන වොලිබෝල් ක්‍රීඩකයන් හෙයින් ක්‍රීඩා පිටි දෙකම උණුසුම් මුහුණුවරක්‌ ගනිමින් තිබිණි. එහෙත් අපට තව තවත් ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය අතර දැස්‌ නතර කර තැබීමට කාලය ඉඩ ලබා නොදුන්නේය. මෙවැනිම පුනරුථත්පානය ලබන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කිහිපදෙනකු සමගම අප කතා කිරීමට අපි බලාපොරොත්තුවෙන් සිටිමු. එහෙයින් අපි ඔහුට සමු දී තවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු සමග අලුත් කතාවක්‌ ආරම්භ කළෙමු…

තරංග රත්නවීර