මෙම වාර්තාවේ අරමුණ ජනපති බියකර ඔහු ලවාම රට බෙදවීමයි

Spread the News

 

මෙම වාර්තාවේ අරමුණ ජනපති බියකර
ඔහු ලවාම රට බෙදවීමයි
ආචාර්ය ගුණදාස අමරසේකර

source link:

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් විසින් 2010 ජුනි මස පත්කරන ලද විශේෂඥ මඬුල්ල විසින් සකස්‌ කරන ලද වාර්තාව මේ මොහොත වන විට ප්‍රකාශයට පත්වී ඇත. මෙම වාර්තාවට අන්තර්ගතවී තිබෙන කරුණු අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ වන්නි මෙහෙයුමේ යුද නායකයන් යුද අධිකරණයක්‌ හමුවට පවා ගෙන යා හැකිය යන මතය පවා ප්‍රකාශයට පත්වී ඇත. මෙබඳු තත්ත්වයක්‌ උදාවී ඇත්තේ කොටි සංවිධානය සමූල ඝාතනය කළ වන්නි මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේදී සිදුවූ බවට චෝදනා කරන ඊනියා යුද අපරාධ හේතුවෙනි.

කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම දක්‌වා දශක 3 ක්‌ පුරා සිදුවූ දේශපාලන ක්‍රියාදාමය තුළ මතවාදීමය වශයෙන් විශාල බලපෑමක්‌ කළ පුද්ගලයකු ලෙස ආචාර්ය ගුණදාස අමරසේකර මහතා හඳුන්වාදිය හැක. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව ඇතිවී තිබෙන නවතම තත්ත්වය පිළිබඳව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය – එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා විසින් 2010 ජුනි මස පත් කරන ලද විශේෂඥ මඬුල්ල විසින් සකස්‌ කරන ලද වාර්තාව, පසුගිය දිනක ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම කමිටු වාර්තාවේ අන්තර්ගතය සහ අරමුණු කෙබඳුද?

පිළිතුර – ඇත්තවශයෙන්ම මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම බොරු වාර්තාවක්‌ බව සඳහන් කිරීමට පුළුවන්. මෙම වාර්තාව අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව මත පිළියෙළ කරන ලද එකක්‌. ඒ වගේම මෙම වාර්තාව ව්‍යාජ පෙත්සම් 4000 ක්‌ පදනම් කරගෙන සාදන ලද එකක්‌ බව සඳහන් කිරීමට පුළුවන්.

ඒ වගේම බෑන් කී මූන් මෙම විශේෂඥ මණ්‌ඩලය පත්කරල තිබෙන්නේ කිසිදු නීත්‍යනුකූල පදනමක පිහිටා නොවෙයි. එවැනි මණ්‌ඩලයක්‌ පත් කිරීමට නීත්‍යනුකූල අයිතිය තිබෙන්නේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයට හෝ මානව හිමිකම් සුරැකීමේ කවුන්සිලයට පමණයි. එම ආයතන දෙකේම අවසරයකින් තොරව බෑන් කී මූන් මෙම මණ්‌ඩලය පත් කරල තිබෙන්නේ විශේෂයෙන්ම එංගලන්තය සහ ඇමරිකාව සතුටු කිරීම සඳහායි. එම රටවල් සතුටු කිරීම මගින් තම රැකියාව ආරක්‍ෂා කර ගැනීමට බෑන් කී මූන් කටයුතු කර තිබෙනවා.

අනෙක්‌ අතට මෙම මඬුල්ල සඳහා පත්කර තිබෙන්නේ කොටි හිතවාදීන්. එහි ප්‍රධානියා ලෙස කටයුතු කරපු මාර්සුකි දරුස්‌මාන් නමැති පුද්ගලයා ඉන්දුනීසියාවේ ඇටෝනි ජෙනරාල්වරයා ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු එළිපිටම කොටින්ට පක්‍ෂපාතව කටයුතු කළ පුද්ගලයෙක්‌. මීට පෙර මෙහි පැවැති කොමිසමකට සහභාගිවී ඇති මෙම පුද්ගලයා ආපසු පිටත්ව ගොස්‌ තිබෙන්නේ ශ්‍රී ලංකා රජයට බැන වදිමිනුයි. ස්‌ටීවන් රුට්‌නර් නමැති ඇමරිකන් ජාතිකයාත් මෙම කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කර තිබෙනවා. එම පුද්ගලයා මේ රට තුළ අප්‍රිකානු වර්ගවාදය වැනි දෙමළ විරෝධයක්‌ තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා. මෙම කමිටුවේ කටයුතු කළ අනෙක්‌ පුද්ගලයා යුරෝපා සංගමයට සේවය කරන යෑස්‌ටින් සුකී නමැති ඇන්.ජී.ඕ. කාරියක්‌. මොවුන්ගෙන් ලැබෙන වාර්තාව කුමක්‌ද යන්න දැනගෙනම තමයි මූන් මෙම තිදෙනා මෙම කමිටුවට පත් කළේ.

අනෙක්‌ කාරණය තමයි බෑන් කී මූන් මෙම මණ්‌ඩලය පිහිටුවන විට කියා සිටියා මෙම මණ්‌ඩලය හුදෙක්‌ තමාට උපදෙස්‌දීම සඳහා පමණක්‌ පිහිටුවන බවත්, එය කිසි ලෙසකින් වත් වරදකරුවන් සෙවීම සඳහා හෝ ශ්‍රී ලංකා රජයට එරෙහිව චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් කිරීම සඳහා පිහිටුවන්නක්‌ නොවන බව. නමුත් එම ප්‍රකාශය ලෝකය රැවටීම සඳහා කරන ලද්දක්‌ පමණක්‌ බව දැන් සනාථ වී තිබෙනවා.

එම නිසා අපට පැහැදිලිවම පෙනෙන්න තිබෙනවා මෙම වාර්තාව බටහිරයන්ගේ වුවමනාව මත පිළියෙල කරන ලද්දක්‌ බව.

මෙම වාර්තාව මගින් චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් කර තිබෙනවා. ඒ සමගම එම චෝදනා පිළිබඳ අපක්‍ෂපාතී පර්යේෂණයක්‌ කිරීම සඳහා අන්තර්ජාතික කොමිෂමක්‌ පත් කළ යුතු බවත් නිර්දේශ කර තිබෙනවා. ඒ සමගම ජනාධිපතිවරයා විසින් පත් කළ එල්.එල්.ආර්.සී. (ඛඛRC) කොමිසම ව්‍යාජ රැවටිල්ලක්‌ ලෙස ඔවුන් විසින් අවලංගු කර තිබෙනවා. එහි වාර්තාව තවම එළිදක්‌වලත් නැහැ.

මෙම වාර්තාව මගින් රජයට විරුද්ධව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර තිබෙන අතර ඔවුන් විසින් යෝජනා කීපයක්‌ ද ඉදිරිපත් කර තිබෙනවා. ඉන් ප්‍රධානතම යෝජනාව වී තිබෙන්නේ යුද අපරාධ කර ඇද්ද, මානව හිමිකම් කඩකර ඇතිද යන්න සොයා බැලීම සඳහා අන්තර්ජාතික කොමිසමක්‌ පත් කළ යුතුය යන්නයි. මෙලෙස පත් කරනු ලබන කොමිසම මගින් ඉදිරිපත් කරනු ලබන චෝදනා මත පදනම් වී ජනාධිපතිවරයා ප්‍රධාන යුද නායකයන්, යුද අධිකරණයක්‌ වෙත ඉදිරිපත් කිරීම සඳහා මාර්ගය විවෘත කරගැනීම මෙම වාර්තාවේ අරමුණ වී තිබෙනවා.

ප්‍රශ්නය – බටහිරයන්ගේ වුවමනාවන් ඉෂ්ඨ කිරීම සඳහා මෙම වාර්තාව යොදාගෙන තිබෙන බව ඔබ චෝදනා කළා. එබඳු චෝදනාවක්‌ කිරීමට තිබෙන සාධක මොනවාද?

පිළිතුර – මේ සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පළමුවෙන්ම අතදැම්මේ 2009 මැයි මාසයේදී. ඊට අමතරව තවත් ප්‍රකාශ දෙකක්‌ ඉදිරිපත් කළා. පළමු ප්‍රකාශය නිකුත් කළේ 2009 මැයි 13 න් වැනිදා. එම නිවේදනය නිකුත් කළේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක කවුන්සිලය විසිනුයි. එම ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා රජය ගන්නා ලද පියවර නීත්‍යනුකූල බව ප්‍රකාශ කර තිබුණා. දෙවැනි ප්‍රකාශය නිකුත් කරන ලද්දේ බෑන් කී මූන් මෙහි පැමිණ සිදුවූ දේ ඇසින් දැක, ජනාධිපතිවරයාත් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. එම අවස්‌ථාවේදී බෑන් කී මූන්, ත්‍රස්‌තවාදය මැඬලීමෙන් පසුව රජය ගන්නා ක්‍රියාමාර්ග ඔහුගේ පැසසුමට ලක්‌වන බව සඳහන් කළා. තුන් වැනි ප්‍රකාශය 2009 මැයි 27 වැනිදා ජිනීවා නුවරදී පවත්වන ලද මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සමුළුවකදී නිකුත් කළා. එම ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා රජය සිය ස්‌වෛරීභාවය, භෞමික අඛණ්‌ඩතාව රැක ගැනීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග කවුන්සිලය අනුමත කරන බව ප්‍රකාශ කර තිබුණා. මේ අනුව පැහැදිලි වනවා එම ප්‍රකාශ තුනෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යය ගෙන ඇති ක්‍රියාමාර්ග එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කළ බව.

එම ප්‍රකාශ කර හරියටම වසරකට පසු එනම් 2010 ජුනි මාසයේ දී පිහිටුවන ලද මෙම විශේෂඥ මඬුල්ල මගින් මෙම වාර්තාව ලබාගෙන තිබෙනවා. 2009 මැයි මාසයේදී එළිදක්‌වන ලද ප්‍රකාශ අනුව පැහැදිලි වනවා මෙබඳු වාර්තාවක්‌ එළිදැක්‌වීමේ කිsසිදු අවශ්‍යතාවක්‌ නොමැති බව. ඒ අනුව පැහැදිලි විය යුතුයි මෙම වාර්තාව එළිදක්‌වන ලද්දේ ඇමරිකාවේ සහ එංගලන්තයේ අවශ්‍යතාවක්‌ පිරිමැසීම සඳහා බව. එය දැන් සක්‌සුදක්‌ සේ පැහැදිලියි. බෑන් කී මූන් ඔහුගේ පළමු ස්‌ථාවරය අතහැර නැවත වතාවක්‌ එක්‌සත් ජාතීන්ගේ මහලේකම් ලෙස පත්වීම සඳහා ඉහත සඳහන් රටවල සහයෝගය ලබා ගැනීම සඳහා එම කටයුත්ත හා එක්‌වී තිබෙනවා. මේ සියලු කරුණු අනුව අපට ප්‍රකාශ කරන්න පුළුවන් කිසියම් කූට අරමුණක්‌ ඇතිව මෙම වාර්තාව එළිදක්‌වා ඇති බව.

ප්‍රශ්නය – මෙම වාර්තාව ප්‍රකාශයට පත්කිරීම මගින් බටහිර රටවල් ඉටුකර ගැනීමට අපේක්‍ෂිත අරමුණ කුමක්‌ද?

පිළිතුර – මේ මොහොත වන විට මෙම වාර්තාව පිළිබඳවත් එක්‌ එක්‌ අර්ථකථන ඉදිරිපත්වී තිබෙනවා. අධිරාජ්‍යවාදීන්ගේ ගැත්තන් වන එන්.ජී.ඕ. නඩය ප්‍රකාශ කරනවා මානව හිමිකම් උල්ලංඝනය කිරීම නිසා මෙම තත්ත්වය ඇතිවූ බව. බටහිර මැදිහත්වීම් මගින් මානව අයිතීන් ආරක්‍ෂා කරනවා කියන එක අද වන විට විහිළුවක්‌ වී තිබෙනවා. ඔවුන් තමයි අද වන විට වැඩියෙන්ම මානව හිමිකම් කඩ කරන්නේ. අනෙක්‌ අතට අද වන විට මානව හිමිකම් රැකීම කියන කාරණය අද වන විට බටහිරයන් ඔවුනගේ ආයුධයක්‌ බවට පත් කරගෙන තිබෙනවා. එම නිසා මානව හිමිකම් කඩවීම මෙම වාර්තාව සඳහා හේතුවූ බව පිළිගන්න බැහැ.

ඒ වගේම සමහරුන් ප්‍රකාශ කරනවා අපි මිලිබෑන්ඩ් සහ කුච්නර් ගණන් නොගත් නිසා ඊට පළිගැනීමක්‌ ලෙස මෙය ගෙන ආ බව. එයත් බොහොම සරල අර්ථකථනයක්‌.

තවත් පිරිසක්‌ ප්‍රකාශ කරනවා දෙමළ ඩයස්‌පෝරාවේ ඡන්ද ලබාගැනීම සඳහා මෙම වාර්තාව ගෙන ආ බව. එයත් සරල අර්ථකථනයක්‌ පමණයි.

අපි ඊට වඩා ගැඹුරින් මේ පිළිබඳ සලකා බැලිය යුතුයි. මම පළමුවෙන් ප්‍රකාශ කළා, 2009 මැයි මාසයෙන් වසරකට පසුව මෙම වාර්තාව පිළියෙළ කළ මඬුල්ල පිහිටු වූ බව. ඒ වගේම බෑන් කී මූන් දන්නවා මෙම වාර්තාව මගින් කිසිවකු යුද අධිකරණයකට ගෙන යා නොහැකි බවත්ල ඒ අනුව පැහැදිලි විය යුතුයි මෙම වාර්තාව ඉදිරිපත් කරන්නේ තර්ජනයක්‌ ලෙස කියන එක.

2009 මැයි මාසයෙන් පසුව වසරක කාලයක්‌ ලබා දුන්නා මේ රට බෙදා වෙන් කිරීම සඳහා. මෙම කුමන්ත්‍රණය මම “ගණඳුර මැදියම දකිනෙමි අරුණලු” කෘතියෙන් පෙන්වා දුන්නා. ඒ වගේම ජනවාර්ගික අර්බුදයක්‌ නොමැති බවත් මම පෙන්වා දුන්නා. එම කුමන්ත්‍රණයම තමයි මේ ක්‍රියාත්මක වන්නේ.

මේ රට බෙදා වෙන් කරනතුරු මේ රටට පය ගසන්න බැරි බව ඔවුන් දන්නවා. අද බටහිරයන් විශාල චීන භීතිකාවකින් පෙළෙනවා. එම නිසා අද ඔවුන්ට මෙම භූමියට පය ගහ ගැනීමට අවශ්‍ය වී තිබෙනවා. ඒ සඳහා අවස්‌ථාව ලබාගැනීමට මෙම භූමිය බෙදා වෙන් කළ යුතු වෙනවා. මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ එම අරමුණ ඇතිව තමයි.

එම අරමුණ ඉටුකර දීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා වසරක කාලයක්‌ පුරා කටයුතු කළේ නැහැ. එම නිසා දැන් යුද අධිකරණයට ගෙන යනවා කියන තර්ජනනය ඉදිරිපත් කර එම අරමුණ ඉටුකර ගැනීමට සූදානම් වනවා. එම තත්ත්වය අප පැහැදිලිව තේරුම්ගත යුතුයි.

ප්‍රශ්නය – කොටි සංවිධානය පරාජයට පත්වී තිබෙන පසුබිමක, මෙම රට බෙදීම කුමන ස්‌වරූපයකින් සිදුවිය හැකිද?

පිළිතුර – මෙම වාර්තාවෙන් ඒ පිළිබඳ සඳහන් වී තිබෙනවා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානය මගිනුත් මේ පිළිබඳ ප්‍රකාශයක්‌ කර තිබෙනවා. එම ප්‍රකාශය මගින් මෙම වාර්තාව අනුමත කර තිබෙනවා. මෙම තත්ත්වයට හේතුව ජනවාර්ගික ප්‍රශ්නය නොවිසඳීම බව එහි සඳහන් වනවා. ඒ කියන්නේ මෙම ප්‍රශ්නයට හේතුව අපි ඉල්ලන ඊළම නොදීම බවයි එම ප්‍රකාශයෙන් ගම්‍ය වී තිබෙන්නේ. ඒ කියන්නේ ඊළම ඕනි කියන එක තමයි.

ප්‍රශ්නය – මේ මොහොත වන විටත් ආණ්‌ඩුව දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කරමින් සිටිනවා නේද?

පිළිතුර – ආණ්‌ඩුවට ලැඡ්ජාවක්‌ තිබෙනවා නම් එම සාකච්ඡා දැන් නැවැත්විය යුතුයි. එපමණක්‌ නොවෙයි මොවුන් එම වාර්තාව පිළිබඳව කර තිබෙන ප්‍රකාශ අනුව, ඔවුන්ට එරෙහි නීතිමය පියවර ගැනීමේ හැකියාවත් ආණ්‌ඩුවට තිබෙනවා.

ප්‍රශ්නය – මෙබඳු වාර්තාවක්‌ ඉදිරිපත්වීම පිළිබඳ ආණ්‌ඩුවත් වගකිවයුතු බවට චෝදනා එල්ලවී තිබෙනවා. එහිදී විශේෂයෙන්ම ජී. එල්. පීරිස්‌ ඇමැතිවරයා විශේෂඥ කමිටුවට, එල්. එල්. ආර්. සී. එක සමග කටයුතු කළ හැකි බවට කළ යෝජනාව පිළිබඳ සඳහන් කරනවා නේද?

පිළිතුර – එපමණක්‌ නොවෙයි. මෙම විශේෂඥ මඬුල්ල පත් කරන අවස්‌ථාවේ විමල් වීරවංශ මහතා උපවාසයක්‌ කළා. එම අවස්‌ථාවේදී සමහරුන් එය අනවශ්‍ය කටයුත්තක්‌ ලෙස දැක්‌කා. නමුත් එම අවස්‌ථාවේදී මහාචාර්ය නලින් ද සිල්වා මහතා සහ මහාචාර්ය ජී. එච්. පීරිස්‌ මහතා එම ක්‍රියාව අනුමත කරමින් අදහස්‌ දක්‌වා තිබුණා. එම අවස්‌ථාවේදී එම ක්‍රියාව මගින් විමල් වීරවංශ මහතාට ලකුණු වැටෙනවා කියන පටු ආකල්පයේ සිට කටයුතු නොකර මුළු රටම ඒ සඳහා එක්‌ කළ යුතුව තිබුණා. ලොකු උද්ඝෝෂණයක්‌ කළ යුතුව තිබුණා.

එහෙත් පසුගිය කාලයේ සිදුවූ සමහර දේ අනුව පැහැදිලි වනවා මහින්ද රාජපක්‍ෂ මහතාට පැකේඡ් කාරයන් උපදෙස්‌ දෙන බව. මොවුන්ගේ උපදෙස්‌ අනුව තමයි එම කමිටුව සමග සාකච්ඡා කිරීමට තීරණය වූයේ. එම සාකච්ඡා නිසා බටහිර බලවේගයන්ට විශ්වාසයක්‌ ඇති වූවා මහින්ද රාජපක්‍ෂ මහතා ලවා ඔවුන්ගේ අරමුණ ඉටුකර ගත හැකි බවට.

එමපණක්‌ නොවෙයි පසුගියදා එළිදැක්‌වූ වාර්තාව පිළිබඳවත් එහි ඇති වැරැදි පිළිබඳවත් ආණ්‌ඩුව සාකච්ඡා කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. ඒ සඳහාත් පැකේඡ් කාරයන් උපදෙස්‌ දෙමින් සිටිනවා. ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහතාට මෙම වාර්තාව අනුව පත් කරන අන්තර්ජාතික කොමිසමට සහභාගි වන ලෙස උපදෙස්‌ දෙමින් සිටින බව පෙනෙන්න තිබෙනවා. ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා එකඟ වුවහොත් සිද්ධ වෙන්නේ ඔහු තොණ්‌ඩුව සියතින්ම ගෙන ගෙලට දමා ගැනීමක්‌ තමයි. ඉරාකයේ සදාම් හුසේන් අමාරුවේ වැටුණේ ඒ ආකාරයට කටයුතු කළ නිසයි. ඒ නිසා තමයි අවසානයේදී රුසියාවටවත් මැදිහත්වීමට නොහැකි වූයේ. මෙහේ සිටින පැකෙඡ් කාරයනුත් ඒ සඳහා කටයුතු කරමින් සිටින බව පෙන්නා තිබෙනවා. එම නිසා අපගේ නායකයන් මෙම උපදෙස්‌වලට නොරැවටී මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කළ යුතුව තිබෙනවා.

ඒ වගේම මේක කැඳයි රැවුලයි දෙකම බේරගෙන කරන්න බැරි බවත් තේරුම් ගත යුතුයි. මේ විදියට කටයුතු කළොත් අවසානයේදී සිද්ධ වෙන්නේ කැඳයි රැවුලයි දෙකම නැතිවීම තමයි. අපි උත්සාහ කරනවා ඔවුන්ගේ ආයෝජන මගින් දියුණුවීමට. ඔවුන්ගේ ආයෝජන මගින් දියුණු වෙනවා නම් ඔවුන් කියන දේ අහන්න වෙනවා. එසේ නොමැතිව ඔවුන් කියන දේ ප්‍රතික්‍ෂේප කරන්නයි, ඔවුන්ගේ ආයෝජන පමණක්‌ ලබාගන්නයි යන දෙකම කරන්න බැහැ.

ඒ වගේම අපට බටහිරයන්ගෙන් තොරව කටයුතු කළ නොහැකි බවත් සමහරුන් ප්‍රකාශ කරනවා. ආණ්‌ඩුව ඇතුළෙත් එහෙම අය සිටිනවා. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අප රුසියාව සහ චීනය දෙස බැලිය යුතුය යන ප්‍රකාශය ගැන මම සතුටු වෙනවා. ඒ වගේම අප තේරුම්ගත යුතුයි බටහිර අද තිබෙන්නේ ගරාවැටෙන බලවේගයක්‌ බව. අද වන විට අලුතින් බල ක්‍ෂේත්‍රයක්‌ ගොඩනැඟෙමින් පවතිනවා. විශේෂයෙන්ම රුසියාව, චීනය මුල් කරගෙන. ඒ වගේම රුසියාව, චීනය, බ්‍රසීලය, ඉන්දියාව යන රටවල් එක්‌වී බ්‍රික්‌ (ඊRෂC) නමින් සංවිධානයක්‌ ගොඩනඟා ගෙන තිබෙනවා. ආර්ථික සහ බල ක්‍ෂේත්‍ර සම්පූර්ණයෙන්ම බටහිරින් ගැලවෙමින් පවතිනවා. එම නිසා අප එතරම් බිය යුතු යුතු නැහැ. අපි බටහිරයන්ගේ අඩන්තේට්‌ටම්වලින් බේරීම සඳහා මාර්ගයක්‌ සෙවිය යුතු වනවා. ඒ අනුව මම ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ ප්‍රකාශය ගැන සතුටු වෙනවා.

ප්‍රශ්නය – මෙම ආණ්‌ඩුව විසින් පත් කළ සර්වපාක්‍ෂික කමිටුවක්‌ මගිනුත් පළාත් සභා ශක්‌තිමත් ලෙස ස්‌ථාපිත කළ යුතු බව නිර්දේශ කර තිබෙනවා. එම වාර්තාවට ආණ්‌ඩුවත් සමග සිටින, තමන් දේශප්‍රේමීන් ලෙස හඳුන්වා ගන්න පාර්ශ්වයන් පවා අත්සන් තබා තිබෙනවා නේද?

පිළිතුර – පළාත් සභා පමණක්‌ නොවෙයි මෙම අවස්‌ථාවේදී කිසිදු බලය බෙදීමක්‌ පිළිබඳ කතා කළයුතු නැහැ. එක්‌ එක්‌ අවස්‌ථාවලදී ඔය වැනි ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵල තමයි දැන් මේ ලැබිල තිබෙන්නේ.

කළයුතුව තිබුණේ පළාත් සභාවට වැඩිපුර බලය දෙනවා කියන එක නොවෙයි, පළාත් සභාව අහෝසි කරනවා කියන එකයි. පළාත් සභා ඇති කළේ කාගේ වුමනාවට ද? විටින් විට ඔය වැනි ප්‍රකාශ කරන නිසා තමයි දැන් මෙබඳු තත්ත්වයක්‌ ඇතිවී තිබෙන්නේ. ඔවුන් දැන් සිතනවා පළාත් සභා ගන්න පුළුවන් නම් බලපෑම් කරල ඊට වඩා දෙයක්‌ ගන්න පුළුවන් කියලා.

ප්‍රශ්නය – මෙම බලපෑම් වලින් බේරී, රට බෙදා වෙන්කිරීම වැළැක්‌වීම සඳහා මෙම අවස්‌ථාවේදී ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්‌ද?

පිළිතුර – පළමුවෙන්ම මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කළයුතු වනවා. මෙම අවස්‌ථාව ඉතා තීරණාත්මක අවස්‌ථාවක්‌. ප්‍රභාකරන් පරාජය කළ අවස්‌ථාවටත් වඩා මෙම අවස්‌ථාව තීරණාත්මක බව සඳහන් කළ යුතුයි. එම අවස්‌ථාවේ සිටියේ එක සතුරකු පමණයි. නමුත් දැන් සතුරන් විශාල සංඛ්‍යාවක්‌ සිටිනවා. එම නිසා මෙම අවස්‌ථාවේදී සියලු වාද බේද අතහැර ජනාධිපතිවරයාට අවශ්‍ය කටයුතු කිරීම සඳහා ශක්‌තිය ලබාදීමට කටයුතු කළ යුතු වනවා.

සාකච්ඡා කළේ
එරික්‌ ගාමිණි ජිනප්‍රිය
ඡායාරූප නිශාන් එස්‌. ප්‍රියන්ත