Spread the News

මෙවන් හිමිවරුනට හැම විටම කරමු ගරු 

වේයන්ගොඩ – සිරිමෙවන් පතිරණ

 

source:

ගමනා ගමන පහසුකම් රටේ කොතරම් ඇතත් “ඇවිද්ද පය දහස්‌ වටී” යන කියමන සනාථ කරමින්දෝ පාවහන් යුගලක්‌ පවා නොමැතිව පාගමනින්ම ගොස්‌ තම පුද්ගලික ධනය, කාලය ශ්‍රමය වැය කරමින් සම්බුද්ධ ශාසනයටත් දායක දායිකාවන් ඇතුළු හුදී ජනතාවටත් මහා මෙහෙවරක්‌ කරනා විරල ගනයේ හිමිනමක්‌ සොයා “දිවයින” වෙනුවෙන් මා ගියේ උන්වහන්සේ ගැන සත්‍යය දැනගනු අටියෙනි.

බලබෝව පරිවේනාධිපති විහාරාධිපති ශාස්‌ත්‍රපති කුරුවිට චන්ද්‍රdනන්ද හිමි එම විරල ගනයේ හිමි නමයි. මෙම පිරිවෙන් විහාරස්‌ථානයේ දැනට සාමණේරයන් වහන්සේලා හතළිස්‌ අට නමක්‌ ඉගෙනුම ලබමින් වැඩ වසන අතර ලැබෙන දානය ප්‍රමාණවත් නොවන බැවින් සැමටම දානය පිළියෙල වන්නේ විහාරස්‌ථානයේමය. ඒ සඳහා අවශ්‍ය එළවළු වගා කෙරෙන්නේ විහාරස්‌ථ භූමියේ උන්වහන්සේ විසින්මය. මෙහි වැඩවසමින් ඉගෙනුම ලබන සාමණේරයන් වහන්සේලා ඉතා දුර බැහැර අය බැවින් සියලුම සාමණේරයන් වහන්සේලාට ඉගෙනීමට අවශ්‍ය පොත්පත්, බෙහෙත්, සිවුරු, පිරිකර මෙන්ම අනෙකුත් සියලු අවශ්‍යතා සැපයෙන්නේ මෙම ස්‌වාමීන් වහන්සේගේ පුද්ගලික ධනයෙනි.

ප්‍රදේශයේ පවතින පැරණි පිරිවෙන් විහාරස්‌ථානයක්‌ වුවද ස්‌ථානයේ නඩත්තුවට ආදායමක්‌ නොලැබෙන බැවින් සියලු කටයුතු සඳහා වැය කරන්නේ ගුරු සේවයේ යෙදෙමින් උපයන වැටුප හා පුද්ගලික ලැබෙන්නා වූ ආදායමත්ය. ප්‍රදේශයේ බොහෝ විහාරස්‌ථානවලට වාහන ඇතත් මෙතරම් ස්‌වාමීන් වහන්සේලා සංඛ්‍යාවක්‌ වැඩ වසන මෙම පිරිවෙන් විහාරස්‌ථානයට වාහනයක්‌ පවා නොමැත. උන්වහන්සේ සියලු ගමන් බිමන් යනුයේ පාවහන් පවා නොමැතිවයි.

මෙවන් අල්පේච්ඡ ජීවිතයක්‌ ගත කරමින් ප්‍රදේශවාසී ජනතාවට මෙන්ම බුද්ධ ශාසනයට මහා මෙහෙවරක්‌ කරන මෙම කුරුවිට චන්දානන්ද හිමියන්ගේ වෙහෙසීම, උත්සාහය හා සේවයේ අපේක්‌ෂාව ගැන “දිවයින” කළ විමසුමකට ලැබුණු පිළිතුරු වූයේ.

මම බෞද්ධ ශානයනයට කැපවුණු හිමිනමක්‌, බුද්ධධර්මයේ පවතින බුදුන්වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව අකුරටම පිළිපදිනවා. සාමණේරයන් වහන්සේලා නඩත්තු කිරීමේදී ආර්ථික ගැටලු නිතර මතුවෙනවා. මේ හැම දේකටම වැය කරන්නේ ගුරුවරයකු වශයෙන් මට ලැබෙන වැටුප හා වෙනත් ආදායම් වලින් ලැබෙන මුදල්. පුද්ගලික අවශ්‍යතා සඳහා වන වියදම කපා හැරලා සියලු ආදායම් බෞද්ධ ශාසනය වෙනුවෙන් කැප කිරීම මගේ අරමුණයි. කුඩා සාමණේරයන් වහන්සේලා නිතර ගිලන් වෙනවා. වාහන ගාස්‌තු බෙහෙත් වලට මසෙකට විශාල මුදලක්‌ වැය වෙනවා. උන් වහන්සේ කිසිදු දිනක පාවහන් පරිහරණය කර නොමැති බවත් ජංගම දුරකථන, වාහන, වෙනත් සුඛෝපභෝගී උපකරණ පරිහරණය නොකරන බවත් අපවත්වන තුරුම තම කාලය දනය ශ්‍රමය බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරන බවත් කීය. පින්තූරයෙන් දැක්‌වෙන්නේ සාමණේරයන් වහන්සේලා හතළිස්‌ අටනමක්‌ ඇතුළු පනහකට අධික පිරිසකට දිනපතා අවශ්‍ය ආහාර සඳහා විහාරස්‌ථ භූමියේ එළවළු වගාවට සකස්‌ කරන අයුරුයි.

(තොරතුරු සෙවීමේදී සහාය වූ මාධ්‍යවේදී අනිල් කරුණාරත්න මහතාට ස්‌තුතිය.)