මේ කතා කරන්නේ අනුන්ට කරදරයක් වන තරුණයන්ට යි!
යම් යම් හේතූන් නිසා නොමඟට වැටුණු අපේ දයාබර තරුණ පිරිස අපි හදාගනිමු; රටට වැඩදායක පිරිසක් බවට පත් කරමු. මේ ඒ සඳහා දරන වෑයමකි.
සනත් ලියනගේ source:
පාසල් සමය අප කවරකුගේ වූව ද ජීවිතයේ ඉතා ම සුන්දර සමය බව අමුතුවෙන් කිව යුතු නො වේ. එහි සුන්දර බව මෙන් ම වටිනා බව ද බොහෝ දෙනකුට අවබෝධ වන්නේ පාසල් ජීවිතයට සමු දුන් පසු වීම අභාග්‍යයකි. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසාදමා කවර පලයක් ද? ඔබගේ ජීවිත කාලයෙන් පාසල් අධ්‍යාපනය සඳහා ඔබට හිමි ව ඇත්තේ ඉතා කෙටි කාලයකි. මෙම කෙටි කාලය මැනවින් කළමනාකරණය කරමින් ඔබගේ උසස් අරමුණු මුදුන් පමුණුවාගැනීමට ඔබ දක්ෂ විය යුතු ය. ‘කාලය රන් හා සමාන යැ’ යි අප අතර කියමනක් ඇත. එහෙත් එය අනාගතයේදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ගබඩා කර තැබිය නොහැකි ය. ගත වන කාලය යළි කිසි ලෙසකින් ඔබට අත්පත් කරගත හැකි නො වේ. එබැවින් ඔබ බුද්ධිමත් විය යුතු ය; ගැඹුරින් සිතිය යුතු ය.
අද දවසේ මාධ්‍ය මඟින් ඔබට හඳුන්වා දෙන්නේ ‘ඉස්සෙල්ලා Drink. පස්සේ Think’ වැනි සංකල්ප ය. එහෙත් දැයේ බුද්ධිමත් දූ-දරුවන් එබඳු තකතීරු සංකල්ප තමන්ගේ ජීවිතවලට බද්ධ නොකරගන්නා බව නිසැක ය. ඔබගේ සුදු පැහැති පාසල් නිල ඇඳුමේ අපූර්වත්වයක් අද දවසේ පාසල් යන ඔබට නැතුවා විය හැකි ය. එසේ වුවත් පාසල් හැර ගිය අයකුගෙන් විමසුව හොත් පාසල් නිල ඇඳුම තරම් අපූර්ව සුන්දර නිල ඇඳුමක් නැති බව ඔහු පවසනවා නිරනුමාන ය.
පාසල් බිමේ සුන්දරත්වය, ඒ ගොඩනැඟිලි අතර ගත ව ගිය කාලය, පන්ති කාමරය, ගුරුවරුන්, යහළු-යෙහෙළියන් පිළිබඳ ව මතක මෙම ලිපිය කියවන බොහෝ දෙනකුට සිහියට නඟාගැනීමට අපහසු නොවනු ඇත. ඒ අප සියලු දෙනාට ම සුන්දර පාසල් කාලයක් තිබූ බැවිනි.
අද පාසල් සිසු-සිසුවියන් ඒ සුන්දරත්වය අත්විඳින්නේ අපට වඩා වෙනස් අයුරකින් විය හැකි ය. එහෙත් ඒ සමනළ වයසේ හැඟීම්වල වෙනසක් තිබිය නොහැකි ය. අද තරුණ පරපුර භාවිත කරන්නේ පෙර පරපුරු භාවිත කළ වාග් මාලාව නො වේ. එය බෙහෙවින් වෙනස් ය. පාසල් සිසුසිසුවියන් සමූහයක් එකතු වූ විට කරන කතාබහකට මඳක් සවන් දී බලන මැදිවිය පසු කළ බොහෝ දෙනකුට ඔවුන්ගේ භාෂා විලාසය මෙන් ම හැසිරීම් රටාව ද ප්‍රසන්න හැඟීම් ජනිත නොකරනු ඇත. මේ පරම්පරා ගැටුම එදාත් විය; අදත් එය එසේ ම ය.
පසුගිය සමයක බොහෝ පාසල් සිසුන් හට ඔවුන්ගේ ම වචනවලින් පවසන්නේ නම් ‘උණක්’ වැලඳී තිබිණි. එය එසේ-මෙසේ උණක් නො ව, ‘දාර උණකි’; නැති නම් ‘පට්ට උණකි’. දිවයිනේ සුළුතරයක් වූ නාගරික ජනප්‍රිය පාසල්වල සිසුන්ට වැලඳී තිබුණු මේ උණ අනෙකක් නො ව, ක්‍රිකට් උණ ය. ඔවුන් එය හඳුන්වන්නේ ‘බිග් මැච් ෆීවර්’ යනුවෙනි. ගැටලුව ඇත්තේ උණෙහි නො වේ; ඔවුන්ට උණ වැලඳෙන විට සමාජය ම ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් නිර්මාණය වී තිබීමෙහි ය.
මේ කියන්නට යන අත්දැකීමට මුහුණ පෑමට මට සිදු වූයේ ද ඉකුත් ක්‍රිකට් වසන්ත සමයේදී ය. එදින ද සුපුරුදු පරිදි මම සේවය නිම වී නිවෙස බලා යෑමට බසයට ගොඩ වී සිටියෙමි. සුළු වේලාවකින් දැකගන්නට ලැබුණේ නාමයෝජනා භාර දී පැමිණෙන දේශපාලනඥයන් හා ගෝල-බාලයන් පිරිවරාගත් පෙළපාළියක් වැනි යමකි. ඩබල් කැබ් රථ, සෆාරි ජීප් රථ, ත්‍රිරෝද රථ, යතුරුපැදි පමණක් නොව, සුඛෝපභෝගී ජීප් රථ ආදිය ද පිරිවරාගෙන පැමිණි නගරයේ සුපිරි පාසලක තරුණයන් පිරිසක් සැණෙකින් මුළු නගරය ම සිය ග්‍රහණයට ගත්තාක් මෙන් විය. ඔවුන්ගෙන් සමහරකු දුටු විට ඔවුන් පාසල් සිසුන් දැ යි සැක සිතෙන තරමට ම හැසිරීම අවුල් සහගත විය. ඔවුන් අතරින් සමහරකු මත්පැන් පානය කොට ඇතැ යි සිතාගැනීම අපහසු නො වී ය. සංගීත කණ්ඩායම් පිරිවරා වෙස් මුහුණු පැලඳ පාසල් ධජය හා ජාතික ධජය ඉණ වටාත්, කර වටාත් දවටාගත් සිසුන්ගේ නැටුම්, ගැයුම් හා නොයෙකුත් විසූක දසුන් හේතුවෙන් සැණෙකින් රථවාහන තදබදයක් ද ඇති විය.
ඔවුන්ගේ සතුට, ප්‍රීතිය සාධාරණ ය. එහෙත් ගැටලුව ඇත්තේ ඔවුන්ගේ හැසිරීම හේතුවෙන් අපහසුතාවට පත් සිය ගණනක් මගී ජනතාව සම්බන්ධයෙනි. වසරකට එක වතාව යැ යි සලකා සිද්ධිය ලඝු කොට සැලකිය හැකි නො වේ. පාසල් පද්ධතිය තුළ ද විනය පිරිහී ගොස් ඇති බව මෙබඳු සිදුවීම්වලින් පැහැදිලි වේ. ඔවුන්ට අනුව එය ‘ආතල්’ ගැනීමකි; ‘ෆන්- එක’ ගැනීමකි. තමන් ජීවිතය විඳිනවා යැ යි සිතන්නේ එවැනි ක්‍රියාවලිනි. එහෙත් මැදහත් සිතින් ඒ දෙස බලා සිටින කවරකු හට වුව ද ඔවුන්ගේ විඳවීම පෙනී යනවා නිසැක ය.
මේ ක්‍රිකට් සැණකෙළි සමයේදී පාසල් සිසුන්ගේ තවත් අවිනීත හැසිරීම් පිළිබඳ විවිධ තොරතුරු මාධ්‍ය මඟින් අනාවරණය විය. ඇතැම් තැනක පාසල් සිසුන් වෙළෙඳසල්වලින් ආධාර එකතු කොට ඇත්තේ කප්පම් ගන්නා පරිද්දෙනි. එමෙන් ම කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ විදුහලක සිසුන් පිරිසක් ඒ ආසන්නයේ වූ බාලිකා විදුහලකට බලහත්කාරයෙන් ඇතුළු වී සිසුවියන්ට අතවර කිරීමට උත්සාහ කළ පුවතක් ද බිග් මැච් උණ අස්සේ ම මාධ්‍ය මඟින් මාධ්‍ය මඟින් අනාවරණය විය. මේ සිද්ධියට පොලිසියට ද මැදිහත් වන්නට සිදු වූ බවත්, සිසුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ වයස හා අනාගතය ගැන සලකා දැඩි ලෙස අවවාද කොට මුදාහළ බවත් මාධ්‍ය වාර්තා කොට තිබිණි.
මෙවැනි සිදුවීම් පිළිබඳව සමස්ත සිසු පරපුරත්, දෙමවුපියන් – වැඩිහිටියන් ලෙස අප සියලුදෙනාත් ලජ්ජා විය යුතු ය. මෙවැනි සිදුවීම් කවර විදුහලක වුව ද කීර්ති නාමයට කැළලකි. විනය නැති තැන පිරිහීම වැළැක්විය හැකි නො වේ. සමස්ත සමාජයේ විනය පිළිබඳ ප්‍රශ්න කළ යුතු මොහොතක පාසල් පද්ධතිය තුළට පමණක් එය ලඝු කිරීම ද සාධාරණ නැත. එමෙන් ම නාගරික ඉහළ මධ්‍යම පන්තියේ දූ-දරුවන් සුළු පිරිසක් මෙලෙස හැසිරුණු පමණින් සමස්ත පාසල් පද්ධතියටමත්, සිසු පරපුරටමත් අපි ඇඟිල්ල දිගු නොකරන්නෙමු.
එහෙත් නාගරික මධ්‍යම පන්තික දරුවන් ආදර්ශයට ගන්නා අහිංසක ගැමි දරුවන්ට ද මෙවැනි සංදර්ශනයන්ගෙන් ගිනි කණා වැටී, ඉබාගාතේ යෑමේ අවාසනාවන්ත තත්ත්වයක් පිළිබඳ අනාගත බියක් අප තුළ ඇත.
අපේ අරමුණ බෞද්ධ ආගමික සමාජ පසුබිමක් තුළ හැදුණු, වැඩුණු ගුණගරුක දූ-දරුවන් මෙවැනි සිද්ධීන් පිළිබඳ දැනුවත් කිරීමත්, ඒවායේ ආදීනව පෙන්වා දී ඔවුන් වැරදි මාර්ගයෙන් මුදාගැනීමට සුළු හෝ උත්සාහයක් දැරීමත් ය.
එවන් දූ-දරු පරපුරක් ‘නමස්කාර’ සඟරාව කියවන බැව් අපි දනිමු. ඔබේ සම–වයසේ පසු වන සොහොයුරන් පිරිසක් සම්බන්ධයෙන් ඉහත දැක්වූ අදහස් ඇතැම් විට ඔබේ සිත ද රිදවූවා විය හැකි ය. එහෙත් එය ධනාත්මක විවේචනයක් සේ සලකා මැදහත් සිතින් නැවත සිතා බලන්න.
පහතට ම ගලා බැසීම ජලයේ ස්වභාවය යි. එමෙන් ම සුමඟට නොව, නොමඟට යොමු වීම පුහුදුන් මිනිස් ස්වභාවය යි. දරුවන් සුමඟට යොමු කිරීමට ඔවුන්ගේ මුල් ම ගුරුවරයා (පුබ්බාචරීය) ලෙස හඳුන්වනු ලබන දෙමවුපියන් සතු කාර්යභාරය ඉතා විශාල ය. ජීවිතයක් හැඩගැස්වීම කඳුමුදුනකට ගලක් පෙරළීම වැනි දුෂ්කර කටයුත්තකි. එය තනි ව කළ හැක්කක් ද නො වේ. මවුපියන්, ගුරුවරුන්, කල්‍යාණ මිත්‍රයන්ගේ සහාය ගුණගරුක ජීවිතයක් සකසාගැනීම සඳහා අවශ්‍ය වන්නේ මේ නිසා ය. ඔබ ඔවුන්ගේ අවවාද, ගුරුහරුකම් ලබාගැනීමට තරම් නිහතමානී වන්න. එය ඔබගේ දියුණුව සඳහා හේතු වනු නිසැක ය. රාහුල පොඩි හාමුදුරුවන්ගේ චරිතය කුඩා කල ඔබ කියවා ඇතිවාට සැකයක් නැත. එබඳු චරිත, ඔබගේ චරිතය හැඩගස්වාගැනීම සඳහා ආලෝකයක් කරගන්න.
තරුණ ඔබ ගත කරනුයේ ජීවිතයේ මල් සමය යැ යි කිව හොත් එහි වරදක් නො වේ. ඔබේ නීරෝගි බව, කඩවසම් බව ඇතැම් විට ඔබ තුළ මානයක්, උඩඟු බවක් ඇති කිරීමට සමත් වේ. තරුණයන් ඇතැම් වයස්ගත පුද්ගලයන්ට ‘මැන්ටල්’ – ‘චමින්ද’ වැනි නම් ආදේශ කරන්නේ මේ මානය හේතුවෙනි. එහෙත් බුදුදහම පිළිබඳ සරල වූ අවබෝධයක් හෝ ඔබ තුළ තිබේ නම් ඔබේ රූපය නිසා නීරෝගි බව නිසා, ඔබ සතු කාය ශක්තිය නිසා ඔබ කිසිවිටෙකත් මානයක් ඇති කරගන්නේ නැත. යෞවන මදයෙන්, ආරෝග්‍ය මදයෙන් මත් වන්නේ ජීවිත අවබෝධයක් නැති කෙනෙක් පමණි.
“තරුණකම මහලු වීමෙන් අවසන් වෙයි. සියලු එකතු වීම් හා හමු වීම් වෙන් වීමෙන් කෙළවර වෙයි. සියලු ආදර ශෝකයෙන් කෙළවර වෙයි. සියලු ජීවිත මරණයෙන් කෙළවර වෙයි,” යන මෙය බුදු වදන යි.
තාරුණ්‍යයේ ජවසම්පන්න බව, නීරෝගි බව, ඕනෑ ම අභියෝගයක් බාර ගැනීමට නොපැකිළෙන මනෝභාවය ආදි කරුණු හේතුවෙන් තරග වැඳීම සඳහා සුදුසු ම අවධිය මෙම කාලය ලෙස සැලකේ. ක්‍රීඩාව තරගකාරි විය යුතු ය. එය එහි ස්වභාවය යි. එහෙත් ක්‍රීඩාව පමණක් නොව, අපගේ අධ්‍යාපන රටාව ද තරගයක් බවට අද පත් වී තිබේ. පාසලින් සමුගත්ත ද අධ්‍යාපන කටයුතු අවසන් කළ ද, තරගයේ කෙළවරක් නැත. සමාජයේ කොතැනක බැලුවත් ඇත්තේ තරගය යි.
අද මෙරට තුළ ක්‍රියාත්මක වන්නේ බ්‍රිතාන්‍යයන් අප හට හඳුන්වා දුන් අධ්‍යාපන ක්‍රමය යි. ක්‍රිකට් ක්‍රීඩාව ද අපට දායාද වුයේ ඔවුන්ගෙනි. තරගකාරී ක්‍රීඩාවක් මිනිසාගේ කායික-මානසික සෞඛ්‍යය සඳහා උපකාරී වූව ද, වර්තමාන තරගකාරීඅධ්‍යාපන රටාව නම් දරුවාගේ කායික මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටලු ඇති කරවන බව විශේෂඥ මතය යි. අද පෙර පාසල් දරුවාට පවා වැඩපොත් සකස් වී තිබේ. පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය ළමා මානසිකත්වයට අයහපත් ලෙස බලපෑම් ඇති කරවන බව නොරහසකි.
ජපානය වැනි රටවල ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම යොමු වී පවතින්නේ දරුවන්ගේ සාරධර්ම නගාසිටුවීම සඳහා නැති නම් කුසලතා වර්ධනය කිරීම සඳහා ය. ආචාර සමාචාර කරන ආකාරය, වැඩිහිටියන්ට ගරු කරන ආකාරය, බස් නැවතුම්පළක දුම්රියපළක හැසිරෙන ආකාරය, පොදු දේපළ රැකගැනීමේ වැදගත්කම ජපන් ජාතිකයන් ඉතා කුඩා අවදියේදී ම තම දරුවන්ගේ මනසට කාවද්දන බවත් පසු ව ඒවා නිරායාසයෙන් ම අනුගමනය කිරීමට දරුවන් පෙලඹෙන බවත් අපි දනිමු. එකී රටවල සාර්ථකත්වයේ රහස ද එය ම ය.
එහෙත් අපේ රටේ තත්ත්වය මෙයට කොතරම් වෙනස් ද? දරුවා පාසලට ඇතුළු වූ විගස ම විෂය බද්ධ කරුණු ඉගැන්වීමටත්, විභාග සඳහා සූදානම් කිරීමටත් විනා යහපත් සිරිත්–විරිත්, ගුණධර්ම ආදිය ඉගැන්වීමට බහුතර මවුපියන් වත් ගුරුවරුන් වත්, උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට නැත.
පාසල් හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමවා සමාජයට පා තබන පුද්ගලයා තරගයට වැදී ඉන් හෙම්බත් වූ පුද්ගලයකු පමණක් නම් ඔහු හෝ ඇය සතු උසස් විභාග ප්‍රතිඵලයෙන් කවර ඵලයක් ද? සංවේදී හදවතක් නැති රොබෝවරයකු සමාජයට දායාද කරන අධ්‍යාපන ක්‍රමය දැන් වත් රටට ගැළපෙන සේ සකසාගත යුතු නො වේ ද? ඔබට ඇළ-දොළ ගංගා ගහ-කොළ ආදිය දෙස, අහසෙහි සරන කුරුල්ලකු දෙස, අහසෙහි චමත්කාරජනක රටා මවන වලාකුළු ලෙස, උදාතරුව දෙස, බටහිර අහසේ කඳු පෙළ අතරින් බැස යන හිරු දෙස බලා සෞන්දර්යයාත්මක වින්දනයක් ලැබිය නොහැකි නම් මුදු කාරුණික හැඟීම් ඔබ සතු නො වේ නම් අන්‍යයන්ගේ දුක්-වේදනාවන්හිදී උණු වන හදවතක් නොමැති නම් ඔබේ උගත්, බුද්ධිමත් භාවය කුමකට ද?
“ඔබ ළමා වියේදී නිවැරදි අධ්‍යාපනයක් නොලබන්නේ නම්, වැඩිහිටියන් වූ කල්හි ඔබ විසින් බිහි කරනුයේ ද මෙවැනි ම වූ ගැටුම් බහුල කාලකණ්ණි ලෝකයක් ම බව නිසැක යැ” යි ක්‍රිෂ්ණමූර්ති තුමා පවසා ඇත.
තරගය අප තුළ ඇති කරනුයේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ආදි මනෝභාවයන් නො වේ. ක්‍රීඩා තරග වේවා, තරග විභාග වේවා ඒ කවරකදී වුව ද, ඔබට ප්‍රතිවාදියකු සමඟ තරග කිරීමට සිදු වේ. ප්‍රතිවාදියා පිළිබඳ කරුණා, මෛත්‍රී සිතුවිලි පෙරදැරි ව තරගයට යා හැකි ද? බුදුදහමට අනුව නම් යමකු ශ්‍රේෂ්ඨ වන්නේ අනුන් දිනීමෙන් නො ව තමා දිනීමෙනි. අනුන් දිනීමට වෛරය, ක්‍රෝධය, පලි ගැනීම අවශ්‍ය නමුත්, තමා දිනීමට ඒ කිසිවක් අවශ්‍ය නො වේ. වඩාත් අපහසු වන්නේ ද අනුන් දිනීම නොව, තමා දිනීම ය. ඔබ මුළු ලොව ම දිනුව ද සිතෙහි සතුටක්, සැනසුමක් නැති නම් ඒ දිනුමෙන් කවර පලක් ද?
තරග වැදීමෙන් ලද හැකි ප්‍රතිඵල දෙකකි. එක්කෝ ඔබට ජය හිමි වේ. නැති නම් ඔබ පරාජයට පත් වේ. ක්‍රීඩාවෙහි මූලික අරමුණක් වනුයේ ද මේ ජය–පරාජය සම සිතින් විඳ දරාගැනීමට ඔබ පුහුණු කරවීම ය. තමා ලැබූ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් නොවීමත්, ලැබූ පරාජයෙන් කලකිරීමට අධෛර්යට පත් නොවීමත් අගනේ ය.
අසල්වැසි ඉන්දීයයන්, පකිස්තානීන් පරාජයේදී හැසිරෙන ආකාරය අපට වඩා බෙහෙවින් වෙනස් ය. ක්‍රිකට් තරගයක් පරාජය වූ විට ඔවුන් එය දරාගත නොහැකි ව ආවේගශීලී ව ක්‍රියා කළ අවස්ථා අනන්ත ය. ජයග්‍රහණයේදී කර තබා ඔසවාගෙන යනු ලබන, වීරත්වයට නංවා පුදදෙනු ලබන ක්‍රීඩකයාගේ නිවෙස පරාජයේදී ඔවුන් අතින් ම විනාශයට පත් වේ. ඒ ජය-පරාජය සම ව විඳදරාගැනීමට තරම් සංයමයකින් යුතු මනසක් ඔවුන් සතු නොවන නිසා ය.
ක්‍රීඩාවේදී පරාජයට පත් නොවූ කිසිවකු නැත. ඇතැම් විට පරාජය නිසා ඔබ නින්දාවට අපහාසයට ලක් විය හැකි ය. මෙලොව කිසිවකුට නින්දා–අපහාසවලින් බේරී සිටිය නොහැකි බව බුදුන් වහන්සේ දේශනා කර ඇත (නත්ථි ලෝකේ අනින්දිතෝ). ඔබට පමණක් නොව, ගෞතම බුදුන් වහන්සේට පවා නින්දා-අපහාසවලට මුහුණ පෑමට සිදු වූ බැව් සිතන්න. නින්දා අපහාස හමුවේ නොසැලෙන අකම්පිත සිතක් සාදා ගැනීමට උත්සාහ ගන්න.
තාරුණ්‍යය වරෙක ආවේගශීලී ය. බුදුදහම තරුණ සිත් නිවා සුවපත් කරයි. තාරුණ්‍යය වරෙක ආශාවෙන් මුළා වෙයි. බුදුදහම අතෘප්තිකර ආශාවන්ගේ ආදීනව පෙන්වා දී ජීවිතයට සැනසීම ළඟා කරයි. තාරුණ්‍යය වරෙක පේ‍්‍රමය ආදරය සොයා යයි. බුදුදහම ආදරයේ පේ‍්‍රමයේ ඇති ආශාව, රාගය, මමත්වය බැහැර කොට මෛත්‍රිය, කරුණාව මුදිතාව හා උපේක්ෂාව වෙත කැඳවාගෙන යයි.
තාරුණ්‍යය යනු ජීවිතයේ නව අත්දැකීම් සොයා යන, නිරන්තරයෙන් ඉන්ද්‍රියන්ගෙන් සතුටක් ලබන්නට අවස්ථාවක් සොයන, ප්‍රිය අරමුණෙහි ඉක්මනින් ඇලෙන බැඳෙන, අකැමැති අරමුණෙහි වහා ගැටෙන වයසකි. එනිසා ම බොහෝ මවුපියන් නොදැමුණු දරුවන් පිළිබඳ ව මහත් කණස්සල්ලෙන් කල් ගෙවන බව ද රහසක් නො වේ. කල්පනා ශක්තියක් තිබෙන තරුණයෝ ‘මා නිසා අනුන්ට හිරිහැරයක් නො වේවා!’ යන අදහසින් ජීවත් වීමට අද ම, මේ මොහොතේ ම ඉටාගනිති.