Spread the News

සුභාෂිණී සේනානායක- Dinamina

අධිකරණ

අරලිය ගහ මන්දිරය සහ ගාලුමුවදොර පිටියේදී පසුගිය 09 වනදා සිදු කළ පහරදීම්වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 08 දෙනා ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (19) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් සැකකරුවන් 08 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර ඉන් සැකකරුවන් සිව් දෙනකු අවාරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ලබන 25 වනදා ඔවුන් ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර සිටියේය.

මෙලෙස රක්ෂිත භාර ගත කරනු ලැබුවේ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, සමීර චතුරංග ආරියරත්න, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ, කැලණිය නාගරික මන්ත්‍රි මංජුල ප්‍රියන්ත, පුෂ්පලාල් පෙරේරා, බන්දුල විජේකුමාර්, දිනෙත් ගීතික සහ ඩෑන් ප්‍රියසාද් යන සැකකරුවන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (18) අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව වෙනුවෙන් නිතිපති දෙපාර්මේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට කරුණු දැක්වීය.

සැකකරුවන්ට එරෙහිව ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ඇති බවත් එහි සාක්ෂි සම්පිණ්ඩන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන්ට ඇප දුනහොත් විශාල මහජන කැළඹීමක් සිදුවිය හැකි බැවින් ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඒ පසුගිය මැයි මස 09 වෙනිදා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර පිහිටි සාමකාමී අරගලයන්ට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව මොවුන් අත්අඩංගුවට ගත්බව කියා සිටි ලක්මිණි ගිරිහාගම මෙනවිය මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු පොල්ලකින් සාක්ෂිකරුවන්ට පහරදුන් බවට හඳුනාගත් බවත් ඩෑන් ප්‍රියසාද් අතේ කඩුවක් සහිතව සිටිමින් පහර දීපියව් කියමින් පහර දුන් බවට මාතර විමලදේව හිමියන් ඇතුළු සාක්ෂිකරුවන් පිරිසත් සාක්ෂි ලබා දී ඇති බව කියා සිටියාය.

සමීර චතුරංග , විශ්ව යන අයට පහර දුන් බවටත් 08 වන සැකකරු පුද්ගලිකව හදුනන බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති බවත් කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අනෙකුත් සැකකරුවන්ද පොලු ඇතැතිව පහරදුන් ආකාරය කියමින් සාක්ෂිකරුවන් රැසකගේ සාක්ෂි අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අතර ඒ බවට වන වීඩියෝ සාක්ෂි සම්බන්ධයෙන්ද කරුණු ඉදිරිපත් කළාය.

පුෂ්පලාල් කුමාරසිරි යන සැකකරු පියතුමන්ලා දෙදෙනකුට පහරදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වූ සාක්ෂි පොලිස් නිලධාරින්ද හදුනාගත් බවත් කියා සිටියාය.

ඩෑන් ප්‍රියසාද් මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජයන්ත ඩයස් නානායක්කාර මහතා

ඩෑන් ප්‍රියසාද් කඩුවක් අතැතිව සිටි බව කියනවා. පහරදීමක් සිදු කළ බවට අනාවරණය කර නැහැ. පොලු වලින් පහර දී තිබෙන්නේ වෙනත් අය. ඩෑන් ප්‍රියසාද් පහර දී නැහැ. මෙය ඇප දිය හැකි වරදක් ඇප ඉල්ලා සිටිනවා ස්වාමිනී.

මහේස්ත්‍රාත්වරයා – විශ්‍රමික යුද හමුදා නිලාධාරියෙක් සාක්ෂි ඉදිරිපත් කරමින් සැකකරු පහර දීපියව් කියන බවට සාක්ෂි ලබා දී තිබෙනවා.

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ යූ ආර් ද සිල්වා මහතා

අපක්ෂාපතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමිනී. මෙම චරිත ගැන යම් යම් මත තිබෙන නිසා ඒ අයට පහර දීමට උත්සාහ දරන බව ඒත්තු ගැන්වීමට උත්සාහ දරනවා. හිටපු අගමැතිවරයා තවදුරටත් සිටිය යුතු බවට අරලියගහ මැදුරේ සාකච්ඡාවක් පැවැත්වූ බව පැහැදිලියි. එහි අරමුණ අගමැතිවරයා තවදුරටත් සිටිය යුතු බවයි. මා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ඡායාරූපයේ චීවරධාරියකු ඔහුට පහර දෙන බවට සටහන් වෙනවා. ඔහුගේ අධාරකරුවකු බිම වැටී සිටිනවා. එහිදී චීවරධාරියා තල්ලුකර තම හිතවතා බේරා ගැනීමයි ඔහු සිදු කර තිබෙන්නේ. චීවරධාරියාගේ කටඋත්තරයේ ඔහු තල්ලු කළ බව තිබෙනවා. තල්ලු කරනු ලැබුවේ මගේ අයකුට පහර දීම නිසා. පරීක්ෂාවෙන් මේ සාක්ෂි පරීශිලනය කරන ලෙස ඉල්ලා සිටිනවා.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා – සමන්ලාල් ප්‍රනාන්දු මොරටුව නගර සභාවේ වෛද්‍යවරයකුට පහර දීමේ සිද්ධියකට ඇපමත සිටින අයෙක්. ඩැන් ප්‍රියසාද් නෙළුම් කුළුණ අසලදී මයිනා ගෝ ගමට පහර දෙන බව කියා තිබෙනවා. රටේ නීතිය ඔවුන් අතට ගෙන කටයුතු කර තිබෙන්නේ. මෙම සිද්ධියේදී හාල්මැස්සන් පමණක් අත්අඩංගුවට ගෙන තොරුන් මෝරුන් බේරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. නීතිපති වරයාගේ උපදෙස් මත මෙම ප්‍රහාරය සිදු කිරීමට අනුබල දුන් සහ ඒ වළක්වා ගැනීමට කටයුතු නොකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. මොවුන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මහේස්ත්‍රාත්වරයා – නීතිපති වරයා නම් කළ විසිදෙදෙනා කවුද?

නීතිපති දෙපාර්තමේන්තුව – සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කරමින් සිටිනවා. මෙය සංකීර්ණ පරීක්ෂණයක්. ්‍

මහේස්ත්‍රාත්වරයා – මේ සැකකරුවන්ගේ සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කළේ කොහොමද? ඉහළ නිලධාරීන් ආරක්ෂා කිරීමට සිදු කරන දෙබිඩි පිළිවෙත මොකක්ද? මේ නඩුව මට තවත් එක් නඩුවක්. තමුන්ටත් එය එක් නඩුවක් විය යුතුයි.

පොලිසිය – නියෝජ්‍ය පොලිස්පති තෙන්නකොන් මහතා ප්‍රකාශයක් කර සිටිනවා. එහි සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කරමින් සිටිනවා.

මහේස්ත්‍රාත්වරයා – අද දින ඉදිරිපත් කරන සැකකරුවන් රක්ෂිත බන්ධනාගරගත කරමින් මෙය පුළුල් විමර්ශනයක් බැවින් සාක්ෂිකරුවන් විශාල පිරිසක් සම්බන්ධ වී ඇති බැවින් විමර්ශනයට සාධාරණ කාලයක් දිය යුතුයි. ඇප දුනහොත් පුළුල් මහජන කැළබීමක් සිදුවිය හැකියි. ප්‍රධාන සැකකරුවන් මඟ හැර සුළු වැරැදි කළ සාමාන්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සළකා බලමින් ප්‍රධාන සැකකරුවන් සහ එය වළක්වා ගැනීමට රාජකාරියේ සිටි පුද්ගලයන් එය පැහැර හැරීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු විමසමින් සැකකරුවන් 13 දෙනා නිවැරැදිතාවය තහවුරු කර ගැනීමක් නැතිව අධිකරණයට ඉදිරිපත් කිරීම අනෙක් අය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය නීතිපතිවරයාගේ අවධානය යොමු කරමි.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රිවරයකු ඇතුළු දෙදෙනකු රක්ෂිත භාරගත කර ඇත.