Spread the News

මොවුන්ට පිහිටක්‌ වුණොත් ලොකු පිනක්‌

මත්තමගොඩ – මධුෂානී රණවීර

source:

කුමාරි හපුවැල්ල, එන්. ඩී. බේබිනෝනා සහ ඇගේ සැමියා ඡායාරූපයේ දැක්‌වේ.

කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ අම්පාගල වෑකඩ ප්‍රදේශයේ පදිංචිව සිටින මවක්‌ සහ දියණියක්‌ සුව කළ නොහැකි අසාමාන්‍ය රෝගයක්‌ වැළඳීමෙන් සදාකාලික ලෙස අසරණ වී සිටිති. නමින් එන්. ඩී. බේබිනෝනා (67) සහ කුමාරි හපුවැල්ල (42) වන අතර මෙම රෝගයට ගොදුරු වී සිටි එන්. ඩී. බේබිනෝනා ගේ පුත්‍රයා වන කේ. ජී. බේබි මහත්තයා මීට වසර 6 කට පෙර සර්පයකු දෂ්ට කිරීමෙන් මිය ගොස්‌ ඇත. ඔහු විසින් පාන්තිර අඹරා විකුණා උපයා ගන්නා මුදලින් මෙම පවුල නඩත්තු කොට ඇති අතර ඔහු මිය යැමනේ පසු මෙම පවුලට ජීවිකාව ගෙන යැමට ස්‌ථිර ආදායම් මාර්ගයක්‌ නොමැතිවීම හේතුවෙන් ඔවුහු අසරණව සිටිති.

ශරීරයේ කඳ කොටස කෙළින් තබා ගන්නට බැරි, හිස කෙළින් තබා ගන්නට බැරි, අසාමාන්‍ය රෝගී තත්ත්වයනට ගොදුරු වී සිටින මොවුන් දැනට තම ජීවිකාව ගෙන යන්නේ ප්‍රදේශයේ නිසේවලට ගොස්‌ තම දුක කියා ලබා ගන්නා සොච්චම් මුදලකිනි.

මේ පිළිබඳ කළ විමසීමකදී එන්. ඩී, බේබිනෝනා මහත්මිය මෙසේ පැවැසුවාය.

“මට මේ අසනීපෙ හැදුණෙ දුව ලැබුණට පස්‌සෙ. දවසක්‌ එක පාරට බෙල්ල උඩ ගියා. හරවන්න බැරිවුණා. කොළඹ මහ රෝහලේ ස්‌නායු ඒකකයෙන් බෙහෙත් කළා. දොස්‌තර මහත්වරුන් කීවෙ ලෙඩේ හොයාගන්න බෑ කියලා. 10 වැනි පන්තියේ ඉන්නකොට මගෙ දුවටත් මේ අසනීපෙ හැදුණා. 1997 දී මගේ පුතාටත් හැදුණා. රෝගය හැදුණාට පස්‌සෙ පුතා අපිව ජීවත් කළේ පාන්තිර අඹරලා විකුණලා උපයා ගන්න මුදලින්. පුතා මිය ගියාට පස්‌සෙ අපිට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක්‌ නෑ. මගේ සැමියාටත් දැන් වයස නිසා රැකියාවක්‌ කරන්න බෑ. මගේ සැමියා ගෙවල් ගානෙ ඇවිදලා කීයක්‌ හරි හොයා ගන්න ඒකෙන් තමයි අපි ජීවතේ වෙන්නෙ. මේ අසනීපෙට බේත් ගන්න විශාල මුදලක්‌ වැය වෙනවා. අනේ අපිට උදව් කරන්න පුළුවන් නම් ගොඩක්‌ පින්සිද්ධ වෙනවා.

පින් කැමැති ඔබට මේ පිරිසට ආධාර, උපකාර ලබා දියහැකි නම් එය මහඟු පින්කමකි. කුමාරි හපුවැල්ල මහත්මියගේ නමින් ගිණුම් අංක 1 – 0035 – 03 – 0981-8 යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමක්‌ අරඹා ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විස්‌තර 036 – 5610577 යන දුරකථන අංකයෙන් ලබාගත හැක.