යාපනයේ සියලු ඉඩම්වලට වන්දි ලබාදීම මාර්තු 15ට පෙර

Spread the News

යාපනයේ සියලු ඉඩම්වලට වන්දි ලබාදීම මාර්තු 15ට පෙර

මහින්ද අලුත්ගෙදර යාපනය සිට source:

සංවර්ධන කටයුතු වෙනුවෙන් අත්පත් කරගත් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම ඉඩම් සඳහා වන්දි ලබාදීම එළඹෙන මාර්තු මාසයේ 15 දාට ප්‍රථම අවසන් කිරීමට රජය තීරණය කරයි.

එම ඉඩම් සියල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අත්පත් කරගෙන තිබෙන අතර එහි ප්‍රතිලාභ ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාවට බවද යුද්ධය හේතුවෙන් දුක්බර ජීවිතයක් ගතකළ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මේ සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

මේ අවස්ථාව යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට අතිශයින්ම වැදගත් බව පෙන්වාදුන් ඒ මහතා දශක තුනක කාලයක් ගතකළ දුක්බර ජීවිතයෙන් මිදී සංවර්ධයේ ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව හිමිව තිබෙන බවද කියා සිටී.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (10) පැවැති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි. උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී පසුගිය 2013 වර්ෂයේ ලබා තිබෙන ප්‍රගතිය සමාලෝචනය වෙනුවෙන් මේ සාකච්ඡාව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේ උතුරු හා නැඟෙනහිර ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීම යුතුකමක් බවත් යාපනය දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීම වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්ය.

මේ වනවිට ආරක්ෂක අංශ විසින් අත්පත් කරගෙන තිබූ උතුරේ ඉඩම් යළි එහි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම ආරම්භ කර තිබෙන බව සඳහන් කළ ඒ මහතා මේ වනවිට ශ්‍රී ලංකා යුද හමුදාව පරිහරණය කළ ඉඩම් අක්කර 20,012 ක්ද ශ්‍රී ලංකා නාවික හමුදාව පරිහරණය කළ ඉඩම් අක්කර 2,024 ක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරිහරණය කළ ඉඩම් අක්කර 716 ක් එහි මුල් පදිංචිකරුවන් වෙත ලබා දී තිබෙන බවද සිහිපත් කළේය.

දැනට පවතින ඉඩම් ගැටලු සහ ඒවා විසඳීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එළඹෙන ජූනි මාසය වනවිට එම ඉඩම් ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඇමැතිවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය. මේ අතර ඉඩම් නොමැති පවුල් වෙනුවෙන් ඉඩම් ලබාදීමේ දී රජයේ ඉඩම් පවතින ප්‍රදේශයන් වෙත අවධානය යොමුකරන ලෙස සඳහන් කළ ඒ මහතා යාපනය දිස්ත්‍රික්කයේ පවතින සියලුම ඉඩම් සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර අදාළ වාර්තාව මේ මාසයේ 22 දාට ප්‍රථම තමා වෙත ලබාදෙන ලෙස අදාළ ප්‍රදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

ඒ වෙනුවෙන් වැයවන මුදල අමාත්‍යාංශය විසින් ලබාදීමට කටයුතු කරන බවද ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ සෑම ප්‍රදේශීය ලේකම් කාර්යාලයක් සඳහාම පරිගණකයක්, මුද්‍රණ යන්‍රයක් බැගීන් ලබාදීම ද ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අතින් මෙහිදී සිදුවිය.

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අශෝක පීරිස්, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි, යාපනය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමනායගම්, ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජනරාල් ගාමිණී ඉලංගරත්න, ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.පී.ආර් රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.