යුද්ධයේ දී ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කෙළේ ත්‍රස්ත ඉලක්කවලටයි

Spread the News

යුද්ධයේ දී ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කෙළේ ත්‍රස්ත ඉලක්කවලටයි

ගුවන් හමුදාපති සහතික වෙයි source:

චන්ද්‍රිකා පෙරේරා

යුද්ධයේ දී ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කෙළේ ත්‍රස්තයින්ට පමණක් බවට සනාත කිරීමට සාක්කි ඇති බව ගුවන් හමුදාපති එයා මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සඳහන් කරයි.

කිසිවකුට ඒ පිළිබඳ චෝදනා කිරීමට නොහැකි බවත් අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් හෙතෙම දිනමිණට පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතිහාසයේ සිටම සිදුකළ මෙහෙයුම් ඇතුළු ගුවනේ කළ රාජකාරින් පිළිබඳ ලියැවුණු කෘතියක් ද ඉදිරි දිනවල දී එළිදැක්වීමට නියමිත බවද හේ පැවසීය.

ත්‍රස්තවාදය මෙරටින් පිටුදැකීමට ගුවන් හමුදාව සිදුකළ මෙහෙයුම් පිළිබඳ සියලු විස්තර මේ කෘතියේ ඇතුළත් ව තිබෙන අතර මානෂිය මෙහෙයුමේ දී ත්‍රස්ත ඉලක්ක වෙත එල්ල කළ නිවැරදි ප්‍රහාර පිළිබඳ හෙළිකෙරෙන තොරතුරු රැසක් මේ කෘතියේ ඇති බව හේ පෙන්වා දුන්නේය. විශේෂයෙන් 2006 වසරේ ඇරඹි මානුෂිය මෙහෙයුමේ දී නිරීක්ෂණ යානා ( බීච් ක්‍රාෆ්ට්) හා නියමු රහිත යානා මඟින් ලබාගත් තොරතුරු හා සැටලයිට් තාක්ෂණය හරහා ගත් ඡායාරූප දර්ශන සියල්ල නිසි ලෙස තහවුරු කර ගැනීමෙන් පසු පහරදීම් සිදුකළ බව ද, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා කීය.

මේ තොරතුරු ඇතුළත් කර “ඒරියල් ට්‍රිබියුට්” නමින් ගුවන් හමුදාවේ ඉතිහාසය පිළිබඳ ඉංග්‍රීසි බසින් ලියැවුණු කෘතියක් එළිදැක්වීමට නියමිත බව හෙතෙම සඳහන් කෙළේය.