Spread the News

යුද්ධාධිකරණය පිළිගන්නා මේ බෞද්ධ රටේ සංඝාධිකරණයේ තැන කොතැනද?

source:

සේයා අනුග්‍රහය: AFP

මෑතක සිට අපේ රටේ බෞද්ධකමට සුද්දාගේ කාලයේවත් නොතිබුණු කෙණහිලිකම් දක්නට ඇත. බොහෝ විට මේ කෙණහිලිකම් කරන්නේ අන් කවරකුවත් නොවේ බෞද්ධ යයි කියා ගන්නා අපේ දේශපාලනඥයන් ම ය. “ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට මගුල්” කීවාක් මෙන් මෙයින් ප්‍රයෝජන ගන්නේ අන්‍ය ආගම්වාදීන් ය.

එදා වත්තල විජයබා පිරිවෙන තිබූ තැන පෘතුගීසි කාලයේදී කතෝලික පල්ලිය ඉදි කෙරුණි. ඒ එදාය. රටට නිදහස ලැබුණාට පසුව පාලනයේ සිටින්නේ බෞද්ධයන් කියා ගන්නා අය ය. දීඝවාපිය ඩෝසර් වුණි. ලංකාවට බුද්ධ ධර්මය ගෙනාවා යැයි බෞද්ධයන් බොහෝ දෙනකු විශ්වාස කරන මිහිඳු හිමි වැඩි මිහින්තලා කන්ද අද නගින විට අපූරුවට පෙනෙන්නට කතෝලික පල්ලියක් ඉදි වූයේත් 1994 න් පසු ය. කූරගල වැනි ඉතා පැරණි බෞද්ධ සිද්ධස්ථානයක මුස්ලිම් පල්ලියක් ඉදි කර ඇත. දැන් මහමෙවුනාවෙත් මුස්ලිම් පල්ලියක් අටවන ලදි.

ඇත්ත, ආගම ඇදහීමට කාටත් අවසර තිබේ. එහෙත් අන්‍ය ආගමිකයන්ගේ පල්ලි දේවස්ථාන අපේ ලිප්බොක්ක අස්සේම අටවන තෙක් බෞද්ධයා නිවටව බලා සිටිය යුතු ද?

මේ අවනඩු විසඳන්නට සංඝයා වහන්සේලා උනන්දු වන්නේ නැත. හේතව විධායකය පටන් ගත් තැන සිටම කියවුණේ සංඝයා සුදුසු වන්නේ පඩික්කම් පිරවීමට පමණක් බව ය. රජ කාලේ සිටි සංඝයා වහන්සේලා රජවරුන්ට විරුද්ධ ව තීන්දු ගැනීමට පවා බලවත් වූහ. මෙයට බොහෝ දුරට හේතුව විය හැක්කේ අද සංඝාධිකරණය බල රහිත වීම යි. රජුන්ට පමණක් නොව තම නිකායට අයත් ව සිටින භික‍ෂුවකගේ විනය සම්බන‍ධවත් දඬුවමක් දීමට නොහැකි ය. මෙයට අපේ භික‍ෂූන් වහන්සේලාත් බොහෝ දුරට වගකිව යුතු ය. උන්වහන්සේලා පන්සල්වල අයිතිය ඉල්ලාගෙන තවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට විරුද්ධව සිවිල් අධිකරණයකට යති.

හාමුදුරුවනේ,
ගිහි ගෙය අතහැර ආ ඔබ වහන්සේලාට කොයින්ද අයිතියක් පන්සලට? මෙය වහාම සංශෝධනය විය යුත්තකි.
බුදු හිමිගේ කාලයේ විහාරාධිපති වහන්සේලා වැඩ නොසිටිය හ. මේ සඳහා අපට කතෝලික පල්ලියෙන් හොඳ ආදර්ශයක් ගත හැක. කිසිදාක කතෝලික පල්ලියේ පූජකයෙකුට එකම පල්ලියක එක දිගට සේවය කළ නොහැක. ඉහළින් එන අණට අනුව අවුරුදු 5 න් 5 ට මීසමේ භාරකාරත‍වය වෙනස් වේ.

මෙය නොවේද හාමුදුරුවනේ අපේ පන්සල්වලත් විය යුත්තේ?
අද ඈත ගම්වල සිටින භික‍ෂූන් වහන්සේලාගේ දැනුම් මට්ටම ඉතා පහළ ය. දන් සීට්ටුව ඛෙදා දීමත්, දනට වැඩමවීමත්, පාංශකූලයට වැඩමවීමත්, හැර උන් වහන්සේලාගෙන් වන වෙනත් සේවයක් නොමැත. අවවාද අනුශාසනා දෙන්නවුන්ගේ දැනුම් මට්ටම අඩුවන විට ඒ ගම ගැන කියනුම කවරේ ද?
එහෙත් භික‍ෂූන් වහන්සේලා පන්සල් අතර මෙසේ මාරුවෙමින් වඩිනවා නම් අපේ රටේ කොයි තරම් බුද්ධිමතුන් පහළ වනු ඇත් ද? “චරථ භික‍ඛවෙ චාරිකං – බහුජන හිතාය බහුජන සුඛාය” ඒ අපේ අමා මෑණියන් වහන්සේගේ වදන් ය.

හාමුදුරුවනේ,
දැන් මේ පිළිවෙතින් පෙළ ගැසිය යුතු කාලය නොවේ ද?
ඔබ වහන්සේලා ළඟට කවදාවත් ගිහි බෞද්ධයකු පැමිණ මෙවැනි ඉල්ලීමක් කළා ද? “හාමුදුරුවනේ මා ගොවි කුලයේ. ඒ නිසා මගේ ගෙදර දානයට සියම් නිකායේ භික‍ෂූන් වහන්සේලා වැඩම කරවා දෙන්න..”

ඇයි හාමුදුරුවනේ මේ නිකාය භේදයක්? යැයි අසන අපට භික‍ෂූන් වහන්සේලා මෙසේ වදාරති..
“නෑ, අප මේ පාලනයේ පහසුවටයි මෙසේ ඛෙදී ඉන්නේ. අප දේශනා කරන ධර්මයේ වෙනසක් දැකලා තියෙනවාද?”

ඒකත් හොඳ ය. හාමුදුරුවනේ සංඝාධිකරණය ඉතා බලගතු සංශෝධන සහිත ව බල සහිත කිරීමට භික‍ෂූන් වහන්සේලාගේ එම වචන ම යොදා ගනිමු. දැන් ඇති පරිද්දෙන්ම සෑම දිස්ත්‍රික්කයකට ම සංඝාධිකරණයක් පිහිටවමු. (මේ අධිකරණ සංඝයාගෙන්ම සැදුම් ලද යුතු යයි අප සිතුව ද බුදු රජාණන් වහන්සේ වරක් මහා ප්‍රජාපති මෙහෙණින් වහන්සේලා වැනි අය සිටිද්දීත් කුමාර කාශ්‍යප මාතා භික‍ෂුණියගේ අවනඩුව ඇසීමට බාර දුන්නේ විශාඛා සිටු දේවියට යි. ඇත්තටම මෙහි විශාල වැදගත්කමක් ඇත. සංඝයා වහන්සේලා පමණක් රැස්වී පොහොය කර්මය කරන සේක. එහෙත් සංඝ විනය බොහෝ සෙයින් පල්ලම් බැස ඇත. විනිවිද භාවයටත් එක්කම ධර්මය හොඳින් ඉගෙන ගත් ගිහි බෞද්ධයන්වත් අධිකරණයට එක් කර ගතහොත් එය වඩාත් හොඳ ය. මෙයින් ලැඛෙන තීන්දුවකින් යම් භික්ෂූන් වහන්සේ කෙනෙක් සෑහීමට පත් නොවේ නම් ශ්‍රේෂ්ඨ සංඝාධිකරණයට යා හැකිය. මෙය අනිවාර්යෙන්ම තුන් නිකායෙන් සෑදුණක් විය යුතු ය. පන්සලේ සිටිනා එක් භික‍ෂුවක තම පුද්ගලික කරුණක් මත ගිහියකු සමග ආරාවුලක් ඇති කර ගත් විටදී පමණක් සිවිල් උසාවියට යා යුතු වන්නේ ය. එසේම, යම් භික‍ෂුවක චීවරයේ සිටිද්දී උපාධියක් ගත්තා නම් උන්වහන්සේ ඉන් අනතුරුව සිවුර හැර ගියා නම් උපාධියේ අවසන් වසර විභාගය නැවත කළ යුතු වේ. එසේම චීවරයේ සිටින කිසිම භික‍ෂුවක් විසින් භික‍ෂුවකට නොගැලපෙන උපාධියක් ලබා නොගත යුතු ය. මෙම නීති කිසි විටකත් අභියෝගයකට ලක් නොකළ යුතු ය.

එසේම බුද්ධ ධර්මය ගැන ලඟදීම ත්‍රෛනිකායික සංඝයා වහන්සේලා එකතුව සංඝායනාවක් පැවැත්විය යුතු වන්නේ බොහෝ භික‍ෂූහු තම තම ණැන පමණින් අවබෝධ කර ගත් ධර්මය තම තම ණැන පමණින් ම අර්ථ දක්වමින් දෙසන සේක. එක් භික‍ෂුවකු දෙන අර්ථයට හාත්පසින් වෙනස් අර්ථයක් තවත් භික‍ෂුවක් දෙයි. ඊළඟට භික‍ෂූහු හිරිකිත අන්දමින් මෙසේත් වදාරති. “ඔය අසපුවේ බණ.. බුදු බණ නොවේ.. ඔය උයනේ බණ.. බුදු බණ නොවේ..”

ලොව කිසි රටකට නැවැත්විය නොහැකි වූ ත්‍රස්තවාදය අප පරාජය කළේ බුද්ධ ධර්මයේ අනුහසිනි. ඒ නිසාම අවුරුදු 500 කවත් ඉතිහාසයක් නොමැති වූවන්ගේ කෙණහිලිවලට අප ගොදුරු වී ඇත. එක අතකින් දරුස්මාන් වාර්ථා ය. තව අතකින් චැනල් 4 ය. උඩින් ඇමරිකන් ප්‍රහාර යානා ය.

අතපය දිග හැර ගන්නට බෑ කියමින් නිදා ගනිමු ද?
නැතිනම් ධර්මයේ අනුහස විශ්ව ශක්තියට මුදා හරිමු ද?

බෞද්ධයනි අවදිවව්..!

සිංහලයා පුවත් වෙනුවෙන්,
තිලකා රන්දෙනි
thilakarandeni.lk
[email protected]