Spread the News

යුද අධිකරණ කුමන්ත්‍රණයට එරෙහිව දිවිහිමියෙන් කැපවෙනවා

ත්‍රෛනිකායික මහා සංඝරත්නය පවසති

source:

රටට නිදහස හා සාමය දිනා දුන් ජනපතිතුමන්, ආරක්ෂක ලේකම්තුමන් ඇතුළු නායකයින් යුද අධිකරණයට ගෙනයෑමට රටට එරෙහි කුමන්ත්‍රණකාරී බලවේග උත්සාහ කරන්නේ නම් එය පරාජය කිරීමට දිවිහිමියෙන් කැපවෙන අති බහුතර පිරිසක් මෙරට සිටින බව ඔවුන් මතක තබාගත යුතු බව තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය පවසති.

ත්‍රස්තවාදය රට වෙලාගෙන සිටියදී බියගුල්ලන් සේ සැඟවී සිටි පිරිස් දැන් කොටි හිතවාදීන්ට සහය දෙන ප්‍රකාශ කැරමින් වීරයින් වන්නට උත්සාහ කරන බවද සංඝරත්නය පවසති.

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත නාපානේ පෙමසිරි හිමියෝ – මට නින්ද යන්නේ මහින්දවයි ගෝඨාභයවයි යුද අධිකරණයට ගෙන ගියායි කියන පුවත දුටුවිට මට සිහිවුණේ බුදුසිරිතයි. සමස්ත ලෝකයාටම විමුක්ති මාර්ගය පෙන්වා දී වදාළ බුදු පියාණන්ටද ජීවිත හානි කරන්න මඟ යෙදු දේවදත්තලා හිටියා. එසේම මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ටත් ආරක්ෂක ලේකම්තුමාටත් එරෙහිව කොටි ත්‍රසත්වාදීන්ගේ ඡායා තවම ක්‍රියාත්මකයි. ඒ අතර සිංහල කොටින්ද සිටීම ලැජ්ජාසහගතයි. තවමත් ලෝකයේ නොයෙක් ආකාරයෙන් ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන බව පසුගියදා බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පැහැදිලි වෙනවා. රටට නිදහස හා සාමය දිනා දුන් නායකයින් යුද අධිකරණවලට ගෙනයෑම රටට එරෙහි කුමන්ත්‍රණකාරින්ගේ වුවමනාවයි.

එය අපි පරාජය කළ යුතුයි. මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියෝ – එදා ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ සමයේ කොටි නායකයින් කළ ම්ලේච්ඡ ඝාතන පිළිබඳව අද මානව හිමිකම් ගැන කතාකරන උදවිය එදා කිසිවක් කතා කළේ නැහැ.

යුද්ධයේ අවසන් භාගය කතා කිරීමට පෙර එහි ආරම්භය හා මැද කොටස පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයත් ආරක්ෂක ලේකම්වරයාගේ වැඩපිළිවෙළත් නිසා තිස් වසරක් පැවැති ත්‍රස්තවාදය පරාජය කරන්න අපට හැකිවුණා. දිනාගත් නිදහස රැකගන්න නම් මේ නායකයින්ට විරුද්ධව ක්‍රියාත්මක කුමන්ත්‍රණ පරාජය කරන්න අප පෙරට ආ යුතුයි.

එදා යුද්ධය පැවැති සමයේ නිදා සිටි පිරිස් අද සාමය බුක්ති විඳිමින් වහසි බස් දෙඩීම කනගාටුවට කරුණකි. රටට එරෙහි බලවේග පරාජය කරන්න මේ රටේ ජනතාව දිවිහිමියෙන් පෙරට එනවා.

ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ – මේ රට අස්ථාවර කරන්න මානබලන පිරිස්වල මූලික ඉලක්කය ජනපති මහින්ද රාජපක්ෂ මහතාව පාලනයෙන් ඉවත්කර ගැනීමයි. එසේ වුවහොත් ඔවුනට පහසුවෙන් ඉලක්ක වෙත ළඟා විය හැකි බව ඔවුන් දන්නවා.

මේ කුමන්ත්‍රණකාරීන් පෙර රජ දවසත් මෙරට හිටියා. බලය සඳහා ඕනෑම පවාදීමක් කරන්න ඔවුන් සූදානම්.

කොටි හිතවාදීන් තවමත් මේ රට දෙකට කිරීමේ වෑයම අත්හැර නැහැ. මේ රටේ නිදහස බුක්ති විඳිමින් අපේම රටේ සිට ඇතැමුන් මෙයට සහයදීම කිසිසේත් අනුමත කළ නොහැකියි.

අනුග්‍රහය : දිනමිණ