යුද බිමේ කේලාම් හොයන්න
අපෙන් යානා දෙකක්….!
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්‌ට්‍රොනික හා
විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ විශ්මිත විස්‌කමක්
”කේලමා” ඔබට මතක ද?
‘කේලමා’ අපේ හමුදාවන් විසින් නියමුවන් රහිත (ඔත්තු බැලීමේ) කුඩා ගුවන් යානා හඳුන්වන ලද ජනප්‍රිය නාමයයි.
අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් මේවා හඳුන්වනු ලබන්නේ UAV (Unmanned Aerial Vehicle) නැත හොත් Drone යන නම්වලිනි.
අවසන් සටන් සමයේ අපේ හමුදා බලඇණිවල සහායට ගුවන්ගත කෙරුණේ අධික මිලක් ගෙවා ආනයනය කරන ලද නියමුවන් රහිත ගුවන් යානා ය.
අද, යුද්ධය නිමා කිරීමෙන් පසු ගතව ඇති වසර 5 ක් තරම් කෙටි කාලය ඇතුළත මේ ආකාරයේ යානා ද්විත්වයක්‌ම ශ්‍රී ලංකාව තුළ දී නිපදවා ගැනීමට අපේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
මේ පිරිස නියෝජනය කරන්නේ මොරටුව විශ්වවිද්‍යාලයයේ ඉලෙක්‌ට්‍රොනික හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවයි. කණ්‌ඩායමේ නියමුවා ලෙස කටයුතු කරන්නේ මහාචාර්ය රොහාන් මුණසිංහ ය.
යානා ද්විත්වයෙන් පළමුවැන්න රාවන් යනුවෙන් නම් තැබුණු අතර එය නිපදවන ලද්දේ 2013 වසරේ ජූලි මාසයේ දීය. රාවන්ට වඩා වැඩිදියුණු කළ දෙවැනි යානය පසුගිය 15 වැනිදා මොරටු සරසවියේ දී පවත්වන්නට යෙදුණු නියමුවන් රහිත ගුවන් යානා දිනයේ දී එළිදක්‌වන ලද අතර එය සීහෝක් (CEYHAWK) යනුවෙන් හැඳින්වෙයි.
මහාචාර්ය මුණසිංහ මේ යානා සම්බන්ධයෙන් අදහස් දක්‌වන්නේ මේ අයුරිනි.
‘අපි 2007 වසරේ සිට නියමුවන් රහිත ගුවන් යානා සම්බන්ධ පර්යේෂණ කරගෙන එනවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි පළමු ගුවන් යානය රාවන් නිපදවන්නට අපට හැකි වුණේ. එය මේ වසරේ ජනවාරියේ සිට මේ දක්‌වා 40 වතාවක් පමණ ගුවන්ගත කර අත්හදාබලා තිබෙනවා. ඒ සෑම ගමන් වාරයක දීම යානයේ විවිධ ක්‍රියාකාරිත්වයන් වෙන් වෙන්ව පරීක්‍ෂා කර නිසි අයුරින් ක්‍රියාත්මක වන බව තහවුරු කරගත්තා.
රාවන් වෙතින් අප පරීක්‍ෂා කළේ මූලික ක්‍රියාකාරිත්වයන් නිවැරැදි ද යන්න පමණයි. යානයේ කාර්යක්‍ෂමතාව ගැන එහි දී අප වැඩි අවධානයක් යොමු කළේ නැහැ. ඒත් ඉන් පසු නිපදවූ සීහෝක් යානය උපරිම කාර්යක්‍ෂමතාවෙන් ක්‍රියා කරන අයුරින් සැලසුම් කිරීමට අප කටයුතු කළා.”
ඉහළ කාර්යක්‍ෂමතාවක් යන්නෙන් අදහස් කෙරෙන්නේ අඩු යෙදවුමකින් වැඩි ප්‍රතිඵලයක් ලබාගැනීම ය. ඒ සඳහා සීහෝක් යානය අඩු බරකින් යුතුව, වාතයෙන් ඇති වන ප්‍රතිරෝධය අවම වන ආකාරයට, වැඩි කාලයක් ගුවනේ ගත කළ හැකි අයුරින් සහ වැඩි බරක් රැගෙන යා හැකි ලෙස නිපදවීමට පර්යේෂකයෝ කටයුතු කළ හ.
ඒ සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගය මහාචාර්ය මුණසිංහ මෙසේ විස්‌තර කළේ ය.
‘සීහෝක් යානය සැලසුම් කළේ සොලිඩ් වර්ක්‌ස් නම් ත්‍රිමාන රූ සැකසීමේ පරිගණක මෘදුකාංගය ආධාරයෙනුයි. එය යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේ දී, නිපදවන මෙවලම් සැලසුම් කිරීමට සුලබව යොදාගන්නා මෘදුකාංගයක්. මේ ආධාරයෙන් කිසියම් මෙවලමක් සැබැවින් නො නිපදවා, ඒ ඒ කොටස් පරිගණකයෙහි ඇඳීමෙන් පමණක්, කොටසින් කොටස එකලස් කර ක්‍රියාකාරිත්වය පරීක්‍ෂා කිරීමේ අවස්‌ථාව ලැබෙනවා.
අපි සීහෝක් යානය සඳහා ආදර්ශයට ගත්තේ මාළුවකු ගේ හැඩය. මාළුවකු ගේ සිරුරේ හැඩය ජලයෙන් ඇති වන ප්‍රතිරෝධය අවම වන විදියටයි නිම වී තිබෙන්නේ. ඒ හැඩය වාතයටත් සාර්ථකයි. මෙය ඇමෙරිකානු ග්ලෝබල් හෝක් UAV යානයේ හැඩයටත් පෙනුමින් ආසන්නව සමානකමක් දක්‌වනවා.
යානයේ තටුවල මුහුණත් ඇතුළු වා ප්‍රවාහයට මුහුණ ලා පිහිටන කොටස්‌වල දාර උපරිම වශයෙන් වක්‍රාකාරව තැනීමටත් අපි වගබලාගත්තා. එය වාත ප්‍රතිරෝධය අවම වීමට හේතු වනවා’
තැනීමට යොදාගත් අමුද්‍රව්‍ය
සීහෝක් යානය තැනීම සඳහා මූලික වශයෙන් යොදාගෙන ඇත්තේ කාබන් තන්තු නාළ සහ රෙදි සාමාන්‍ය තුනී ලෑලි, බල්සා ශාකයෙන් ලබාගන්නා කඩදාසි තරම් තුනී ලෑලි සහ ඇලුමිනියම් ය.
මේවා එකලස් කරන ආකාරය මහාචාර්ය මුණසිංහ ගේ වචනවලින් ම අපි අසමු.
‘පළමුවෙන් ම කරන්නේ පරිගණකයේ අත්හදා බැලූ මිනුම්වලට අනුකූල වන සේ තුනී ලෑලිවලින් සැකිල්ලක් තනාගැනීමයි. මේ සැකිල්ල තනාගන්නේ යානයේ බඳෙහි හා තටුවල හරස්‌කඩවල් ලැබෙන අයුරින් කුඩාවට කැපූ තුනී ලෑලි කොටස් රාශියක් අ`ගල් 3/4 ඇලුමිනියම් බට ආධාරයෙන් එකිනෙකින් අ`ගල් 6ක පමණ පරතරයකින් පිහිටන ලෙස රැඳවීමෙන්. මෙහිදී නිරවද්‍යව ලී කැපීම සඳහා පරිගණක සහායයෙන් මෙහෙයවනු ලබන ලේසර් කදම්බයක් තමයි යොදාගන්නේ.
ඉන් පසු මේ ලී කැබැලි එහා මෙහා නො වීම සඳහා මිලිමීටර 5 ං 5 ප්‍රමාණයේ ලී පටි ආධාරයෙන් එකිනෙක සම්බන්ධ කරනු ලබනවා. මෙහෙම තනාගත් සැකිල්ල මත තමයි බල්සා ‘ලී පටි’ අලවන්නේ. බල්සා ‘ලී පටි’ හුමාලයට ඇල්ලුවා ම වක්‍ර වනවා. ඒ නිසා යානයේ වක්‍ර හැඩය පවත්වාගත යුතු තැන්වල ඊට බාධාවක් නො වී මේවා ඇලවීම පහසුවෙන් කළ හැකියි.
දැන් වැලි කඩදාසියකින් මැදලා මතුපිට හොඳට සුමට කරනවා.
අන්තිමට බල්සා ”ලී පටි” මත කවරිං ෆිල්ම් නමින් හැඳින්වෙන පොලිතින් වැනි ස්‌ථරයක් අලවනවා. මෙයින් යානයට අමතර ශක්‌තියකුත් වැඩි සුමට බවකුත් ලැබෙනවා. කවරිං ෆිල්ම් විවිධ පැහැයන් ගෙන් ගන්න තිබෙනවා. සීහෝක් යානයට අපි යොදාගත්තේ තැඹිලි හා අලු පැහැය.”
රාවන් යානය තැනීමේ දී වායුගතික තත්ත්වයන් ගැන වැඩි අවධානයක් යොමු කර නැති නිසා පර්යේෂකයන් යොදාගෙන ඇත්තේ දේශීය රට අඹ ලෑලි, ෆයිබර් ග්ලාස්, ඇලුමිනියම්, රිජිෆෝම් සහ කවරිං ෆිල්ම් ය. ඒ අනුව රාවන් සීහෝක්‌ට සාපේක්‌ෂව රළු නිපැයුමක් බව කිව හැකි ය.
මේ ආකාරයෙන් කැබැලි එකලස් කර UAV යානයක් තැනීමට පර්යේෂකයන්ට ගතවී ඇත්තේ මාසයක් වැනි කාලයකි. මහාචාර්යවරයාට අනුව වැඩි කාලයක් අවශ්‍ය වන්නේ අත්හදාබැලීම් හා පරීක්‌ෂණ චාරිකා සඳහා ය. රාවන් යානයේ පරීක්‌ෂණ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා තවත් දෙවතාවක් ධාවනයේ යෙදවිය යුතු බව මහාචාර්ය මුණසිංහ පවසයි. ඉන් එක් පරීක්‌ෂණයක් අද (21) දිනට යෙදී ඇති අතර අනෙක තවත් සතියකින් පමණ සිදු කෙරෙයි. සීහෝක් යානයේ පියාසර තත්ත්වයන් පරීක්‌ෂා කෙරෙන්නේ ඉන් අනතුරුවය. ලබන ජනවාරි මස මැද වන විට එය හාපුරා කියා ගුවන්ගත කිරීම පර්යේෂකයන් ගේ බලාපොරොත්තුවයි.
UAV යානයක් හසුරුවනු ලබන්නේ දුරස්‌ථ පාලකයක් ආධාරයෙනි. අවශ්‍ය විටක ස්‌වයංක්‍රීයව ධාවනය වීමටත් අනෙක් අවස්‌ථාවල බිම සිට මෙහෙයවීමටත් හැකි ආකාරයට දුරස්‌ථ පාලකයේ විධාන ආකාර දෙකක් පවතියි. ස්‌වයංක්‍රීය ධාවනය සිදු වෙද්දී යානයේ ඉලෙක්‌ට්‍රොනික පද්ධතිය අනුගමනය කරන්නේ කල් තබා ඨඡී ඛණ්‌ඩාංක අනුසාරයෙන් එයට ලබා දෙන ලද ගමන් මාර්ග උපදෙස් ය. සීහෝක් යානය ක්‍රියාකාරිත්වය සඳහා බලය ලබාගන්නේ වෝල්ට් 24, ඇම්පියර් පැය 8ක ලිතියම් පොලිමර් බැටරියකිනි. මෙය පැය භාගයක කාලයක් ගුවනෙහි රැඳී සිටීමට ප්‍රමාණවත් බලයක් ලබා දීමට සමත් ය.
මෙය දුරස්‌ථව හැසිරවිය හැකි යානයක් බැවින් සෙල්ලම් ගුවන් යානයක් මෙන් නිදහසේ හැසිරවිය හැකි යෑයි කෙනකුට සිතෙනු ඇත. එහෙත් මෙවැනි UAV යානයක් හැසිරවීම අපහසු හා බැරෑරුම් කටයුත්තකි. අතින් විසි කර ගුවන්ගත කරන සැහැල්ලු සෙල්ලම් ගුවන් යානයක බලය ගුවනේ දී අඩු වී ගිය ද එය නැවත බිමට ළ`ගා වන්නේ වාතයේ පා වෙමින් ක්‍රමානුකූලව ය. එහෙත් කිලොග්රෑම් 5 ක් වැනි බරකින් යුතු UAV යානයක බලය ගුවනේ දී නැති ව ගිය හොත් එකෙණහි ම බිමට පතිත වේ. එබැවින් මෙවැනි යානයක් හැසිරවීම සඳහා කලක් තිස්‌සේ දුරස්‌ථ ගුවන් යානා හසුරුවා මනා පළපුරුද්දක් ඇති ශිල්පියකු ගේ සේවය අත්‍යවශ්‍ය වේ. ඒ නිසාම මේ පර්යේෂණ කණ්‌ඩායම ද එවැනි විශේෂ පළපුරුද්දක් ඇති බාහිර නියමුවන් දෙදෙනකු ගේ සහාය මේ සඳහා ලබාගනියි.
UAV යානයක් ගුවන්ගත වී කිලෝමීටරයක් පමණ දුරක් ගමන් කළ පසු පියවි ඇසට දිස් නො වේ. එතැන් සිට එහි ගමන්ම`ග විමසා බැලීමට සිදු වන්නේ රූපවාහිනි තිරයකිනි. මොරටු සරසවියේ UAV යානය නිරීක්‌ෂණය කිරීම සඳහා එහි භූමි පාලන මැදිරියෙහි විශාල රූපවාහිනි තිර 3 ක් පවතියි. ඉන් පළමුවැන්නෙහි දිස් වන්නේ ගුවන් යානයට භූමිය පෙනෙන ආකාරය ය. අනෙක් තිරය ගුවන් යානයේ පිහිටීම, භූමියේ සිට උස ආදී දත්ත සිතියමක් මත දක්‌වයි. තුන්වැන්න පෙන්වන්නේ නිරීක්‌ෂකයන් සිටින ස්‌ථානයට සාපේක්‌ෂව ගුවන් යානය පිහිටා ඇති දිශානතියයි.
නුදුරු අනාගතයේ දී සීහෝක් යානය මෙරට මහා පරිමාණයෙන් නිපදවා අපනයනය කිරීමේ විභවයක් ඇති බැවින් එවැනි විටක එහි නිෂ්පාදන ක්‍රමවේද සහ වියදම සම්බන්ධයෙන් අපි මහාචාර්යවරයා ගෙන් විමසා සිටියෙමු.
”දැනට අපි මෙය කොටසින් කොටස එකලස් කරමින් නිපදවන නිසා මාසයක් වැනි කාලයක් ගත වනවා. වාත්තු කිරීමේ ක්‍රමයට අච්චුවක් තනා මේ කොටස් සියල්ල එකවර තැනීම සිදු කළොත් ශ්‍රමිකයන් දෙදෙනකුට දින දෙකකින් යානයක් තනා නිම කළ හැකි වේවි. මහා පරිමාණයේ දී එවැනි ක්‍රමයකට යා යුතු වනවා. දැනට ශ්‍රමික වැටුප් ගෙවීමේ අවශ්‍යතාවක් නැති නිසා අපට වැය වෙලා තිබෙන්නේ අමුද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය සේවා සඳහා වියදම් පමණයි. එය ලක්‍ෂ 2 -2 1/2 ක් වැනි මුදලක්. මහා පරිමාණයෙන් නිපදවීමේ දී තවත් ලක්‌ෂයකින් විතර වැඩි මිලක් වෙයි. ඒත් එය ලාබයි. මේ යානයක් විදේශයකින් ආනයනය කරනවා නම් ලක්‌ෂ 10 කට වැඩි මුදලක් වැය වන නිසයි ඒ.”
UAV යානා යොදාගන්නේ යුද්ධ සහායක කටයුතු සඳහා පමණක් නො වේ. රථවාහන තදබදය පාලනය කිරීම සඳහා අවශ්‍ය දත්ත ලබාගැනීම, වන මැද හා සයුර මැද සිදු වන නීති විරෝධී කටයුතු නිරීක්‌ෂණය, ගංවතුර වැනි ස්‌වාභාවික විපත්වල දී සහන සේවා කටයුතු සම්බන්ධීකරණය කිරීම, භූමි සිතියම් සකස් කිරීමට අවශ්‍ය දත්ත ලබාගැනීම වැනි අටෝරාසියක් කටයුතු ඒ ආධාරයෙන් සිදු කරගත හැකි ය. ඒ අනුව පෙනී යන්නේ මෙවැනි යානා නිපදවා තරගකාරී මිලකට අපනයනය කළ හැකි වුවහොත් අපේ රටට එය කදිම ආදායම් මාර්ගයක් වනු ඇති බවයි. දකුණු කොරියාව, ජපානය, චීනය වැනි රටවල් අද ලබා ඇති දියුණුවට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ අධිතාක්‌ෂණික නිෂ්පාදන අපනයනයන් ය. දැනට මෙරට අධි තාක්‌ෂණික නිෂ්පාදන අපනයනයන් ප්‍රමාණය සමස්‌ත අපනයනයන්ගෙන් සියයට 1-5 ක් පමණි. 2020 වසර වන විට එම ප්‍රමාණය සියයට දක්‌වා ඉහළ නැංවීම රජයේ අපේක්‌ෂාව බව විද්‍යා තාක්‌ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය නිකුත් කර ඇති වාර්තාවක දැක්‌වේ. එම අපේක්‌ෂාව මල්පල ගැන්වීමේ ප්‍රයත්නයේ දී සීහෝක් UAV යානය ද කොටස්‌කරුවකු කරගැනීමට අදාළ අංශවල අවධානය යොමු වන්නේ නම් වඩා අගනේය.
මොරටු සරසවියේ UAV
පර්යේෂක කණ්‌ඩායමේ සාමාජිකයෝ
මහාචාර්ය රොහාන් මුණසිංහ (අධීක්‌ෂක), චාමික ගමගේ (විද්‍යාපති උපාධි අපේක්‌ෂක), අනුරුද්ධ තෙන්නකෝන් (පර්යේෂණ සහායක), රොෂාන් ලලන්ත (විද්‍යාපති උපාධි අපේක්‌ෂක), රොෂාන් ප්‍රනාන්දු (තාක්‌ෂණ නිලධාරී), එරංග ප්‍ර්‍රනාන්දු (පර්යේෂණ සහායක)
ව්‍යාපෘතිය සඳහා මූල්‍ය හා සෙසු අනුග්‍රහයන්
මොරටු විශ්වවිද්‍යාල සනාතන පර්යේෂණ කමිටුව, උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය රාහුල අතලගේ, ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය අනුරුද්ධ පුස්‌වෑවල, අංශාධිපති ආචාර්ය අජිත් පැස්‌කුවල්, යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ තාක්‌ෂණ නිලධාරීන්
රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, සිවිල් ගුවන් සේවා අධිකාරිය, RC Flying Arena mshdir පියාසර සමාජය
ගුවන් යානා දුරස්‌ථව හැසිරවීම (බාහිර නියමුවන්)
ලක්‌ෂ්මන් ගමගේ (ප්‍රධාන නියමු) සහ පසිඳු මධුශංඛ
රාඡේන්ද්‍ර කුලසිංහ