Spread the News

යෝෂිත අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්‌
– දිනේෂ් ගුණවර්ධන

අනුර බාලසූරිය, ජයසූරිය උඩුකුඹුර

සී. එස්‌. එන්. නාලිකාවට කිසිදු සම්බන්ධයක්‌ නොමැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්‌ යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජාතික දේශපාලන ගමන මේ තුළින් අඩපණ කිරීමට පුළුවන් වෙයි කියා සිතනවා නම් එය හිතලුවක්‌ පමණක්‌ බවත් දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

එමෙන්ම අත්අඩංගුවට ගෙන සිටින නිශාන්ත රණතුංග මහතා ද මෙම රූපවාහිනි නාලිකාවට සම්බන්ධ නොමැති බව ද හෙතෙම පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා, පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක බොරු ප්‍රචාරයක්‌ කරන බවත් යෝෂිත සී. එස්‌. එන්. නාලිකාවට සම්බන්ධ බව සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ තොරතුරු ඇත්දැයි සොයා බලා ඔප්පු කරන ලෙසත් පැවසීය.

මේ ආණ්‌ඩුව ඉතා වෛරීසහගතව ක්‍රියාකරන ආකාරයක්‌ දැකීමට තිබෙන බවත් මෙය රාජපක්‍ෂ දඩයමේ ආරම්භයක්‌ පමණක්‌ බවත් හැකි නම් මෙයට වසර 40 කට පමණ පෙර මියගිය රාජපක්‍ෂ මහතාව වළෙන් නැගිට්‌ටවා හෝ ප්‍රශ්න කිරීමට වුවද ආණ්‌ඩුව පසුබට නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවසීය.

සී. එස්‌. එන්. නාලිකාව හරහා මාධ්‍ය දඩයම් කිරීමේ ව්‍යාපෘතියක්‌ විවෘතව සෘජුව මේ ආණ්‌ඩුව දියත් කර තිබෙන බවත් සී. එස්‌. එන්. නාලිකාවට සම්බන්ධව යෝෂිත රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්නා බවට ආණ්‌ඩුවේ කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක පසුගිය ජනවාරි මාසයේ පළමු නිවේදනය නිකුත් කළ බවත් ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවසීය. බොරැල්ල කොටා පාරේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ පැවැති මෙම මාධ්‍ය හමුවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිහකට ආසන්න පිරිසක්‌ සහභාගි වූහ.