Spread the News

රංජන් රාමනායක මාලිමා වේදිකාවට ගොඩ වුණා කියලා සමාජ මාධ්‍ය ජාලාවක පලවී තිබුණු ප්‍රවෘත්තියක් දැක පහත සඳහන් සටහන ළියා තැබීමට අදහස් කළා.

රන්ජන් කියන්නේ අවංක මෝඩයෙක්.

අවංක මිනිසුන් දේශපාලනයට සම්බන්ධ වන්නේ නම් මෝඩකම් අත්හැර ඒ දේ කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය යනු මෝඩකම්වලද ඉතිහාසයක් කියා කීවොත් එය පූර්ණ වශයෙන් බැහැර කළ හැකි දෙයක් නොවෙයි.

අනුර කුමාර දිසානායක ජනප්‍රිය වන්නේත් රන්ජන් රාමනායක මෙන්ම දේශපාලනය තුළ “හොරා පොලිස්” ක්‍රීඩාව කිරීම තුළින්. හොරුන් ඇල්ලීම කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ පාර්ලිමේන්තු ජීවිතය තුළම කළේ හොරුන් ගැන කතා කිරීමයි.  මේ වෙනකම් අල්ලපු හොරෙකුත් නැත. අල්ලා ගත් ධනයකුත් නැත.

එයින් අදහස් වන්නේ නෑ ශ්‍රී ලංකාව පාලනය කළ පාලකයින් කිසිදාක සොරකම් කළේ නැහැ කියා. ශ්‍රී ලංකාව තරම් සොරුන්ට සුරක්ෂිත වෙන ක්ෂේම භූමියක් ලෝකයේ කොහෙවත් නෑ.

දකුණු ඉන්දියාවේ දමිළ සිනමාවේ වීරයා වූ M.G. රාමචන්ද්‍රන් දේශපාලන ලෝකයේත් වීරයා වූයේ ඔහුගේ රඟපෑම් බොහෝ දුරට ගැලරිය පිනවීම සඳහා වෙන්වුන නිසයි.

දකුණු ආසියාවේ දේශපාලනය වේවා සිනමාව වේවා, කලාව වේවා, වෙන එකක් තබා ආගම පවා මේ හැම දෙයක්ම නිර්මාණය වී තිබෙන්නේ මිනිසුන්ගේ භාවාත්මක බවේ නිෂේධාත්මක පැත්ත සුරක්ෂිත කිරීම සඳහායි.

මෙය සමාජයක තිබිය යුතු සැබෑ සුරක්ෂිතභාවයට දැඩි ලෙස හානි පමුණුවන පුද්ගල අනාරක්ෂිතභාවය මෙන්ම සමාජ අනාරක්ෂිතභාවයත් විසින් සමාජ ආර්ථික හා සංස්කෘතික සාධක යටපත් කරමින් සිදුවන සෝදාපාළුවකි. එකම විසඳුම ලෙස “අපි අසරණ වෙළා වගේ හිතට දැනෙනවා” කියමින් ගීත ගායනාවේ යෙදෙති.

ශ්‍රී ලංකා දේශපාලනය ගායකයින්ට එතරම් ආකර්ෂණය නොවුනත්, බුරුතු පිටින් නළු නිළියන්ට නම් පාර්ලිමේන්තුව පරාදීසයක් වුණා.

සිනමාවේ වැටුපට නළුවන් හා නිළියන්වූ පුද්ගලයින්, පාර්ලිමේන්තුව තුළ රඟපෑවේ රටේ ජනතාවගේ ධනය විනාශ කරමින්. එය වැටුපට එහා ගිය කතාවක්.

ගාලු මුව දොර අරගලේදිත්, ජවිපේ ප්‍රමුඛ කලාකරුවන් තමන්ගේ ඊනියා සටන ජනතාවට ආකර්ෂණීය කර ගැනීම සඳහා  මැතිවරණ වේදිකාවල නිතරම පාහේ ගායක ගායිකාවන් නළු නිළියන් යොදා ගැනීම අනෙකුත් පක්ෂවලට සාපේක්ෂව ඉහළ ප්‍රතිශතයක් පෙන්නුම් කළා.

දේශපාලන වේදිකාවක ප්‍රධාන අරමුණ විය යුත්තේ රටේ දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා විවිධ පක්ෂ විසින් තෝරාගනු ලැබූ ප්‍රතිපත්ති මාලාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි.

නිදහස ලැබූ දා සිට අද දක්වාත්  මෙකියන පක්ෂ විසින් එළිදැක්වූ බොහොමයක් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවුණු බවක් නම් පෙනුනේ නැත. දැනුනෙත් නැත.

එහෙත් ඒ හැම වේදිකාවකම නොගැයුනු ගීතයක් නැත. මුහුණ නොපෙන් වූ නළුවෙක් හෝ නිළියෙක් නැත.

දේශපාලනය යනු ජීවන යථාර්ථයක්. දේශපාලනය ගැන මළ පොතේ අකුරක් නොදන්නා එවුන් කරළියට පැන රංගනයෙන් දායකත්වයක් දුන්නා මිස, රටට කළ සේවයක් නැත.

මීළඟට බලයට එන්න දඟලන එකාත් ජනතාවගේ උප විඥානයට රිංගාගන්නේත්  දේශපාලන සාක්ෂරතාවය තුළින් නොව මෙලෝ රහක් නැති පච බේගල් ඇද බාමින්ය. ඒවායේ ඌණ පූර්ණත්වය සඳහා ආත්මය විකුණා ගත් නළු නිළියන් ඊනියා කලාකාරයින් දේශපාලන වේදිකාවට වඩම්මාගෙන එති.
දේශපාලනයට ආගම වැද්ද ගන්න එපා කියමින් ඉදිරිපස පුටු පේළිය කසාවතින් සරසති.

වේදිකාවේදී හිමිවරුන්ට දෙකට තුනට නැමී වඳින දේශපාලන සිහින කුමාරවරු යථා ලෝකයේදී බුද්ධ පුත්‍රයින් හඳුන්වන්නේ කහකඩයින් ලෙසයි. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ට ලබා දී ඇති න්‍යායපත්‍රයට අනුවයි.

අවසාන විග්‍රහයේදී මැතිවරණ වේදිකාවේදී පොරොන්දු දුන් ප්‍රතිපත්ති මාලාවන් ක්‍රියාවේ යොදවනවා වෙනුවට කිසිදාක ඉටු නොවන බොරු පොරොන්දු ඔස්සේ මුළු රටේම ජනතාව සිහින ලෝකයන් තුළ සිරකර තබනවා ඇත.

පට්ට ගසා හරසුන් කළ වචන වෙනුවට අලුත් පාරිභාෂික වචන මාලාවන් හඳුන්වාදීම ඊනියා ආචාර්ය මහාචාර්යවරුන්ට භාර කරති. විකල්පය කීවත් විසඳුම කීවත්,පුනරුදය කීවත් ගැල අදින ගවයින්ට නම් හපුතලේ කන්දකි.
පාද හතරේ ගවයා කුරගෙවාගෙන කඳු නගින අතර පා දෙකේ ගවයා බෝල්ලීය මත නිදිකිරමින් සුපුරුදු සිහිනය දකිමින් සිටී.

දේශපාලන යථාර්ථය ලෙස අපි මේ දකිමින් සිටින්නේ කිසිදා එළි නොවන සිහිනයක්ද?

-තෙවැනි ඇස-
18.09.2024