Spread the News

රජයට අභූත චෝදනා නගන මන්නාරම් රදගුරුගේ සැබෑ තත්වය

source:

     සූර්යාලෝකය ක්‍රමයෙන් අඩුවී අන්ධකාරය ගලා එමින් පවතින අවස්ථාවේදී වඩා සුඛෝපභෝගී දිවි පෙවතක් ගත කිරීමේ සිහින දකිමින් අනාරක්ෂිත පැරණි ධීවර ට්‍රෝලර් යාත්‍රාවකට නැගුන මින්සුන් කණ්ඩායමක් ගැඹුරු මුහුදේ ඇති අවධානම ගැන නොසිතා තම ගමනාන්තය වන ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කිරීමට පටන් ගනි. නොයෙක් මාෆියා කණ්ඩායම් හා ඔවුන්ගේ නියෝජිතයින් විසින් වඩා හොඳ රැකියා සොයා දෙන බව පවසමින් රවටනු ලබන තම ගමනාන්තයේදී තමනට අත්වන ඉරණම පිළිබඳව කිසිවක් නොදන්නා අහිංසක මිනිසුන් ඩොලර් දහස් ගණන් ගෙවා මොවුන් විසින් කරනු ලබන මෙම නීති විරෝධී මනුෂ්‍ය ජාවාරමේ ගොදුරු බවට පත්වෙති. සිහින ලෝකවල පාවෙමින් තම ගමනාන්තය වන ඕස්ට්‍රේලියාව බලා ගමන්ගන්නා මොවුනට එරට බලපවත්නා දැඩි ආගමන නීති රීති පිළිබඳව කිසිවිටෙක කිසි දෙයක් හෙළි නොකිරිමට මෙම කණ්ඩායම් නිතරම වග බලා ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාව බලා නීති විරෝධි අන්දමින් යාත්‍රා කරනු ලබන මෙම ආර්ථික සරණාගතයින් රැගත් යාත්‍රාවලින් වැඩි කොටසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා මුහුදු තීරයේදීම අත්අඩංගුවට ගනු ලබන අතර තවත් සමහරක් ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලබයි. මේ ආකාරයෙන් නොකඩවා ඕස්ට්‍රේලියාව බලා නිති විරෝධී ආකාරයෙන් ගමන් කරනු ලබන යාත්‍රාවන් ඕස්ට්‍රේලියානු රජයටද මහත් හිසරදයක් බවට පත්ව ඇති අතර මෙම උවදුර මැඩීම සඳහා එම රජය විසින් මෑතක සිට රට වටා පිහිටි මුහුදේ ආරක්ෂාව හා ආගමන නීතීන් තර කොට ඇත. එසේම මෙලෙස එම රටට පැමිණෙන නිති විරෝධී සංක්‍රමණිකයින් වර්ගකරන තුරු නයිරු හා පැපුවා නිව් ගිනිහි මානුස් දූපත් වෙත තාවකාලිකව රැදවිම සඳහා අවශ්‍ය කඳවුරුද ඉදිකරන ලදි. තවද මේ දක්වා කරන ලද සමීක්ෂණවලට අනුව මෙසේ පැමිණෙන්නන් දේශපාලන අනාථයින් නොවන බවත් ආර්ථික අනාථයින් ලෙස එරටට පැමිණ ඇති බවත් එම රජය විසින් අනාවරණය කර ගෙන ඇත.

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ මෙරට පැවති ත්‍රස්තවාදය නිසා ජාති ආගම් හා කුල බේද නොතකා මෙරට සිටි සියලුම ජන කොටස්වලට වචනයෙන් කිව නොහැකි තරම් දුක් කරදර රාශියකට මුහුණ පෑමට සිදුවිය. සෑම අවස්ථාවකම එල්.ටී.ටී.ඊ යේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරවිම සඳහා ඉතා මහන්සිවී වැඩකල පුද්ගලයෙක් වන රායප්පු ජෝසප් රදගුරු වරයාද ශ්‍රී ලංකාව තුල මතභේදයට තුඩුදි ඇති චරිතයකි. ඔහුගේ ක්‍රියාකාරකම් හා ප්‍රකාශයන් සෑම අවස්ථාවකදීම දැඩි විවේචනයට ලක්ව ඇත. යුද්ධය පැවති කාලය තුලදී පුද්ගලයින් 1,86,000 අතුරුදහන් වී ඇති බව පවසමින් නිතරම රජයට දොස් පැවරු මොහු එම කාලයේදී දහස් ගණනක් ළමුන් හා කාන්තාවන්ද ඇතුලුව උතුරු ප්‍රදේශයේ සිටි ජනතාව එල්.ටී.ටී.ඊ ය විසින් ඉදිරියට එන ආරක්ෂක හමුදාවනට එරෙහිව මිනිස් පළිහක් බවට පත් කර ගනිමින් ඔවුන්ගේ ආරක්ෂා සඳහා බිලි දීමට කටයුතු කරන අවස්ථාවේදී එකී සාමාන්‍ය ජනතාව පිළිබඳව එකදු වචනයක්වත් කතා කිරීමට අසමත් විය. එසේම එල්.ටී.ටී.ඊ ය විසින් ‍බංකර් තනා අවි ආයුද ගබඩා කර ‍‍ඓෟතිහිසික මඩු දේවස්ථානය ඔවුන්ගේ බලකොටුවක් බවට පත් කරගෙන තිබූ අවස්ථාවේ දී ඒ පිළිබඳව කිසිදු වචනයක් කතා නොකල මෙම පුද්ගලයා ආරක්ෂක හමුදා විසින් මෙම පූජනිය ස්ථානය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා කරන ලද උත්සායේදී එය දැඩිසේ විවේචනය කරන්නට විය.

එසේම එම අවස්ථාවේදී මඩු දේවස්ථානයේ තිබූ මඩු මාතා පිළිරුව එහි ආරක්ෂාව සඳහා යයි පවසා එල්.ටී.ටී.ඊ බලය පැවති ප්‍රදේශවලට තමා විසින් ම ගෙන යාම මෙම පුද්ගලයාගේ වංකභාවය හා එල්.ටී.ටී.ඊ හිතවාදීභාවය මුලු ලොවටම ප්‍රදර්ශණය කල තවත් එක් අවස්ථාවක් පමණි.

ඇත්ත වහයෙන්ම දශක ගණනක් පුරා පීඩා විදිමින් සිටි යුද්ධය නිමාකර ශ්‍රී ලංකාව නැවත සාමය ස්ථාපනය කර එහි ආර්ථික සංවර්ධනය දිනා ගනිමින් සිටින අවස්ථාවේදී රායප්පු ජෝෂප් වැනි රදගුරු වරුන් නිර්ව්‍යාජ ලෙසින් හා අවංකභාවයෙන් යුතුව ක්‍රියා කරනු ලැබුවේ නම් අද වන විට අප රට මීට වඩා ඉදිරියට ගෙන යාමට හැකියා ව තිබිණි.

මෑතකදී ජිනිවාහි පැවති 14 වැනි- මානව හිමිකම් සමාලෝචන සමුළු ( Universal Periodic Review )සැසිවාරයට පෙර මෙම පුද්ගලයා විසින් රාජ්‍ය නොවන සංවිධාන හා මානව අයිතිවාසිකම් කණ්ඩායම් සමග අන්තර්ජාලය හරහා කරන ලද සාකච්ඡාව තුලින් ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සමය පිළිබඳව සාවද්‍ය කරුණු ප්‍රචාරය කරනු ලැබු අතර අප ආරක්ෂක හමුදාවන් විසින් අත් කරගත් අප මාතෘ භූමියේ නිදහසටද එය තර්ජනයක්ව පැවතුනි. කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැතිව මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත චෝදනා කරන මෙම පුද්ගලයා තවමත් ලොව පුරා විසිරී සිටින කොටි හිතවාදීන්ගේ නියෝග ක්‍රියාත්මක කරමින් තමා එල්.ටී.ටී.ඊ යේ හිතවාදියෙකු නොවන බවද හඩගා පවසයි.

මෙම පූජකවරයා බොහෝ අවස්ථාවලදී ප්‍රසිද්ධියේම එල්.ටී.ටී.ඊ සංවිධානයට තම පක්ෂපාතීත්වය පෙන්වූ අයෙකි. යුද්ධය පැවති සමයේදී වරෙක එල්.ටී.ටී.ඊ යේ ප්‍රාදේශීය නායෙකයකු ආරක්ෂක හමුදා විසින් ඝාතනය කල අවස්ථාවේදී එය විවේචනය කරමින් හා හෙළාදකිමින් මන්නාරම නගරයේදී එල්.ටී.ටී.ඊ ධඡය ඔසවමින් එම නායකයාගේ ක්‍රියාකලාපය පසසමින් ප්‍රකාශයක්ද නිකුත් කිරීම මේ සඳහා එක් උදාහරණයකි. නීත්‍යානුකූලව හා ප්‍රජාතන්ත්‍රවාදිව බලයට පත්වූ රජයකට හැමවිටම දෝෂාරෝපනය කරමින් හා අන්තර්ජාතික වශයෙන් තහනම් කරන ලද ත්‍රස්තවාදි සංවිධානයකට උදවි කරමින් උතුරේ ජනතාව අතර පිළිගත් පුද්ගලයෙකු ලෙස පෙනි සිටින මෙවැනි චරිත අප සමාජයට පමණක් නොව ඔවුන් විසින් අදහන ආගම්වලට පවා මේ වන විට මතභේදයක්ව පවති.

     එසේම මෙම මන්නාරම් රදගුරු රායප්පු ජෝසප් විසින් මෑතකදී ඕස්ට්‍රේලියානු බලධාරින් වෙත යවන ලද ලිපියකින් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යන දමිළ ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට නොඑවන ලෙස ඉල්ලා ඇත. එසේ ආපසු එවන ලද පුද්ගලයින්ගෙන් ශ්‍රී ලංකාවේ පොලීසිය හා යුද හමුදාව නොයෙක් ප්‍රශ්ණ කිරීම් කරන බවද ඔවුනට විවිධ තාඩන පීඩන කරන බවත් ඒ අනුව එසේ ආපසු එවන පුද්ගලයින්ගේ ජීවිත අනතුරුදායක තත්වයක තිබෙන බවත් මෙහි සදහන් කර ඇත. මෙයද මෙම පුද්ගලයාගේ එල්.ටී.ටී.ඊ පක්ෂපාතීත්වය පැහැදිලිවම පෙන්නුම් කරනු ලබන තවත් අවස්ථාවකි.

මෙරටට ආපසු එවන මෙම සරණාගතයින්ගේ ජීවිතවලට කිසිදු තර්ජනයක් නොමැති බවත් රජය විසින් ඔවුනට ඉතා හොදින් සලකනු ලබන බවත් බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් ඇතුලු මෙරටට එන සියලුම විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් විසින් හොදින්ම පිළිගන්නා දෙයකි. එසේ වුවද රායප්පු ජෝෂප් බිෂොප්වරයා ඕස්ට්‍රේලියාවෙන්, එක්සත් රාජධානියෙන් හෝ ටෝගෝ වලින් මෙරටට ආපසු එවන ලද 1360 කට අධික වූ පිරිසක් සිටින බව හෝ ඔවුනට රජය විසින් කොයි ආකාරයට සලකනු ලබනවාද යන්න පිලිබඳව කිසිදු නිරවධ්‍ය තොරතුරක් දන්නවාද යන්න ප්‍රශ්ණ සහගකය. මේ දක්වා මෙරටට පැමිනි මෙම සරණාගතයිනට කරනු ලැබූ කිසිදු අවමන් සහගත සැලකීමක්, පහරදීමක් හෝ වෙනත් කරදර කිරිමක් පිලිබඳව කිසිදු පැමිණිල්ලක් රාජ්‍ය බලධාරිනට වාර්ථා වී නොමැති අතර නොයෙක්වර වාර්තා වි ඇත්තේ මොවුන් මෙරටට ආපසු එවීමෙන් පසුව මෙරට බලධාරීන් විසින් සලකනු ලැබූ ආකාරය පිළිබඳව පමණි. ඕස්ට්‍රේලියාව විසින් පමණක් 2012 සැප්තැම්බර් හා නොවැම්බර් යන මාසවලදි පමණක් මෙසේ නිති විරෝධි ආකාරයෙන් සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් 550 දෙනෙකු ආපසු එවා ඇති අතර මෙම පුද්ගලයින් පැහැදිලිවම ආර්ථික සරණාගතයින් වන බවත් ඒ අනුව ඒ සම්බන්ධයෙන් තම රජයේ නිති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනු ලබන බවත් ඕස්ට්‍රේලියානු රජය විසින් පැහැදිලිවම සදහන් කර ඇත.
තම රටේ පුරවැසියන් අන්තර්ජාතික මුහුදු සිමා උල්ලංගනය කරමින් බෝට්ටු භාවිතා කරමින් තමන් කැමති රටකට එම රටේ ආගමන හා විගමන නීති උල්ලංගනය කරමින් ගොඩ බැසිමට ලොව ඇති කිසිදු රාජ්‍යකට අවසර දිය හැකිද ?

රායප්පු ජෝෂප් බිෂොප්වරයා උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් රාජ්‍ය නොවන සංවිධානයන් ඉවත් කරන ලෙසට හඩක් නගන අතර ශ්‍රී ලංකා රජය විසින් අප රට තුල ක්‍රියාත්මක වීමට මෙම රාජ්‍ය නොවන සංවිධානයන්ට කිසිදු තහනමක් පනවා නොමැත. අද වන විට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන රාශියක් ශ්‍රී ලාංකිකයින්ගේ අධ්‍යාපනය, ජීවන තත්වය ඉහළ නැංවීම, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, උපදේශණය, බිම්බෝම්බ ඉවත් කිරිම හා අනෙකුත් මානුෂීය ක්‍රියාකාරකම් සඳහා වන ඉතා විශාල කේෂ්ත්‍රයක් ආවරණය වන පරිදි විශාල වැඩ කොටසක් කරගෙන යනු ලබයි. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි ශාඛා විසින් ද මෙවැනිම වැඩ කොටසක් අප රට තුල කරගෙන යනු ලබයි. එසේනම් මෙම රාජ්‍ය නොවන සංවිධානයන් අප රටේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ආපසු යැවීම සඳහා මෙම බිෂොප්වරයා විසින් උත්සාහ කරනුයේ කුමන නීත්‍යානුකූල පදනමක් මතද යන්න ගැටලු සහගතය. ඔහු මෙසේ ඉවත් කිරීමට හඩ නගනුයේ මෙරට සිටින එල්.ටී.ටී.ඊ යට පක්ෂපාතී හා අනියම් අන්දමින් උදව් කරන රාජ්‍ය නොවන සංවිධානයන් හා සියලුම එල්.ටී.ටී.ඊ හිතෙෂින් පිළිබඳව නම් ඔහු නිවැරදි වන අතර රජය විසින් මේ වන විටත් හදුනා ගන්නා ලද එවැනි සංවිධාන මෙරටින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

මේ අනුව පැහැදිලිවම පෙනී යන්නේ මෙකී පුද්ගලයා විසින් වේලුපිල්ලේ ප්‍රභාකරන් හා ඔහුගේ මිනීමරු හමුදාව විසින් පවත්වාගෙන ගිය රට දෙකඩ කිරීමේ න්‍යාය පත්‍රයේ ඉවත්විමට අදහස් කර නැති බවය..රජය විසින් පශ්චාත් යුද සමය තුල යුද්ධය නිසා පිඩාවට පත්වූ අයවලුන්ගේ ජීවන මට්ටම ඉහළ මට්ටමකට නැවීමට ක්‍රියා කරගෙන යනු ලබන අතර එසේ පීඩාවට පත් ජනතාව තම අතීත දුක් කදුලු පිස දමා අතීත සිද්ධීන් අමතක කර නව ජීවිතයක් ආරම්භ කිරීමට උත්සාහ ගනිමින් සිටින අවස්ථාවකදී මෙවැනි පුද්ගලයින් විසින් මෙරටින් තුරන්වී ගිය වෛරයේ ගිනි පුපුරු සාමයෙන් ජීවත් වන ජනතාව අතර නැවත දැල්වීමට උත්සාහ කිරීම කෙතරම් ඛේදජනකද යන්න ඒ පිලිබඳව නුවනින් සිතන්නෙකුට අවබෝධ කරගත හැකිය.

එනිසා ක්‍රිස්තියානි බැතිමතුනට පමණක් නොව සියලුම ශ්‍රී ලාංකිකයිනට ආගමට මුවාවී මෙවැනි පුද්ගලයින් විසින් රටේ එක්සත්භාවය හා ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගන්නා ලද සාමය නැවත නැති කිරීම සදහා ක්‍රියා කිරීම යුක්ති සහගතද යන්න ඇසිය යුතු නියම කාලය එළඹ ඇත.