ගෙදර දොරේ යහපත් දෙමව්පියන්ගේ ආභාෂය, පාසලේ හා විශ්ව විද්‍යාලයේදී හෝ සේවය කරන ස්ථානයේදී සත්‍යගරුක වීම, අවංක වීම, විශ්වාසය රැක ගැනීම පැළඳ සිටින රත්තරන් හා මැණික් වලට වඩා වටින බව දිනක තේරුම් ගෙන එය මරණය දක්වාම රැකගැනීමට හැකිනම් අන්න නියම පුරවැසියා.
අන්න එවැනි පුරවැසියන් රාජ්‍ය පාලනය හොබබවමින් වත්මන් පරම්පරාවටත් අනාගත පරම්පරාවටත් ආදර්ශයක් විය යුතුයි.
කොහේද ඉතින්? බොරුව සත්‍ය ලෙස පිළිගෙන එයට මල් මාලා දමමින් සුවඳ පැන් වත්කරමින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පාලකයින් කලක් තිස්සේ අමුතුම ගමනක යෙදී සිටිනවා.
මේ රංඟනයේ ඇතිි හාස්‍යජනකම සංසිද්ධිය පක්ෂ බේදයකින් තොරව ආගමික නායකයින්ද, විශ්ව විද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුද, ලෝක සංවිධාන වල විදේශ නියෝජිතයින්ද මේ නරාවලට පය ගසා පාලකයන් ආණ්ඩුව කරගෙන යන හැටි පැසසුම් කටයුතු යැයි කෑම කන කටින්ම කියා තොරොන්චි වෙති.
ජඩ මාධ්‍යයන්ද මේවා ප්‍රවෘත්ති ලෙස විකාශනය කර විකුණන්නේ ඌරගේ මාළු ඌරා පිට තබා කපන්නා සේයි.
විද්‍යුත් නාළිකා අයිතිකරුවන්ද දෛනික වශයෙන් සිදුවන ඛේදවාචකයන් ඉතා ඉහළ ලංසු වලට විකුණමින් බඩගෝස්තරවාදය විද්‍යුත් තරංග වලට පරිවර්තනය කරති.
මිය යන්නෝ මිය යති. ජීවත්වන්නෝද බාගෙට මැරෙමින් නැවත පණනළ ගැට ගහගනිමින් හෙට පායන හිරු අපට දකින්නට ලැබෙයිදෝ කියා සිතමින් අවිනිශ්චිත භාවයේම ගිළෙති.
දේශපාලනය යනු කුමක්ද යැයි සිතාගන්නවත් බැරි මරිමෝඩයින් පාර්ලිමේන්තුව තුළදී ව්‍යවස්ථාවේ සංශෝධනය කළ යුතු දේවල් පිළිබඳ ගෝරනාඩු කරති. රණ්ඩු කරති. ගහ බැණ ගනිති. ජනතා බදු මුදලින් ජීවත් වෙති. ලැජ්ජාව මානසිකව තබා කායිකවත් නැත.
සැබෑ නිදහස යනු සිහිනයකි.
ඊනියා නිදහස ලැබූ දා සිට අද දක්වාත් ජන්දදායක ජනතාව ගැළ්කරුවාගේ කෙවිටිටි පහර කමින් හිරි ගල් පොත්තේ කන්ද නගිති.
සුනිල් ආරියරත්නලා මේ ගැන ගීත ලියූහ.
නන්දා මාලනීලා ඒවා ගයා සම්මාන වලින් පිදුම් ලැබූහ.
“වැටට උඩින් පනින උන්ට මන්න පහර දෙන්න වෙනවා කියා කිව්වාට දීපු මන්න පහරක් ද නැත. කොරපු තොවිලයකුත් නැත. බෙරේ පළුවකුත් නැත.
ශ්‍රී ලංකා දේශපාලනයේ වෙනසක් යනු රැවටීමට දී ඇති තවත් වචනයක් පමණයි. වෙනසක් කෙසේ වෙතත් වෙනස්කම් වලින් නම් අඩුවක් නැත. පූජක පක්ෂය මෙය කරුමය ලෙස හඳුන්වා ඇඟ බේරා ගනිති.
“ඇදපං ගොනෝ ඇදපන් හපුතල් යනවා…..”
-තෙවැනි ඇස-
15.10.2025
