සෑම දෙයක්ම වෙනස්වන ලෝකයක සංස්කෘතියකට වෙනස් නොවී සිටීම අපහසු වුවත් විශේෂයෙන්ම කලාකරුවන්ගේ ඉමහත් කැපවීම් තුළින් සමාජයක් තුළ රඳවා ගත යුතුමයි සිතෙන ගුණාංග ආරක්ෂාවන්නේ එම සමාජයේ භාෂාවත් හර පද්ධතියත් අතර නිරන්තරවම බැඳෙමින් පවතින අන්‍යෝන්‍ය බව තුළින් එකියන සංස්කෘතිය පෝෂණය වන අතරම එය ආරක්ෂා වීමද සිදුවේ.
විශාරද ශානිකා සුමන සේකරගේ හඬ පෞරුෂය තුළ රැඳී ඇත්තේ මාධූර්ය පමණක් නොව ගීතයෙන් කියවෙන අපේ ගැමි සංස්කෘතිය උද්දීපනය වන අන්දමින් ඉතාමත් සාර්ථක ගායනයක යෙදීමෙන්.
සාමූහික ප්‍රයත්නයකදී කටයුත්ත සාර්ථක වන්නේ හැකියාවන් ඇති පුද්ගලයින්ගේ නොමසුරු දායකත්වයත්, කැපවීමක් නිසයි.
කවදත් ගීත රචනයෙහි නව මං සොයන මහාචාර්ය ජේ.ඒ.පී. ජයසිංහයන් “පුරන් කුඹුරේ” ගීතයෙන් පබැඳුම් සම්ප්‍රදාය අතික්‍රමණය කර ඇතිවා පමණක් නොව දේශීය අනන්‍යතාවය පිළිබඳ කඩඉමක් ගැඹුරින් සනිටුහන් කර ඇත.
ගීතයක් වේවා රචනාවක් වේවා අරුත උද්දීපනය කිරීමට සංකීර්ණ පද යෙදුම් අවශ්‍ය නොවන බව ගීත රචකයා මනා අධ්‍යායනයකින් හා සංයමයකින් ඉදිරිපත් කරන සරල ගැමි වහර තුළින් ගීතය කවියෙන් වෙන් වන්නේ කොතැනද යන්න රසිකයාට ඒත්තු ගන්වා ඇත. රචකයා සිතුවාටත් වඩා මානව විද්‍යාත්මක වටිනාකමක් ගීතයට එකතු කරණ අන්දමේ ගැමි සම්ප්‍රදායේ නිර්මාණයකට නව පණක් දී ඇත.
මෙම කර්තව්‍යයේදී තනුවෙන් හා සංගීතයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ ලබා දී ඇති දායකත්වය තුළින් මේ ගීතයෙහි සාර්ථකත්වයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කර ඇති බවද සඳහන් කරනු කැමැත්තෙමි.
(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)
