Spread the News

රටවල් බෙදන්න සමහරුන් කැස කවද්දී සියලු ශ්‍රී ලාංකිකයෝ සමඟියෙන්

ජනපති නුවරඑළියේදී කියයි source:

ජයසිරි මුණසිංහ සහ ධනුෂ්ක ගොඩකුඹුර නුවරඑළිය සිට

ජාතීන් හා රටවල්් බෙදන්නට ඇතැම් රටවල් ගන්නා උත්සාහයන් හමුවේ සියලු ශ්‍රී ලාංකිකයන් සමඟියෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන් අතීතයේ පටන්ම සමඟියෙන් සිටි බව සිහිපත් කළ ජනාධිපතිතුමා ත්‍රස්තවාදය පරාජය කරන සටනේදී සියලු ජාතීන් ඉදිරියට පැමිණියේ මවුබිමට ආදරය කරන නිසා බව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව තුළ අනෙක් ජාතීන් මුස්ලිම් ජාතිකයන් සමඟ සහෝදරත්වයෙන් කටයුතු කළත් ඇතැම් රටවල් මේ අය පිළිගන්නට සූදානම් නැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහෙත් අප අතර එදා පටන්ම දැඩි විශ්වාසයක් පැවැති බව කීවේය. අතීතයේදී මෙන්ම වර්තමානයේදීත් මවුබිම වෙනුවෙන් ඉදිරියට පැමිණෙන මුස්ලිම් ජනතාව අනෙකුත් ජාතීන් සමඟ සමඟියෙන් කටයුතු කළ හැකි යැයි ලෝකයාට ඔප්පු කර පෙන්වෙ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ නුවරඑළිය අල් කබීර් ජුම්මා ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (11) එක්වෙමිනි.

මෙවැනි දේවස්ථාන ගොඩනැගීමෙන් පමණක් සැබෑ ඉස්ලාම් භක්තිකයකු විය නොහැකි අතර ඒ සඳහ නබි නායකතුමන්ගේ දර්ශනය අනුගමනය කළ යුතු බවත් ඉස්ලාම් ආගමේ හරය අනුව මුස්ලිම් ජාතිකයන්ට අනෙකුත් ජාතීන් සමඟ සමඟියෙන් ජීවත් විය හැක්කේ එවිට බවත් ජනාධිපතිවරයා පැවසීය. පෘථිවියේ උපන් සියලුදෙනා එක හා සමාන බවට නබි නායකතුමන් කර ඇති ප්‍රකාශය උපුටා දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ තමා අදහන බුදුදහමට අනුව සත්ව ලෝකයේ අපා, දෙපා, සිවුපා යනුවෙන් බේද තිබුණත් මනුෂ්‍ය ලෝකයේ කිසිදු බේදයක් නැති බවත් ඒ අනුව අපේ රටේ සියලුදෙනා සමඟියෙන් සාමදානයෙන් ජීවත් විය යුතු බවත්ය.

දෙවියන් බලන්නේ අප රැස් කර ඇති ගේ දොර ඉඩකඩම් දෙස නොව පිරිසිදු හදවත දෙස බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ නිසා පිරිසුදු මිනිසුන් වීමට සියලුදෙනා මහන්සි විය යුතු බව කියා සිටියේය. තමා සෑම විටම මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙ බව සිහිපත් කළ ජනාධිපතිතුමා කාත්තන්කුඩි පල්ලියේ සිදු වෙ දේ යළිත් සිදු වන්නට ඉඩ නොතබන බව අවධාරණය කළේය.

පලස්තීනය වෙනුවෙන් හඬ නැගුවා පමණක් නොව ඉස්ලාම් භක්තිකයන්ගේ ආගමික වතාවත් දිනකට පස්වතාවක් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්නට මැදිහත් වෙ බවත් ජනාධිපතිවරයා පැවසීය.

විදේශ ආක්‍රමණවලදී මෙන්ම ජාතික නිදහස් සටනේදීත් මුස්ලිම් නායකයන් සිංහලයන් සමඟ එක්ව කටයුතු කළ අන්දමත් ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය. සමස්ත ලංකා ජම්අතුල් උලමා සංගමයේ සභාපති අස්ශේක් රිස්වි මුෆ්ති පූජකතුමා ප්‍රමුඛ පූජ්‍ය පක්ෂයත් ඇමැතිවරුන් වන සී. බී. රත්නායක, නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. එච්. එම් අස්වර්, ජේ. ශ්‍රී රංගා, අල් කබීර් දේවස්ථානයේ දායක සභාවේ සභාපති, නාගරික මන්ත්‍රී අල්හාජ් ෆලීල් මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.