ආරියතිලක
2025.09.15

            රටේ වගවීම

තිරිසෙනෙකුට වෙනස් බවක්, පෙනුනා මට වරෙක
ඒ සතුන්ට සමාන බව, දැනුනා මට වරෙක
මේ දෙක ගැන සොයා ගන්න, හිතුනා මට වරෙක
අමුතු විදියෙ දැන ගැනුම්ය ලැබුණෙ කීප වරෙක

තිරිසනාට ඇදුම් නැතිය මට ඇදුමක් ඇතිය
තිරිසනාට කතා බැරිය මට කතාව හැකිය
තිරිසනාට අකුරු බැරිය මට කියවිය හැකිය
මේ තුන හැර වෙනස් කමක් අප අතරේ නැතිය

තිරිසනාට ඉඩම් නැතේ මට ද ඉඩම් නැතිය
තිරිසනාට ගෙවල් නැතේ මට ද ගෙවල් නැතිය
තිරිසනාට පණක් ඇතේ මට ද පණක් ඇතිය
මේ තුන සම වන බව නම් අප අතරේ ඇතිය

තිරිසනා ද කෑම බුදී මට ද කෑව හැකිය
තිරිසනා ද නිදා ගනී මට ද නිදිය හැකිය
රටක් ඇතුලෙ අප කාටත් එකට සිටිය හැකිය
අපෙ දිවියට වගවීමක් කිසිවෙකුගෙන් නැතිය.

Protected by Security by CleanTalk