Tue. Dec 3rd, 2024
Spread the News

Dr. Chamila Liyanage

බටලන්ද ගැන පමණක් නොව ඊයේ පෙරේදා යහපාලන ආණ්ඩු සමයේ මහබැංකු මුල්‍ය වංචා ගැන කියා රනිල් ජනාධිපතිතුමාගේ දේශපාලන ගමන අඩාල කිරීම ලෙහෙසි නැත. 1988-89 වකවානුවේ ජ.වි.පෙ. සන්නද්ධ නැගිටීම (දෙවන කැරැල්ල) මර්ධනය මුවාවෙන් ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා රටේ තාරුණ්‍යය හා ප්‍රගතිශීලී ජනතාව, භික්ෂූන් වහන්සේ, විද්වතුන් දහස් ගණනින් මරා දැමූ අයුරු කියා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ දේශපාලන ගමන  අඩාල කිරීම පහසු නැත. රාජපක්ෂ පවුල් පාලනය ගැන කියා මහා පරිමාන දුෂණ වංචා ගැන කියා නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලනයට කළ හැක්කේද සුලු බලපෑමකි. එපරිද්දෙන්ම දළදා මාලිගාවට බෝම්බ ගැසීම හෝ 1988-89 වකවානුවේ සිදුකළ අති බිහිසුනු අපරාධ, ජීවිත හානි, රාජ්‍ය දේපල විනාශ කිරීම් පිළිබඳ සඳහන් කර ජාතික ජන බලවේගයේ දේශපාලන ගමන අඩාල කිරීමට ඇත්තේ අඩු ඉඩකි.

කරුනා අම්මාන් හා පිල්ලයාන් දේශපාලනඥයින් ලෙසින් කුමන හෝ පක්ෂයක් හා එකතු වී තොප්පිගල සිට නොව, කොළඹ සිට දේශපාලනය කරන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී මොඩලයක් අපට ඇත. අපි වේලුපිල්ලේ ප්‍රභාකරන් හෝ තමිල් සෙල්වම් ජීවතුන් අතර සිටියේ යැයි සිතමු.  ඔවුන් එල්.ටී.ටී.ඊ.  සංවිධානයේ දත් විලිස්සාගත් කොටියා වෙනුවට, ඒ අයි තාක්ෂණය (කෘතීම බුද්ධිය) අනුසාරයෙන් නිර්මාණය කළ සිනාසී සිටින ‘අහිංසක’ ‘චබී’ කොටියකුගේ මුහුණ සමග ‘ජාතික කොටි බලවේගය’ හෝ ‘එක්සත් කොටි පෙරමුණ’ හෝ ‘කොටි සන්ධානය’ ලෙසින්  මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියේ නම් බටලන්ද, මහබැංකු වංචා, පවුල් පාලනය, 1988-89 කළ ම්ලේච්ඡ ඝාතන, කලු බළල්ලු, ප්‍රා, දළදා මාලිගාවට පහරදීම් ගැන එක් එක් අපේක්ෂකයාට අදාලව සිහිගන්වන පරිද්දෙන් තමිල් සෙල්වම් හෝ ප්‍රභාකරන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් එල්.ටී.ටී.ඊ සංවිධානය කළ ම්ලේච්ඡ ක්‍රියාගැනද කතා කරන්නට ඉඩ තිබිණී. අග මුල නැති හෙවත්, ප්‍රතිපත්තියකින් තොර මේ දේශපාලනයේ ඉදිරි පෙළ සුද්ධවන්තයින් නැත; සියල්ලන් ‘සෙපෝරු’ ය.

සන්නිවේදන විද්‍යාවේ සංස්කෘතික මතකය යනුවෙන් සිද්ධාන්තයක් තිබේ. ඇතැමුන්ගේ සංස්කෘතික මතකය පුලුල් ය; තවකකුගේ එය පටුය. විද්‍යුත් මාධ්‍යයේ හා විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණයේ ප්‍රගමණය සමගින්, මිනිසාගේ සංස්කෘතික මතකය සීඝ්‍රයෙන් පහත වැටී තිබේ. ඊට හේතුව මිනිස් මනස, මනසට දරාගත නොහැකි තොරතුරු සම්භාරයක් (ඇත්තෙන්ම අධිභාරයක්) සමගින් ව්‍යාකූලත්වයට පත්වීමත්, ඒ ව්‍යාකූලත්වය විසින් බොහෝ කරුණු හිතාමතා හෝ ඉබේටම ගිලිහී යෑමත්ය. එනිසා ඈත හෝ මෑත අතීත කතා, අතීත භාවිතාව කියමින් යමකු හෝ යම් පාර්ශවයක් සම්බන්ධයෙන් සුභවාදී හෝ අසුභවාදී මතයක් ජනනය කළ හැක්කේ සීමාසහිතව ය. කළ යුතු වන්නේ වර්තමානයේ නිර්මානය වී ඇති දැනුම් හෝ ප්‍රාමාණික තොරතුරු වේදිකාවන්/අතුරු මුහුණත් උපයෝගී කරගනිමින් අනාගතය පිළිබඳ විශ්ලේෂණාත්මක සාකල්‍ය (සමස්ත), විශ්වශනීය, විද්‍යාත්මක, මතයක් ඉදිරිපත් කිරීමත් ඒ මගින් කවර යහපතක් හෝ අයහපතක් වේද යන්න පිළිබඳ පුලුල් විග්‍රහයක් හා ප්‍රක්ෂේපණයක් කිරීම ය. එහිදී යම් පාර්ශවයක අතීත භාවිතාව එක් සාධයක් පමණි.

අනුර ගමහරහා දුවනවා හෝ ඔලිම්පික් මළල ක්‍රීඩා ඉසව්වකට සහභාගී වී සිටිනවා නම්, අපට විවේචනයකින් තොරව සුභපැතිය හැකිය. එහෙත් ඔහු ඉල්ලන්නේ රාජ්‍ය බලයයි. ඔහු රාජ්‍ය බලය ලබාගැනීමේ අභිලාෂයෙන් සිටියද  අපි පහත නිරීක්ෂණ ඉදිරිපත් කරනු කැමැත්තෙමු.

අනුර කුමාර දිසානායක අතට රාජ්‍ය බලය ලැබීම අරගලයේ අවසන් දින කීපයට නොහොත් හිංසනයට හා ප්‍රචන්ඩත්වයට බලපත්‍රයක් ලබාදීමට නොදෙවෙනියි. ඊට හේතු කීපයකි. මාලිමාව විසින් අනාගත රාජ්‍ය බලයට අනුසාංගික විය හැකි ආන්ඩු බලයක් සඳහා වන සමාජ ප්‍රාග්ධනයක් එක්රැස් කරගනිමින් සිටීද? ජනතා විමුක්ති පෙරමුණට අනන්‍ය වූ අධ්‍යාපන ක්‍රියාවලියක් තුළින් කාඩර් වරුන් බිහිකිරීම කෙසේ වෙතත්, යටත් පිරිසෙයනි දියුනු දේශපාලන දෘෂ්ටිවාදයක් සහිත පක්ෂයකට අවශ්‍ය අවම පදනම හෝ සහිත ප්‍රාමාණික මිනිසුන් ලං කරගැනීමට මාළිමාව අසමත්වී ඇත. ඒ වෙනුවට දැකිය හැක්කේ පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත පසුගිය වසර 10ක විපක්ෂ භූමිකාවේ අනුර කෙරෙන් විද්‍යාමාන වූ විචක්ෂණය වෙනුවට අන්ධව ඉතා පටු සමාජ දේශපාලන කියවීමක් ඇති පිරිස් වලට ‘ආතල්’ දෙමින් හුදු ‘චියර්’ පමනක් අපේක්ෂාවෙන් කරගෙන යන කැම්පේන් එකක් පමනි.

ජාතික ජනබලවේගයේ අතිශයෝක්තියෙන් උලුප්පා දක්වන මහා රැල්ලේ අපි දකින්නේ හන්දි වලට වී ස්මාට් ෆෝන් වල ටික් ටොක් දේශපාලනයේ නිරතව සිටින කිසිදු නිෂ්පාදන ආර්ථිකයට දායක නොවන පිරිසක් වන ත්‍රීවීල් බල ඇනියක් පමනි. බොහෝ ත්‍රී රෝද රථ රියදුරන් යනු බොහෝ පුද්ගලික බස්රථ මාෆියාවට නොදෙවෙනි මාර්ගස්ථ දාමරිකයන් පිරිසක් පමනි. ලාල් කාන්ත මහතා අනාගත අධිකරණ බලය ගමට බෙදද්දී විනිසුරුවන් තොරාගන්නේ මේ පිරිසෙන් නම්, 21 වනදා ඡන්දය වඩාත් සැලකිල්ලෙන් භාවිත කිරීමට ජනතාව ඉටා ගනු ඇත. මේ පිරිස් සමග එක්ව කටයුතු කරන තවත් මාලිමාවේ පහළ පෙල, ඇතැම් රාජ්‍ය ආයතන (පාසල් වැනි) තුළ මේ වන විටත් අර්ධ හා වක්‍ර ලෙස හිංසනය හා ප්‍රචන්ඩත්වය මුදා හැරීම අරඹා ඇත. මාරු කර හරින ගුරුවරුන්ගේ ලැයිස්තු පවා නොනිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ඔවුන් ක්‍රියාකරති. ග්‍රාමීය මට්ටමින් ඇතැම් තැන් වල 21න් පස්සේ බලාගමු’ ආදී ප්‍රකාශ නිකුත් කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

ප්‍රචන්ඩත්වය මුදාහැරීමට  අපේක්ෂාවෙන් සිටින මේ පිරිස් වලින් සමන්විත ජන පදනම සරසා ගැනීම සඳහා ආචාර්ය හරිනි ඇතුලු ආනයනික ආචාර්ය මහාචාර්ය පිරිසක් කැඳවා කොළඹ වේදීකා සැරසීම සිදුවනු පෙනේ. විද්වත්, වෘත්තික, ව්‍යාපාරික, නීතීඥ හමු පිරී ඉතිරීයෑම සමාජ මාධ්‍යයේ දැකගත හැක. ඒ පිළිබඳ අප කලබල නොවන්නේ ‘බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා ය’ යන ප්‍රළාපය පවා අදහන ‘ආචාර්ය’ ‘මහාචාර්යවරු’ සිටින බව දන්නා නිසාය.  නුදුරු ප්‍රචන්ඩත්වයක් පිළිබඳ මෙම ඉඟි බිඟි අපට සිහිපත් කරන්නේ ජ.වි.පෙ ඊනියා දෙවන කැරැල්ලේදි (1988-90) ලෙයට ලෙය- මරණයට මරණය” තේමාවෙන් පිහිටවූ ජ.වි.පෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය දැන් නැවත් නොනිල වශයෙන් ස්ථාපිත කොට ඇති බවකි. එහි එවකට නායකයා වූ සමන් පියසිරි ප්‍රනාන්දු නොහොත් කීර්ති විජයබාහූ කවුරුන්දැයි තවම අනාරණය වී නැත. සිය ඊනියා විප්ලවීය ක්‍රියාමාර්ගයට විරුද්ධවූවන් ‘පෙතියන්’ ලෙස හැඳින්වූ ඒ භිෂණය දෙවෙනි වන්නේ ඉස්ලාමටය විරුද්ධ සියල්ලන් කාෆීර්වරුන් ලෙසින් හඳුන්වා මරා දමන ජිහාඩ් යුද්ධයට පමණි.

ජනතා විමුක්ති පෙරමුණ නම් වූ මාක්ස්වාදී උග්‍ර වාමාංශික දේශපාලන දෘෂ්ටිවාදයක සිට ජාතික ජන බලවේගය නම් වූ උග්‍ර ලිබරල් දේශපාලන ව්‍යාපෘතියක් දක්වා රූපාන්තරනය වීමේ පසුබිම ලෙහෙසි දේශපාලන පරිවර්තනයක් නොවේ. එය කුමක් නිසා සිදුවිනි ද? උග්‍ර ජාතිකවාදී, නිෂ්පාදන ආර්ථික මොඩලයක සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1977 දී ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආර්ථික ලිබරල්කරන යෝජනා ප්‍රතික්ෂේප කරමින් මාරාන්තික සටනක් කළද, 1994 වසරේ චන්ද්‍රිකා බන්ඩාරනායක ජනාධිපතිතුමිය විවෘත ආර්ථිකයට මානුෂික මුහුනුවරක් දෙන තැනට තල්ලු වූවාය. ඒ රාජ්‍ය බලය හා ආන්ඩු බලය ඇතුළුව වසර පනහක පමණ දේශපාලන මෙහෙයුමකින් පසුවය. ජානතා විමුක්ති පෙරමුනේ මේ රූපාන්තරණය හුදෙක් දේශපාලන පරිවර්තනයක් නොවේ. එය දැවැන්ත භූ දේශපාලනික න්‍යායපත්‍රයක අපට පෙනෙන කොටස පමනි. ඒ සඳහා මේ සා මුදල් කන්දරාවක් ආයෝජනය වන්නේ එනිසා ය. එහෙත් අවාසනාවට පසුගිය වසර කිහිපය තුළ විවිධ සමාජ ආර්ථික දේශපාලනික කරුණු නිසා දැඩි ඉච්ඡාභංගත්වයට පත්ව සිටින බොහෝ ශ්‍රී ලාංකිකයන්ටද මේ වෙස් පෙරළියේ ඇත්ත නැත්ත වටහා ගැනීම අසීරු බව පෙනේ. ජාතික ජන බලවේගයේ අමන්දානන්දයට හේතුවී ඇති ඊනියා රැල්ල නිර්මානය වී ඇත්තේ මේ අන්ධකාරය තුළය. 

1965දී ජනතා විමුක්ති පෙරමුන ආරම්භ කරද්දී  රෝහන විජේවීර ස්වදේශිකයෙකි. එහෙත් ඒ ව්‍යාපෘතියේ එක් සන්ධිස්ථානයකින් පසුව ජනතා විමුක්ති පෙරමුන භූ දේශපාලනික ඒජන්තයන්ගේ මෙරට ‘ගමන් බිමන්’ සඳහා අවශ්‍ය අවස්ථා වලදී කුලියට ගන්නා කුලී රියක් විය. 1990න් පසු නිර්මාණය වූ දේශපාලන වාතාවරණය තුළ 1988-90 මර්දනයෙන් පසු නැවත සමාජයේ ස්ථාපනය වීමට ජනතා විමුක්ති පෙරමුණට ජාතිකවාදී රඟපෑමක නිරතවන්නට සිදුවිය. එනිසා සෝමවංශ අමරසිංහගෙන් පසු අනුර කුමාර දිසානායක ස්ථාපනය වන්නේ දුෂණය,  සමාජ අසාධාරණය, අයුක්තියට එරෙහි බෙදුම්වාදයට එරෙහි ජාතික නායකයකු සේය. 2005දී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණයට කටයුතු කිරීම එහි එක් කැපී පෙනෙන සන්ධිස්ථානයකි. එහෙත් 2020න් පසු, විශේෂයෙන්ම අරගලයෙන් පසු ජනතා විමුක්ති පෙරමුනේ වෙස් පෙරළිය තුළ කරලියේ ඉදිරියට එන්නේ කළක් මෙරට ජාත්‍යන්තර සංවිධාන වල සේවය කර, පසුව පශ්චාත් උපාධිය සඳහා ඕසට්‍රේලියාවටද, දෙවනුව ආචාර්ය උපාධිය සඳහා එංගලන්තයටද ගොස් පැමිණ විවෘත විශ්ව විද්‍යාලයේ සේවය කරන ආචාර්ය හරිනි අමරසූරිය යි. ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ජන බලවේග වෙස් පෙරළියේ තීරණාත්මක සාධක දෙකකි. එකක් ආචාර්ය හරිනි එහි ස්ථාන ගත කිරීමයි. දෙවැන්න, කොවිඩ්, ආර්ථික අර්බුදය හා අරගලය විසින් නරුමයන් බවට පත් කළ ස්වදේශික මානසිකත්වයයි. 2019දී ජාතික නායකයකු තනන්නට ජාතිකවාදීව වෙහෙසවූ ඒ සමාජය, අවාසනාවන්ත ලෙස අවිඥානික ලෙස විජාතික ව්‍යාපෘතියක් සඳහා අවභාවිත වෙයි!

අනුර කුමාර ‘සහෝදරයා’ ගැන තමා හොඳින්ම දන්නා බවත්, රටේ ප්‍රශ්න විසඳීමට ඔහු හා එක්ව ක්‍රියාකාරීමට තමන් සූදානම් බවත් ප්‍රකාශ කරමින් අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙක් චරිත සහතිකයක් හදිසියේම නිකුත් කරන්නේ සුප්‍රසිද්ධ සුමන්තිරන් මන්ත්‍රීතුමාය. දින කීපයකට පෙර තමන් ඇතුළු දෙමළ ජාතික සන්ධානය සහය දෙන්නේ සමගි ජන බලවේගයට බව ප්‍රකාශ කිරීමෙන් කෙටි කලක් ඇවෑමෙන් සුමන්තිරන් මන්ත්‍රීතුමාගේ මේ හැසිරීම පිළිබද සැලකිල්ල යොමු කළ යුතුය.

සාමාන්‍යයෙන් කවදත් දෙමළ ජාතික සන්ධානයේ නැඹුරුතාව රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීම සදහා හෝ ඒ මතවාදයට අනුකූලතාවක් දක්වන ජාත්‍යන්තරය ඉවසන අපේක්ෂකයා වෙතය. එහෙත් රනිල්ටත් වඩා අනුර සුදුසුයැයි විශ්වාශ යැයි උතුරේ දෙමළ ජනතාවට සුමන්තිරන් ඒත්තු ගන්වන්නට මහන්සි වන්නේ ඇයි? සග සමුලු පවත්වා තමන් මහා සංඝරත්නයට ශාසනයට අනුකූලයැයිද, ලැදි යැයිද පෙන්වන්නට උත්සහ දරන ජාතික ජන බලවේගයේ දියරෙද්ද මුලුමනින්ම කඩා වැටෙන්නේ සුමන්තිරන්ගේ ප්‍රකාශය නිසාය. ජාතික ජන බලවේගය මූලධාර්මීය වශයෙන් විරුද්ධ බෞද්ධ සම්ප්‍රදායන් පද්ධතියට පමණක් නොවේ. එය සමස්ත සිංහල සංස්කෘතියටම එරෙහි ව්‍යාපාරයක් බව සුමන්තිරන්ලා ඉදුරාම දනී. 1987 වකවානුවේ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධවීම හෝ, පසුව එල්.ටී.ටී.ඊ සංවිධානය මිලිටරිමය වශයෙන් පරාජය කිරීමට අවශ්‍ය පළමු සාධකය වූ උතුරු නැගෙනහිර පළාත් දෙකක් බවට ප්‍රකාශයට පත්කරමින් 2006 ඔක්තෝබර් 16 දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් ජ.වි.පෙ. භූමිකාව මුලුමනින්ම අමතක කර දැමීමට සුමන්තිරන්ලා තීරණය කරන්නේ, ශ්‍රී ලංකාවේ මහා සම්ප්‍රදාය සුනුවිසුනු කිරීමේ පොරොන්දුව ජාතික ජන බලවේගය විසින් සුමන්තිරන්ලාට ලබාදී තිබීම නිසා විය යුතුය. පහත මෑත කාලීන සාධක ඒ පොරොන්දුවේ ප්‍රභලත්වය තවදුරටත් ශපත කරයි!

බිමල් රත්නායක මහතා වරෙක කීවේ පිළිම වන්දනාව ගෝත්‍රික බවකි. ගස් ගල් වන්දනාව නොකළ යුතු බවකි. ශ්‍රී ලංකාව  සිංහල බෞද්ධ රටක් නොවන බවද ඔහු තර්ක කරයි. නලීන් හේවගේ කියන්නේ බෝධිය කිසිදු වැදගැම්මකට නොමැති ගසක් බවය. සමන්මලී ගුණසිංහ ගනිකා වෘත්තිය නීතිගත කිරීම යෝජනා කරත්ම, ආචාර්ය හරිනි අමරසූරිය එය ස්ථිර කරයි. මේ කතා මාළාවේ තවත් එක් සන්ධිස්ථානයක් වූයේ දළදා පෙරහැර සම්බන්ධයෙන් ලාල් කාන්ත මහතා එක් කළ අදහස් ය. ඔහු කීවේ උඩුකය නිරුවත් කාන්තාවන් සහිත පෙරහැරක් හික්කඩුව ප්‍රදේශයේ සංවිධානයෙන් සංචාරක ආකර්ශනය වැඩිකරගත හැකි බවය. මාළිමාවේ සිහින මුදල් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ආර්ථික අර්බුදය සමයේ විදේශ ශ්‍රමිකයන් අමතා ඔවුන්ගේ ප්‍රේෂණ ලංකාවට එවන්නට එපා යැයි කීවේය.

මාස ගණනක් පැරණි එම කතා ගොන්නට අලුත් කතා කීපයක් එකතුවී තිබේ. ජාතික ජන බලවේගයේ හෙද සමුළුව අමතමින් ලාල් කාන්ත මහතා කීවේ සෑම හෙදියකම ශරීර සුවතා මධ්‍යස්ථානයක අභ්‍යාස මගින් ආකර්ශනීය සිරුරක් සකස් කර ගත යුතු බවත්, ඔවුන්ගේ පිරුණු ලැබ දැකීමෙන් රෝගීන් සුවපත් වන බවත් ය. ජාතික ජන බලවේග වේදිකාවේ රඟන ජනතා විමුක්ති පෙරමුනේ කථිකයන්ගේ මේ අපබ්‍රංශ දේශපාලන කථා මාලාවට අලුතින්ම එකතුවූයේ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ හිල්වූ යට ඇඳුම් පිළිබඳ කතාවයි. එය සමාජ මාධ්‍ය නිර්මාන ශිල්පීන්ට අපූරු වස්තු බීජයක් වී ඇතිවා සේම, පොදුවේ සමාජයට නොමද ආශ්වාදයක් ලබාදෙන්නේය. මේ සියලු සියුම් භාවිතාවන් හරහා ඔවුන් ඉලක්ක කරන්නේ ලංකාවේ සම්මත සමාජ ප්‍රතිමානයන්ගෙන් බැහැර ඡන්ද පදනමකි. ආගමට දහමට දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගරු නොරකන වල්බූරු පන්නයේ සමාජයකි.   හරිනිලාට, අනුරලාට එබඳු සමාජ වටිනාකම් වලින් වැඩක් නැත.

මැතිවරණයකදී රැල්ල යනු පුලුල් ඡන්ද පදනමක උනුසුම් මතුවීමයි. 2019දී  ගොඨාභයගේ හැට නව ලක්ෂය නිර්මාණය වූයේ 2018 පෙබරවාරී පලාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව ලබාගත් ඡන්ද පදනම මත යි. ජයග්‍රාහී රැල්ල සඳහා දැවැන්ත ඡන්ද පදනමක් අවශ්‍යය. 5%කට අඩු ඡන්ද පදනමක් සහිත පක්ෂයකට සමාජ මාධ්‍ය හෝ වෙනත් උපක්‍රම ඔස්සේ අතිශයෝක්තියෙන් ප්‍රක්ෂේපිත රැල්ලක් මවා පෑ හැක. එහෙත් එය යථාර්තය නොවේ. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණය නම් 2004 මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගතවී ලබාගත් මනාප ප්‍රමාණයයි. එය ආසන්න වශයෙන් මිලියන 2.3ක් පමණ විය. ඒ අවස්ථාවේදී පක්ෂයේ පූර්ණ කාලිකයින් 14,000ක් සිටි අතර අද පූර්ණ කාලිකයින් 1000කට අඩු සංඛ්‍යාවක් ඇත. එහෙත් අති දැවැන්ත මුදල් සම්භාරයක් ගෙවමින් නඩත්තු කරන සමාජ මාධ්‍ය බලඇනියක් විසින් මේ ව්‍යාජ රැල්ල නිර්මාණය කර තිබේ. බොහෝ දෙනා හසුවී ඇත්තේ ඒ ව්‍යාජයට ය.

ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ජන බලවේගය ලෙස සිදුවී ඇති මතුවීම 2019 ගෝඨාභය රාජපක්ෂගේ මතුවීමටත් වඩා හානිකර බව අපගේ කියැවීම යි. ගෝඨාගේ මතුවීම පිටුපස 2005 සිට 2015 දක්වා රාජපක්ෂලා විසින් යුක්ති සහගත හෝ අයුක්ති සහගතව ගොඩනැගූ සමාජ යාන්ත්‍රණයත්, 2016 පසු ඇරඹී යම් සමාජ කථිකාවකුත් තිබිණි. කවර නමකින් පෙනී සිටියද ජාතික ජන බලවේගය ඒක පුද්ගල ව්‍යාපාරයකි. කලකට ඉහතදී පක්ෂයට ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තු යන්නේ කවුදැයි තීරණය කළ ජනතා විමුක්ති පෙරමුණ, දැන් දියුනු වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන ජාතික ජන බලවේගය හරහා ‘අනුරට රට’ ඉල්ලන්නේ එනිසාය. විපක්ෂය අනුරට යැයි කීවානම් වඩාත් යුක්ති සහගතය. මන්ද මෑත දේශපාලන ඉතිහාසය විසින් බිහි කළ ප්‍රතිපක්ෂ අදහස් දැරීමට හා ප්‍රකාශනයට උපන් හපන්කමක් ඇත්තා අනුර බැවිණි.

Protected by Security by CleanTalk