Spread the News

රණවිරුවන්ට ගරුසරුවක්‌ නැති
රණවිරු අධිකාරියේ ‘විරුසරු’ බෙදිල්ල

රණවිරු සේවා අධිකාරිය මගින් නව සභාපතිනියගේ සම්ප්‍රාප්තියත් සමඟ රණවිරුවන් අගය කළ යුතුයෑයි පවසමින් ආරම්භ කළ එකම කටයුත්ත වූයේ ජනාධිපතිවරයාගේද නමත් සඳහන් කරමින් ක්‍රියාත්මක කළා වූ විරුසරු කාඩ්පත ලබාදීමය.

මෙම කාඩ්පත ලබාදීමේදී රණවිරුවන්ට විවිධ ආයතන තිහකින් පමණ වට්‌ටම් සහිතව භාණ්‌ඩ මිලදී ගැනීමේ සිට බොහෝ පහසුකම් එය ඉදිරිපත් කිරීමෙන් හිමිකර ගතහැකි බව රණවිරු සේවා අධිකාරියේ ලොක්‌කෝ කියන්නට වූහ.

කෙසේ වෙතත් මෙම කාඩ්පත ලබාදීමේදී පළමු අදියරෙන් පසු ඊළඟ අදියර ක්‍රියාත්මක කිරීමට රණවිරු සේවා අධිකාරියේ බලධාරීන්ට බොහෝ කාලයක්‌ ගත වූ අතර ඒ සම්බන්ධයෙන් “විරුසරු කාඩ්පතට මොකද වුණේ” ආදී ලෙසින් මාධ්‍ය වාර්තාද බොහෝමයක්‌ පළ වන්නට විය.

එසේ මාධ්‍ය මගින් පවා රණවිරුවන් විරුසරු කාඩ්පතේ ප්‍රමාදය පිළිබඳ ප්‍රශ්න කරද්දී ඉකුත් මාර්තු මාසයේදී පැවති කුරුණෑගල ආරක්‍ෂක විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදී විරුසරු කාඩ්පත පිළිගැන්වීමේ තවත් අදියරක්‌ ක්‍රියාත්මක කරවීමට රණවිරු සේවා අධිකාරිය කටයුතු කළේය.

එහෙත් රණවිරු සේවා අධිකාරිය මෙසේ කන්දක්‌ විළිලා කෙන්දක්‌ වදන අකාරයෙන් විරුසරු නමින් කාඩ්පතක්‌ රණවිරුවන්ට බෙදා දුන්නද එමඟින් රණවිරුවන් ඇන්දවීම හැර මේ දක්‌වා අන් යමක්‌ සිදුව තිබේද?

අප එසේ ප්‍රශ්න කරන්නේ විරුසරු කාඩ්පත යනු තවමත් රණවිරු සේවා අධිකාරියේ ලොකුතැන්වලට සුපිරි කාඩ් වදින නිකම්ම නිකම් කාඩ්පතක්‌ බවට පත්ව තිබෙන නිසාය. එය පෙන්වා වට්‌ටම් සහිතව ලාබෙට බඩු ගත් රණවිරුවන් කිසිවකුත් නැත.

එසේම සේවා ලබාගැනීමෙදී ප්‍රමුඛතා ලබාගත්තෝද ඉතාම විරල වන්නාහ. රණවිරුවන්ට සිදුව ඇත්තේ “විරුසරු” සාක්‌කුවේ දමාගෙන අතින් ගෙවා වැඩේ කර ගන්නටය. මෙසේ සිදුව ඇත්තේ කුමක්‌ නිසාද?

“විරුසරු” කාඩ්පත හොඳ සංකල්පයකි. එය නිසි ලෙස ක්‍රියාවට නැංවෙන්නේ නම් රණවිරුවාට සහනයක්‌ අත්වීමද නියත වශයෙන්ම සිදු වන්නකි. රණවිරුසේවා අධිකාරිය මේ කාඩ්පත රණවිරුවන්ට ලබා දුන්නේය. එහෙත් එය තවමත් සියලුම රණවිරුවන්ට ලබා දීමට අධිකාරිය අසමත්ව සිටින බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

කෙසේ හෝ යම් පිරිසකට එය ලබා දුන්නද ඉන් එහාට යමින් එකී කාඩ්පත බලාත්මක වීමට අවශ්‍ය පියවර ගැනීමට රණවිරු සේවා අධිකාරියේ ලොකු තැන්වලට තවමත් නොහැකි වී ඇත. මේ සම්බන්ධයෙන් අදාළ ආයතන සමඟ මනා සම්බන්ධීකරණයක්‌ ගොඩනඟ ගැනීමට අධිකාරය අදටත් සමත් වී නැත. එසේ සම්බන්ධීකරණයක්‌ ඇති කර ගැනීම විරුසරු කාඩ්පත බෙදන්නට පෙර සිදු විය යුතු දේ වන්නේය.

එහෙත් රණවිරු සේවා අධිකාරිය කරනු ලැබුවේ සියල්ලට පෙර බෙර ගසා තොවිල් නටා “විරුසරු” කාඩ්පත රණවිරුවන්ට බෙදා දීමට පියවර ගැනීමය. අද විරුසරු සාක්‌කුවේ දමාගෙන බල බල ඉන්නට රණවිරුවන්ට සිදුව ඇත්තේ මෙන්න මේ නිසාය.

“විරුසරු කාඩ් පත පෙන්නුවාට ඒ සඳහා වට්‌ටම් සහිතව භාණ්‌ඩ ලබා දීමට බොහෝ ආයතන එකඟතාව පළ කරන්නේ නැත. මේ ආයතන තුළ සිදුවන්නේ ව්‍යාපාරයකි. එහෙයින් රණවිරුසේවා අධිකාරිය නිකම්ම නිකම් කටින් කී පලියට කාටවත් දන්සල් දෙන්නට ඔවුන් සූදානම් නැත.

නිසි ක්‍රමවේදයක්‌ තුළින් අදාළ ව්‍යාපාරික ස්‌ථානවල පාඩුවද පියවෙන සේ කටයුතු සැලසුම් වන්නේ නම් මේ තත්ත්වය ඇති නොවන්නේය. එහෙත් සැලසුම්සහගත බවකින් තොරව මෙසේ රණවිරුවාට කාඩ්පතක්‌ දී “හා දැන් ගිහින් අසවල් තැනින් ලබෙට බඩු ගන්න යෑයි” කී පමණින් එය රැගෙන එන රණවිරුවාට පහසුකම් සලසන්නට කිසිවකුත් කටයුතු කරන්නේද නැත.

“විරුසරු” ලබාගෙන සිටින රණවිරුවන් අද පවසන්නේ තමන් කිසියම් ආයතනයකට ගොස්‌ විරුසරු කාඩ්පත ඉදිරිපත් කරද්දී එය පිළිගැනීමට අදාළ ආයතන සූදානම් නොමැති බවය. ජනාධිපතිවරයාගේද නම් සඳහන් කරමින් රජයේ වැඩපිළිවෙළක්‌ ලෙස රණවිරු සේවා අධිකාරියේ ලොකු අය ක්‍රියාත්මක කර තිබෙන “විරුසරු” කතාවේ යථාර්ථය එය බවට පත්ව ඇත.

එහෙත් ඇත්ත එය වුවද අධිකාරිය අද තව තවත් “විරුසරු” කාඩ්පත් බෙදා දෙන්නට සැලසුම් කරමින් සිටින්නේය. එසේ කාඩ් බෙදන රණවිරු සේවා අධිකාරිය “විරුසරු” කෙසේ වෙතත් රණවිරුවන් මෙතෙක්‌ රැකගෙන සිටින ආත්ම ගරුත්වයද වැනසෙන අන්දමේ ගරුසරු නැති වැඩක්‌ද කර තිබෙන බව ඉකුත් සතියේ අපට වාර්තා විය.

ඒ කිසිදු වැදගම්මකට නැති කරුණක්‌ හමුවේ රණවිරුවන්ට පොලිසියට යැමට සිදුවන තත්ත්වයක්‌ නිර්මාණය කිරීමෙනි. විරුසරු කාඩ්පත මෙතෙක්‌ ලබා නොදුන් රණවිරුවන්ට එය ලබා ගැනීම පිරවිය යුතු සඳහා අයෑදුම් පත්‍රයක්‌ රණවිරු සේවා අධිකාරිය මේ දිනවල නිකුත් කර ඇත.

එහි සඳහන්ව ඇති අන්දමට යුද, නාවික, ගුවන් සහ සිවල් ආරක්‍ෂක බළකායේ දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන්ට හා සෙසු නිලයින්ට මෙන්ම ආදාළ හමුදාවන්හි විශ්‍රාමික නිලධාරීන්ටද එකී අයෑදුම්පත්‍රය පුරවා භාර දීමෙන් විරුසරු කාඩ්පතක්‌ ලබා ගත හැකිය.

එහෙත් ගැටලුව වන්නේ දැනට රාජකාරියේ යෙදී සිටින ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක සාමාජිකයන්ට එම අයදුම්පත්‍රය පුරවා එවීමෙන් “විරුසරු” හිමිකම ලබා ගැනීමට හැකි වුවද විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ සෙසෙq නිලයන්ට එසේ අයෑදුම්පත්‍රය පුරවා එවීමෙන් පමණක්‌ “විරුසරු” ලබා ගැනීමට නොහැකි වීමය.

අදාළ අයෑදුම් පත්‍රයේ සඳහන්ව තිබෙන අන්දමට විශ්‍රාමික රණවිරුවන් විරුසරු ලබා ගන්නේ නම් ඔවුන් ඒ සඳහා තමන් පදිංචි ප්‍රදේශයේ පොලිස්‌ ස්‌ථානයෙන් පොලිස්‌ නිශ්කාශන වාර්තාවක්‌ හෙවත් පොලිස්‌ සහතිකයක්‌ ලබා ගත යුතුය.

රණවිරු සේවා අධිකාරියේ නෝනා, මහත්වරුනි, මෙය මොනතරම් ලඡ්ජා සහගත ක්‍රියාවක්‌ද? වසර 22 ක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ හමුදාවේ සේවය කොට විශ්‍රාම ගිය රණවිරුවන් එසේ විරුසරු ලබා ගැනීම සඳහා පොලිස්‌ සහතික ලබාගත යුත්තේ කුමකටද?

රට වෙනුවෙන් ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් වැද අද විශ්‍රාම සුවයෙන් සිටින මේ රණවිරුවන්ට මෙසේ පොලිස්‌ සහතික රැගෙන එන්නට යෑයි කියමින් ඔවුන්ව “අයිආර්සී” කාරයන්ගේ තත්ත්වයට ඇද දමන්නේ කුමක්‌ නිසාද?

කීර්තිමක්‌ රාජකාරි කාලයකින් පසුව විශ්‍රාම ගනු ලැබූ රණවිරුවන් පිළිබඳ රණවිරු සේවා අධිකාරියට විශ්වාසයක්‌ නැතිව ගොස්‌ තිබේද? එම අයෑදුම් පත්‍රයට අනුව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක බළාකායේ නිලධාරීන් මෙනේම සෙසු නිලයින්ද මෙසේ පොලිස්‌ සහතික ඉදිරිපත් කළ යුතුව ඇත.

ත්‍රිවිධ හමුදාවේ උසස්‌ නිලධාරියකු ගත් කළ සාමාන්‍යයෙන් පොලිස්‌ ස්‌ථානයක සිටින මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂකවරයකුටත් වඩා ඔවුන්ගේ නිල තත්ත්වය ඉහළය. එසේ නම් මේ කියන විරුසරු කාඩ්පත ලබා ගැනීම වෙනුවෙන් එකී උසස්‌ නිලධාරීන් පොලිස්‌ ස්‌ථානයකට ගොස්‌ “අනේ මට විරුසරු ගන්න ඕනේ.. ඒකට සහතිකයක්‌ දෙන්න” යෑයි කිවයුතුද?

මේ තුළින් කරන්නට යන්නේ “විරුසරු” හරහා විරු ගරුත්වය කෙළසීමට සැරසීමක්‌ නොවේද? රණවිරු සේවා අධිකාරිය “විරුසරු” දුන්නේය. එහෙත් දැනගැනීමට ඇති පරිදි නම් තවමත් ඉන් රණවිරුවාට සිදුවූ සෙතක්‌ නම් නැත. එසේ තිබියදී “විරුසරු” ගන්නට පොලිස්‌ සහතික දියයුතු යෑයි රණවිරු සේවා අධිකාරිය අද විශ්‍රාමික රණවිරුවන්ට කියන්නේය.

රණවිරු සේවා අධිකාරියේ නෝනා මහත්වරුනි, ඔබලා මෙසේ කියන්නේ හොඳ සිහිකල්පනාවක්‌ ඇතිවද? එසේත් නැතිනම් මේ දිනවල පවතින දැඩි ඉඩෝරයට මොලේ කරකුට්‌ටන් වීම නිසාද?

එදා රණවිරුවා වෙනුවෙන් සැබෑවටම පෙනී සිටි රාජ්‍ය ආයතනයක්‌ව තිබී අද දේශපාලන කාර්යාලයක්‌ බවට පත්ව තිබෙන සහ එකී දේශපාලන කාර්යාලයේ ලොකු පුටුවල ඉන්න උන් රණවිරුවන්ට එරෙහි එන්ජීඕ නඩ සමඟ එක්‌ව රඟන කල එක්‌ අතකින් රණවිරු සේවා අධිකාරියෙන් දැන් මීට වඩා දෙයක්‌ද බලාපොරොත්තු විය නොහැකිය.

එහෙත් මේ නරිනාටක දෙස බලා ඇස්‌ කන් නැත්වුන් සේ අපට නිහඬව සිටින්නටද හැකියාවක්‌ නැත. ආරක්‍ෂක අමාත්‍යංශයේ බලධරයනි, මෙන්න මේ නිසා අද දේශපාලන කඳවුරක සිටිමින් මේ රට බේරාගත් රණවිරුවාට කෝචොක්‌ දමන්නට සැරසෙන රණවිරු සේවා අධිකාරියේ රෙද්ද පල්ලෙන් බේරෙන රණවිරු සේවය රටට හෙළි කරන්නට අප සූදානම් බවද අවසන් වශයෙන් සඳහන් කළ යුතුය.

* සෙනවි රණභාහු