Spread the News

‘රනිල් වගකීම් විරහිත බොරු කාරයෙක්’

– ඕමල්පේ සෝභිත හිමි source;

රෝම ප්‍රඥප්තියට අස්සන් නොකිරීම නිසා යුද අපරාධ සම්බන්ධයෙන් ජනපතිට හා හමුදා නිලධාරීන්ට අන්තර්ජාතික වශයෙන් කිසිදු බලපෑමක් ඇති නොවන බව කියමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ක්‍රියා කලාපය සම්පූර්ණයෙන්ම ජාතික වගකීම පැහැර හැරීමක් බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

අන්තර්ජාතික වශයෙන් පැතිරී සිටිනා කොටි හිතවාදීන්ට අවශ්‍ය පරිදි ක්‍රියා කරමින් රජය අස්ථාවර කොට දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන විපක්ෂ නායකයා, අපේ රණවිරුවන් ජීවිත පූජාවෙන් ලබාගත් නිදහස වළලා දැමීමට පසුබිම සකසන බව ද උන්වහන්සේ කීහ.

කොටි පරාජය කිරීම පිළිබඳ ජනාධිපතිතුමා සමඟ වෛරයෙන් පසුවන කොටි හිතවාදීන්, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව සරත් ෆොන්සේකා මහතා ද ඒ උගුලට හසුකර ගැනීමට කුමන්ත්‍රණය කිරීම ඒ සැලසුමේම තවත් පියවරක් බව ද සෝභිත හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

අන්තර්ජාතික යුද අපරාධ පිළිබඳ රෝම ප්‍රඥප්තියට අත්සන් නොකළ ද වෙනත් ක්‍රම ගණනාවකින් අපට එරෙහිව චෝදනා ගොනු කළ හැකි බවත්, එසේ අනතුරක් නැති බව පවසමින් ජනතාව නොමඟ යැවීම ජනතාවගේ අවධානය බිඳ දමන්නට උත්සාහ කිරීමක් බවත් පැවසු සෝභිත හිමියෝ, ඇමෙරිකාව, ලංකාවට විරුද්ධව යෝජනා ගෙන එන බව අන්තර්ජාතික වශයෙන් පවා පිළිගෙන ඇති අවස්ථාවක එසේ පැවසීම ඇමෙරිකාවට අනුබල දීමක් බව ද පෙන්වා දුන්හ.