Sat. Jan 18th, 2025
Spread the News
erik


හේමන්ත රන්දුණු- Divaina:
 
erik2වෙන්නප්පුව පොලිස් කොට්ඨාසය භාරව සිටි සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි කොළඹට මාරු කර යවා ඔහු යටතේ තිබූ විශේෂ පොලිස් ඒකකය විසුරුවා හැරීමේ ප‍්‍රවෘත්තියෙන් මුළු රටම උණුසුම් වුණේය.
 
 වෙන්නප්පුවේ දේශපාලනඥයාගේ කුඩු කාරයන්ගේ පාතාලයන්ගේ කසිප්පුකාරයන්ගේ කථාව මේ උණුසුම් ප‍්‍රවෘත්තිය අති උත්තරීතර යැයි කියා ගන්නා පාර්ලිමේන්තුව දක්වා ඇදී යන්නේ එරික් පෙරේරාගේ මේ මාරු කිරීම පිටුපස දේශපාලන හස්තයක් තිබූ නිසාය.
 
 වර්තමාන රජයේ පිනට පහළ වූ එක්තරා දේශපාලනඥයකු පුත්තලම දිස්ති‍්‍රක්කයේ ජනතාවගේ වටිනා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ආවේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අවංක, නිහතමානී පුද්ගලයකු වූ මේ දේශපාලනඥයා පාර්ලිමේන්තුවට ආවේ පුත්තලමේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමටය. උන්ට සිදුවන අසාධාරණකම්වලට එරෙහිව සටන් කිරීමටය.
 
 කාල වර්ණ කඳබඩ මහත ගෝරිල්ලකුගේ ස්වරූපය ගත්තද මේ ජනහිතකාමී දේශපාලනඥයා පුංචි පූස්පැටවකු මෙන් අහිංසකය. වෙන්නප්පුවේ දංකොටුවේ කසිප්පුකාරයන්ගේ, ගංජාකාරයන්ගේ වැලි මැටි ජාවාරම්කාරයන්ගේ පාතාලයන්ගේ වීරයා ඔහුය. මේ අහිංසක ව්‍යාපාරිකයන්ගේ හද ගැස්ම හොඳින් හඳුනාගෙන සිටින ජනහිතකාමී දේශපාලනඥයා උන්ට සිදුවන ඕනෑම අසාධාරණයක් අයුක්තියක් හමුවේ පෙනී සිටියේය.
 
 මේ දේශපාලනඥයාට තිබූ ජනතා කැමැත්ත නිසාම ඔහුට වර්තමාන රජයෙන් රාජ්‍ය අමාත්‍ය ධුරයක් ද පිරිනැමුවේය. පසුගිය යහපාලන ආණ්ඩු සමග ද මේ ජනහිතකාමී දේශපාලනඥයා දීග කෑවේය. ඒ පුත්තලම දිස්ත‍්‍රික්කයේ අහිංසක ජනතාවට යමක් කරදීමටය. අන්තිමේදී මේ කෘතහස්ත දේශපාලනඥයා පක්‍ෂ මාරුකළේ ජනතාවගේ යහපත ගැන සිතා ගෙනය. මේ ජනහිතකාමී දේශපාලනඥයාට පාර්ලිමේන්තු යන්නට පුත්තලමේ ජනතාව වරම් ලබා දුන්න ද ඒ කාර්යය සඳහා ධනය, බලය ශක්තිය ලබා දුන්නේ ඉතාම සාධාරණව, අවංකව සිය ව්‍යාපාර කරගෙන ගිය කසිප්පුකාරයන්, කුඩුකාරයන්, ජාවාරම්කාරයන් හා පාතාල මැරයන් ය.
 
 තමන් බලයට පත් කිරීමට මේ තරම් ඇප කැප වී කටයුතු කළ ඒ සාධාරණ ව්‍යාපාරිකයන් ආරක්‍ෂා කර ගැනීමට පූස් පැටවකු මෙන් අහිංසක මේ ජනහිතකාමියා පෙනී සිටීම කිසිම වරදක් නැත.
 
erik3 ඒ මන්ද යත් මීළඟට එන සෑම මැතිවරණයකටම මේ අවංක දේශපාලනඥයාට ධනය, බලය, ශක්තිය ලබා දෙන්නට ඉදිරිපත් වන්නේ පුත්තලම දිස්ත‍්‍රික්කය නියෝජනය කරන කසිප්පුකාරයන්, කුඩුකාරයන්, පාතාලයන් ජාවාරම්කාරයන් වීම නිසාය. මේ ජනහිතකාමී දේශපාලනඥයා පුත්තලම දිස්ත‍්‍රික්කයේ පොලිස් ස්ථාන බොහොමයකට රාජකාරි කිරීමට ඉඩ දුන්නේ නැත. ඒ පොලිස් රාජකාරි මේ දේශපාලනඥයා ප‍්‍රමුඛ උගේ ගෝල බාලයන් විසින් තමන් යටතට ගෙන සිටි නිසාය. ඒ නිසා මේ ප‍්‍රදේශවල පොලිස් නිලධාරීන් බොහෝ විට සිටියේ බොහොම සැහැල්ලූවෙන් ය. නිදහසෙන් ය. ඉඳහිට කුඩුකාරයෙක්, ගංජාකාරයෙක් පාතාල මැරයෙක්, ජාවාරම්කාරයෙක් අහම්බෙන් මෙන් හසුවුවහොත් මේ ජනතාවාදී දේශපාලනඥයා ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේය. පොලිසිය සමඟ බොහොම සුහදව කතාබහ කර මේ ජාවාරම්කරන අහිංසකයන් නිදහස් කර යැවීමට කටයුතු කළේය.
 
  පුත්තලම දිස්ත‍්‍රික්කය පුරා මෙවැනි වාතාවරණයක් පවතිද්දී මීට වසර එකහමාරකට පමණ උඩදී වෙන්නප්පුව පොලිස් කොට්ඨාසය වෙත සහකාර පොලිස් අධිකාරිවරයෙක් අලූතින් පත් වුණේය. ඔහු නමින් එරික් පෙරේරා විය. එරික් පෙරේරා චණ්ඩි ගණයට වැටෙන පොලිස්කාරයෙකි. එතෙක් කාලයක් වෙන්නප්පුව, දංකොටුව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ පොලිස් බලය තිබුණේ දේශපාලනඥයන් අතේය. ඔවුන් බොහොම සුහදව, නම්‍යශීලීව පොලිසිය සමඟ කටයුතු කරමින් සිටියේය. එහෙත් මේ චණ්ඩි පොලිස්කාරයා රාජකාරි භාරගත් දින සිට පොලිස් නීතිය ක‍්‍රියාත්මක කිරීමේ බලය සම්පූර්ණයෙන් ම ඔහු අතට ගත්තේය. ඉතාම සාධාරණව ජාවාරමක් දෙකක් කරගෙන ගිය අහිංසක ව්‍යාපාරිකයන්ට ඉන් බඬේ පහර වැදුණේය. වෙන්නප්පුවේ දංකොටුවේ පොලිසි සමඟ දේශපාලනඥයන් පවත්වාගෙන ගිය සුහදශීලීභාවය මිත‍්‍රත්වය එතැන් සිට අවසන් වන්නට පටන් ගත්තේය.
 
 සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා වෙන්නප්පුව, දංකොටුව පොලිස් බල ප‍්‍රදේශවල රාජකාරි භාරගත්තේ යහපාලන ආණ්ඩුවේ අවසන් අදියර ක‍්‍රියාත්මක වෙමින් තිබූ කාල සීමාවේය. පොලිසියත්, ප‍්‍රදේශයේ දේශාපාලනඥයන් සහ ජාවාරම්කාරයන් අතර පැවැති අන්‍යොන්‍ය බැඳීම, මිත‍්‍රශීලීභාවය එරික් පෙරේරාගේ ආගමනය සමඟ බිඳී ගියේය. පොලිසිය නැවත නීතිය ක‍්‍රියාත්මක කිරීමේ බලය සියතට ගත්හ. මේ කාල වකවානුව වනවිට එක්සත් ජාතික පක්‍ෂයෙන් වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාව නියෝජනය කළ බොහොම සුන්දර රූමත් මන්ත‍්‍රීවරියක් පත්ව සිටියාය. අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් ඇය හැම විටම නැඟී සිටියාය. ඇගේ පියා ස්වයං රැකියාවක් ලෙස කරගෙන ගියේ කසිප්පු ජාවාරමය. තම දේශපාලන බලය පාවිච්චි කළ මේ සුන්දර මන්තී‍්‍රවරිය නිතර ගමන් බිමන් ගියේ යතුරුපැදියෙන්ය. ඇය කොයිතරම් උසස් අන්දමින් පොලිස් නීතිය ගරු කළේද යත් කිසි දිනක හෙල්මට් එකක් පැළඳ ගියේ නැත. යතුරුපැදිය ධාවනයට බලපත‍්‍රයක් හෝ රියැදුරු බලපත‍්‍රයක් ලබාගෙන තිබුණේ නැත. එරික් පෙරේරාගේ ආගමනයෙන් පසු පොලිස් නිලධාරින් පාරට බැස්සේය. නීතිය ක‍්‍රියාත්මක කිරීමේ බලය ඔවුහු සියතට ගෙන සිටියහ.
 
erik4 දිනක් මේ සුන්දර මන්ත‍්‍රීවරිය පොලිස් නිලධාරින්ගේ ග‍්‍රහණයට නතු වූවාය. යතුරුපැදියේ ගමන් ගත් මන්ත‍්‍රීවරියට හෙල්මට් තිබුණේ නැත. ලයිසන් එකක් ද නැත. ඇය පොලිස් නිලධාරීන් සමඟ සටනට පිවිසියාය. පොලිස් නිලධාරින්ට අමු තිත්ත කුණුහරුපයෙන් බැන වැදුණාය.
 
 දීර්ඝ කාලයක් තිස්සේ තමන්ට වෙන්නප්පුවේ තිබූ නිදහස අහිමි කිරීම ගැන ඇය සිටියේ දැඩි වෛරයෙන් යුතුවය. අවසානයේදී පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් මේ ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරිය අධිකරණය වෙත ඉදිරිපත් කර බන්ධනාගාරගත කරන තැනට පත් කිරීමට සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ඇතුළු නිලධාරීන් කටයුතු කළහ. යහපාලන රජය පරාජයට පත්වීමෙන් පසු වර්තමාන රජය බලයට පත් වුණේය. එතැන් සිට කඳබඩ මහත අහිංසක රාජ්‍ය ඇමැතිවරයා වෙන්නප්පුවේ සහ දංකොටුවේ පොලිස් බලතල තමන් වෙත ලබා ගන්නට උත්සාහ කළේය. එහෙත් චණ්ඩි පොලිස්කාරයාගෙන් රාජ්‍ය ඇමැතිවරයාට ඒ සඳහා අවස්ථාව ලැබුණේ නැත. එරික් පෙරේරා සිදුකරන මේ අසාධාරණය හමුවේ සටන් කිරීමට රාජ්‍ය ඇමැතිවරයා ප‍්‍රමුඛ ඔහුගේ ගෝලබාලයන් ඉදිරිපත් වන්නේ එතැන් සිටය. මේ ගැටුමේ මුල්ම සිද්ධිය වාර්තා වුණේ ඉකුත් 2020 වර්ෂයේ මුල් කාර්තුවේදී ය. ඔස්කා යැයි කියා ගන්නා ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරයකු වෙන්නප්පුව උල්හිටියාව ප‍්‍රදේශයේ පදිංචිව සිටියේය. මේ දේශපාලනඥයා ඉතාම අවංක හොඳ ගති ගුණ ඇති ආදර්ශවත් පියකු ලෙස ප‍්‍රසිද්ධය. මේ දේශපාලනඥයාගේ එක් පුත‍්‍රයකු ජීවත් වීම සඳහා පුංචියට හෙරොයින් ව්‍යාපාරයක් කරගෙන ගියේය. වෙන්නප්පුවේ ජීවිත්වන තරුණයන් වෙනුවෙන් කිසියම් සහනයක් සඳහා මොහු හෙරොයින් බෙදාහැරියේය. සැබැවින් ම ඔවුන් එය කළේ සමාජ සත්කාරයක් ලෙස සිතමින් ය.
 
 දිනක් මේ ප‍්‍රාදේශීය දේශපාලනඥයාගේ පුත‍්‍රයා පොලිසියට කොටුවුණේ හෙරොයින් තොගයක් ද සමඟය. චණ්ඩි පොලිස්කාරයාගේ නියෝග මත පොලිසිය තදින් නීතිය ක‍්‍රියාත්මක කරන්නට කටයුතු කරමින් සිටියහ.
 

 මේ සිද්ධිය සැලවීමත් සමඟම කඳබඩ මහත රාජ්‍ය ඇමැතිවරයාගේ හදවත වෙඬරුපිඬක් මෙන් උණුවන්නට පටන් ගත්තේය. ඔහු සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරාට දුරකථනයෙන් කතා කළේය.
 
 ඔය අල්ලාගෙන ඉන්නේ අපේ අහිංසක කොල්ලෙක්. අනික එයාගෙ තාත්තා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක්. ඒ මිනිස්සු වැදගත් විදිහට ජීවත්වෙන අය. ඔය කොල්ලව එළියට දාන්න. නැත්නම් දන්නවනෙ ප‍්‍රශ්න ඇතිවෙයි.
 
 ඉතාම සාධාරණ කුඩු ව්‍යාපාරය කරගෙන ගිය ප‍්‍රාදේශීය දේශපාලනඥයාගේ පුත‍්‍රයාට සිදු වූ අසාධාරණය වෙනුවෙන් රාජ්‍ය ඇමැතිවරයා පෙනී සිටියේය.
 
 ‘‘ඒක කරන්න බැහැ සර්…. මේ මනුස්සය තමයි මුළු පළාතටම කුඩු බෙදන්නේ. යුනිෆෝම් එකක් ඇඳගෙන මට ඒ වැඬේ කරන්න බැහැ.’’ එරික් පෙරේරා රාජ්‍ය ඇමැතිවරයාගේ නියෝගය පිළිගත්තේ නැත. ජනතා ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් පුත්තලමේ අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී සිටින මේ කෘතහස්ත දේශපාලනඥයාගේ නියෝගවලට කන් නොදුන් දඩබ්බර පොලිස්කාකරයා ප‍්‍රාදේශීය දේශපාලනඥයාගේ පුත‍්‍රයා බන්ධනාගාරගත කිරීමට කටයුතු කළේය. අදටත් ඒ අහිංසකයා සිටින්නේ බන්ධනාගාරයේ ය.
 
 පොලිසිය සහ වෙන්නප්පුවේ දේශපාලන අධිකාරිය අතර පැවැති මිත‍්‍රශීලීභාවය ඇයිහොඳැයිය බිඳී යන්නේ මේ සිදුවීමෙන් පසුවය.
 
 නීති විරෝධී කසිප්පු ජාවාරම දංකොටුවට ආශිර්වාදයක් වී තිබුණේය. දංකොටුවේ බොහෝ ව්‍යාපාරිකයෝ ඉතාම සාධාරණ ලෙස මහා පරිමාණයෙන් කසිප්පු ජාවාරම කරගෙන ගියහ. රාජ්‍ය ඇමැතිවරයාගෙන් මේ සාධාරණ ව්‍යාපාරිකයන්ට ලැබුණේ පුදුමාකාර රැකවරණයකි. මේ නීති විරෝධී මත්පැන් ජාවාරම නතර කිරීමට පොලිසිය කිසිවිටෙකත් ඉදිරිපත් වුණේ නැත. දංකොටුව ප‍්‍රදේශයේ පමණක් ප‍්‍රධාන පෙළේ කසිප්පු ජාවාරම්කාරයන් පනහකට වැඩි පිරිසක් පොලිසියේ සහ දේශපාලනඥයන්ගේ ආශිර්වාදය ලබාගෙන මහා පරිමාණයෙන් සිය ව්‍යාපාරය කරගෙන ගියහ.
 
 එහෙත් වෙන්නප්පුවට අලූතින් පත් වී ආ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ඉතාම අසාධාරණ ආකාරයට මේ ස්වයං රැකියාවල නිරත වූ මහා පරිමාණ කසිප්පු ජාවාරම්කාරයන්ට පන්න පන්නා පහර දෙන්න පටන් ගත්තේය. වෙන්නප්පුව පොලිස් කොට්ඨාසයේ විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා දංකොටුව වෙන්නප්පුව ඇතුළු ප‍්‍රදේශ ගණනාවක දීර්ඝ කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් කරගෙන ගිය කසිප්පු ජාවාරම මර්දනය කිරීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක කිරීමට මේ චණ්ඩි පොලිස්කාරයා කටයුතු කළේය.
 
 එරික් පෙරේරාගේ ආගමනයත් සමඟ මේ සියල්ල කණපිට පෙරළුණේය. වෙන්නප්පුව ප‍්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා දිවි හිමියෙන් කටයුතු කරමින් සිටි ‘ ඕලූමරා’ සහ උගේ ගෝලයන් පොලිසියට කොටුවූහ. තම සුවච කීකරු ගෝලයා ඉතාම අසාධාරණ ආකාරයට අත්අඩංගුවට ගෙන ඇති බව දැනගත් රාජ්‍ය ඇමැතිවරයා දැඩි ලෙස කලබලයට පත් වුණේය. ‘‘ඒ. එස්. පී. මහත්තය ඔය කොල්ලා බොහොම අහිංසක එකෙක්. මගේ ඡුන්ද වැඩවලටත් නිතර උදව් කරනවා. ඌව එළියට දාන්න.’’
 
 රාජ්‍ය ඇමැතිවරයා තම අහිංසක සාධාරණ ඉල්ලීම ඉදිරිපත් කළේය. එහෙත් චණ්ඩි පොලිස්කාරයාගෙන් කිසිම සාධාරණයක් ඉටු වුණේ නැත. ඕලූමරා එරික් පෙරේරාගේ ස්ථාන මාරුව සිදුවන තුරු සිටියේ බන්ධනාගාරයේ ය.
 
 මේ ආකාරයට වෙන්නප්පුවේ දංකොටුවේ ව්‍යාපාර කරගෙන ගිය සිය ගණනක් අහිංසක ව්‍යාපාරිකයන් අල්ලා ඔවුන් බන්ධනාගාරගත කිරීමට එරික් පෙරේරා ප‍්‍රමුඛ පොලිස් නිලධාරීන් කටයුතු කරමින් සිටියහ. ඒ වනවිට දංකොටුවේ සහ වෙන්නප්පුවේ නීති විරෝධී මත්පැන් ව්‍යාපාරයට කණකොකා හඬමින් තිබුණේය. අහිංසක ව්‍යාපාරිකයන් දුක් මහන්සියෙන් උපයා ගත් රුපියල් කෝටි ගණනක ආදායම් මාර්ග වැසී ගොස් තිබිණි.
 
 වෙන්නප්පුව සහ දංකොටුව ප‍්‍රදේශවල පරිසර හිතකාමී ව්‍යාපාරිකයන් පිරිසක් දීර්ඝ කාලයක සිට වැලි සහ මැටි කැපීමේ ව්‍යාපාර ජයටම කරගෙන ගියහ. මේ ව්‍යාපාර සඳහා රාජ්‍ය ඇමතිවරයාගෙන් ද ව්‍යාපාරිකයන්ට ලැබුණේ නොමඳ සහායකි. ඒ මන්ද යත් මේ ව්‍යාපාරවලින් කොටසක් රාජ්‍ය ඇමැතිවරයාගේ දේශපාලන ප‍්‍රවර්ධන කටයුතු සඳහා වෙන්කර තිබීම නිසාය. පරිසර හිතකාමී ජාවාරම්කාරයන් හිතේ හැටියට වැලි, පස්, මැටි කැපීමේ ව්‍යාපාර කරගෙන ගියේ මේ දේශපාලන හයිය නිසාය. මේ පරිසර හිතකාමී ව්‍යාපාරිකයන් වැලි සහ මැටි කැපීමේ ව්‍යාපාරය එතෙක් කලක් කරගෙන ගියේ පොලිසිය සමඟ ඉතාම සුහදශීලීවය. මේ ව්‍යාපාර නීති විරෝධී ඒවා වුවද පොලිසිය ඇස්කන් පියාගෙන බලා සිටියේ එම ව්‍යාපාරවල කොටස්කරුවන් ලෙස ජනහිතකාමී දේශපාලනඥයන් සිටි නිසාය. සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මේ සියලූ ව්‍යාපාර මර්දනය කිරීමට කටයුතු කරන්න පටන් ගත්තේ් රාජ්‍ය ඇමැතිවරයාගේ දේශපාලන ප‍්‍රවර්ධන වැඩපිළිවෙළට ලැබෙන පුණ්‍යාධාර මුදල් ලැබීම් ද අවහිර කරමින්ය.
 
 දුප්පත් ජනතාව වෙනුවෙන් වැය කිරීම සඳහා ලැබෙන ආධාරමුදල් නොලැබී යෑම රාජ්‍ය ඇමැතිවරයාට දරාගත නොහැකි පාඩුවක් විය. තම පාක්‍ෂාකයන්ට එරෙහිව ඉතාම අසාධාරණ ආකාරයට කටයුතු කරන සහකාර පොලිස් අධිකාරිවරයා කෙරෙහි රාජ්‍ය ඇමැතිවරයා තුළ ඇති වී තිබූ වෛරය දිනෙන් දිනම උත්සන්න වෙමින් තිබුණේය.
 
 මේ අතර සුගත් නමැති මහත්මයකු ප‍්‍රාදේශීය දේශපාලනඥයකු වෙන්නප්පුව ප‍්‍රදේශයේ වාසය කළේය. කසිප්පු ව්‍යාපාරය මෙන්ම නොයෙකුත් නීති විරෝධී ක‍්‍රියාවල නිරත වී දැහැමිව මුදල් හරි හම්බ කළ සුගත් මහත්තයා එරික් පෙරේරාගේ විශේෂ ඒකකයට මහත් හිසරදයක් වූ මහත්මයෙකි. අතමිට හිඟ වූ අවස්ථාවල තුවක්කුවක් ද කරපින්නාගෙන ඇති හැකි අයගෙන් කප්පම් මුදලක් ඉල්ලා ගැනීම ද සුගත් මහත්තයාගේ තවත් ආදායම් මාර්ගයක් විය. සුගත් මහත්තයා ද අපේ ජනහිතකාමී රාජ්‍ය ඇමැතිවරයාගේ වන්දිබට්ටයෙකි. එරික් පෙරේරාව වහකදුරු වූ මේ සුගත් මහත්තයා අත්අඩංගුවට පත්වන්නේ නීති විරෝධී ක‍්‍රියා සම්බන්ධයෙන් ය. සුගත් මහත්තයා බේරා ගැනීමට රාජ්‍ය ඇමැතිවරයා නොගත් උත්සාහයක් නැත. එහෙත් එරික් පෙරේරා නමැති දඩබ්බර නිලධාරියාගෙන් කිසිම සහනයක් ලැබුණේ නැත. මේ අතර වෙන්නප්පුව දංකොටුව ප‍්‍රදේශයේ පාසල් යන දරුවන්ට ඇඟපත සම්බාහනය කර ගැනීම සඳහා ස්ථාපිත කර තිබූ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන 12 ක් වසා දැමීමට එරික් පෙරේරා කටයුතු කරන්නේ අධිකරණ නියෝගයක් ද ලබාගෙනය. වෙන්නප්පුවේ සහ දංකොටුවේ පාසල්වලින් දිගින් දිගට ලැබුණු පැමිණිලි නිසා මේ සම්බාහන මධ්‍යස්ථාන වසා දැමූ බව පසුව හෙළිවිය. පාසල් යන දරුවන්ගේ යහපත වෙනුවෙන් තිබූ සම්බාහනව මධ්‍යස්ථාන වසා දැමීමෙන් මසාජ් මුදලාලිලා සල්ලං වූහ. වෙන්නප්පුවේ දංකොටුවේ බුද්ධිමත් විනීති
 
 නීතිගරුක දේශපාලනඥයන් මෙන්ම දැහැමිව කසිප්පු ගංජා කුඩු ව්‍යාපාර කළ මහත්වරුන් අතේ තිබූ නීතිය එරික් පෙරේරා ප‍්‍රමුඛ පොලිස් නිලධාරීන් අතට පත්වෙමින් තිබුණේය. බලය අහිමිවීම අපේ රාජ්‍ය ඇමැතිවරයාට දරාගත නොහැකි කටයුත්තක් බවට පත්වෙමින් තිබුණේය. එරික් පෙරේරා කෙරෙහි පැවැති වෛරය බෝම්බයක් බවට පත්ව පුපරා යෑමේ ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ මීට සති කිහිපයකට උඩදීය. සද්ගුණවත් නිහාල් මහතා දංකොටුවේ කෝටිපති ව්‍යාපාරිකයෙකි. දීර්ඝ කාලයක සිට ඔහු සිය නිවහන මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් ලෙස පවත්වාගෙන ගියේය. අපේ රාජ්‍ය ඇමැතිවරයාගේ කල්‍යාණ මිත‍්‍රයකු වූ මේ සාධාරණ ව්‍යාපාරිකයා ඔහුගේ දේශපාලන ඕනෑ එපාකම්වලට අත දිගහැර මුදල් වියදම් කළේය. දීර්ඝ කාලයක සිට ඉතාම සාධාරණව නිවහනේම ස්වයං රැකියාවක් ලෙස කරගෙන ගිය කසිප්පු ව්‍යාපාරයට පොලිසිය බාධා කළහ. එහෙත් එරික් පෙරේරාගේ අණින් මේ අහිංසකයාගේ ව්‍යාපාරික ස්ථානයට හිටි හැටියේම පොලිස් කණ්ඩායමක් කඩා වැදුණාය. මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් වූ නිවස තුළ තිබී මත්පැන් විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් නිලධාරින් සමත් වූහ. සද්ගුණවත් දානපති නිහාල් මහත්තයාගේ කසිප්පු තිප්පොළ වැටලූ පුවත ඒ වනවිට ජනහිතකාමී රාජ්‍ය ඇමැතිවරයාගේ ද කන වැකී තිබුණේය. නිහාල්ට සිදු වී ඇති අසාධාරණයට එරෙහිව ක‍්‍රියාත්මක වීමට රාජ්‍ය ඇමැතිවරයා ඒ මොහොතේම කටයුතු කළේය. ප‍්‍රදේශය භාර උසස් නිලධාරීන් කීපදෙනෙකුටම ඔහු කතා කළේය. අන්තිමේදී වැටලීමට සම්බන්ධ වී සිටි නිලධාරීන්ට පවා රාජ්‍ය ඇමැතිවරයා දුරකථනයෙන් කතා කළේ අහිංසක නිහාල් මුදාහරින ලෙස කාරුණිකව ඉල්ලා සිටීමටය. එහෙත් නීතිය තම දේවකාරිය යැයි සිතා සිටි පොලිස් නිලධාරීන් මේ ජනතා පුත‍්‍රයාගේ දුරකථන ඇමතුම ලබා ගත්තේ නැත. දානපති නිහාල් මහත්තයා පොලිසියට කුදලාගෙන ගියේය. නිහාල් මහත්තයා තමන්ට සිදු වූ අසාධාරණය හමුවේ නිහඬව සිටියේ නැත.
 
  ‘‘උඹලා මාව අරන් ගියා. පැයක් යන්න ඉස්සර මං එළියට එනවා. දැන් ඇමැතිතුමා එයි මාව නිදහස් කරගන්න. අපි මේ ව්‍යාපාර කරන්නේ අද ඊයේ ඉඳලා නොවෙයි. අපිට පොලිසිය කවදාවත් මෙහෙම සැලකුවේ නැහැ.’’
 
 නිහාල් මහත්තයා පොලිස් නිලධාරීන්ට සත්‍ය වටහා දීමට උත්සාහ ගත්තේය. එහෙත් මනුස්සකමක් නැති නිලධාරීන්ට ඒ ආයාචනාවලින් ඵලක් නොවීය.
 
 නිහාල්ට සිදු වූ අසාධාරණය හමුවේ දැඩි චිත්ත පීඩාවට පත්ව සිටි රාජ්‍ය ඇමැතිවරයා චණ්ඩි පොලිස්කාරයාට දුරකථනයෙන් කතා කළේ මේ ප‍්‍රශ්නය ගොඩින් බේරා ගැනීමටය. එහෙත් ජනතා පුත‍්‍රයාගේ ආයාචනයට කන්දීමට චණ්ඩි පොලිස්කාරයා දුරකථනයට ආවේ නැත. අවසානයේ මේ ප‍්‍රශ්නය වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු දක්වා දුරදිග ගියේය. ජ්‍යෙෂ්ඨ නිලධාරියා එරික් පෙරේරාට දුරකථනයෙන් කථා කළේය.
 
 ‘‘එරික් ඔය දේශපාලනඥයෝ එක්ක අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිකර ගන්න එපා. ඔන්න ඔය මනුස්සයා අතහැරලා දානවා. නැත්නම් ඔයාට ලොකු ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. උසස් නිලධාරියා එරික් පෙරේරාට අවවාද කළේය. එහෙත් මේ දඩබ්බර පොලිස් නිලධාරියා තම ස්ථාවරයේම සිටියේය.
 
 ‘‘සර් නිල ඇඳුමක් ඇඳගෙන මේවගේ තුට්ටු දෙකේ කසිප්පුකාරයකුට පරදින්න බැහැ. එහෙම වෙනවානම් මේ නිල ඇඳුම දාල යන එක හොඳයි. සර් තරහා වෙන්න එපා මම යුනිෆෝම් එක ගැලවුණත් මේ වැඬේ කරනවා.’’
 
 උසස් නිලධාරියාගේ ඉල්ලීම ඉවත දැමූ සහකාර පොලිස් අධිකාරිවරයා සද්ගුණවත් නිහාල් මහත්තයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළේය. මේ අසාධාරණ ක‍්‍රියාව නිසා රාජ්‍ය ඇමැතිවරයා දැඩි ලෙස කෝපයට පත්ව සිටියේය. රාජ්‍ය ඇමැතිවරයාගේ කෝපය සාධාරණය. මීළඟ මැතිවරණයේදී ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන්නට සිටින්නේ මේ සාධාරණ ව්‍යාපාරික මහතුන්ය. ඔවුන් ඉවක් බවක් නොමැතිව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම මොන තරම් අසාධාරණ ක‍්‍රියාවක් ද?
 
 පසුගිය දිනක දංකොටුවේ කසිප්පු මුදලාලිලා 27 දෙනකුගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡුාවක් රාජ්‍ය ආයතනයක පැවතුණේය. මේ සාකච්ඡුාවට අපේ ජනහිතකාමී රාජ්‍ය ඇමැතිතුමන් ද සහභාගි වී සිටියේය.
 
 මේ සාකච්ඡුාව සඳහා දඩබ්බර පොලිස්කාරයාට ද ආරාධනයක් ලැබී තිබුණේය. එහෙත් ජනතාවාදී දේශපාලනඥයා සහ දංකොටුවේ සාධාරණ ව්‍යාපාර කරන දානපතියන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමට මේ දඩබ්බර පොලිස්කාරයා සහභාගි වුණේ නැත. මේ සාකච්ඡුාවේදී පොලිසියේ ක‍්‍රියාකලාපයට එරෙහිව විශාල සටනක් කිරීමට මේ සද්ගුණවත් ව්‍යාපාරිකයන් සහ ජනහිතකාමී රාජ්‍ය ඇමැතිවරයා සූදානමින් සිටියහ. රැස්වීමෙන් අනතුරුව දංකොටුවේ ව්‍යාපාරික ප‍්‍රජාව රාජ්‍ය ඇමැතිවරයාගේ සුවිසල් නිවස වෙත එක්රැස් වූහ. ඔවුන් එකහඬන් කියා සිටියේ තමන් සිදුකරන සාධාරණ ව්‍යාපාරවලට අකුල් හෙළන සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා පන්නා දමා වැටලීම් ඒකකය ද විසුරුවා හැරියයුතු බවය. ව්‍යාපාරිකයන්ගේ සාධාරණ ඉල්ලීමට ජනතා පුත‍්‍රයා ද කන් දුන්නේය. ඔහු රජයේ උසස් දේශපාලනඥයන් කීපදෙනෙකු පසුපස වැද වැටෙමින් ගොස් පොලිසිය සිදුකරන මේ අසාධාරණ වැටලීම් මෙහෙයුම් අත්අඩංගුවට ගැනීම් නතර කරදෙන ලෙස ඉල්ලා සිටියේය.
 
 වැඩි දවසක් ගත වුණේ නැත. කසිප්පුකාරයන්ට, කුඩුකාරයන්ට යුක්තිය ඉෂ්ට වුණේය. දංකොටුවේ වෙන්නප්පුවේ සාධාරණ ව්‍යාපාර කරගෙන ගිය මුදලාලිලා තම සටන ජයග‍්‍රහණය කළහ. සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා වහාම ක‍්‍රියාත්මක වන පරිදි කොළඹට මාරු කර යවා තිබුණේය. සහකාර පොලිස් අධිකාරිවරයා යටතේ තිබූ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් හතර අතට මාරුකර යවනු ලැබුවේ වෙන්නප්පුව, දංකොටුව, කොස්වත්ත ප‍්‍රදේශ නැවත කසිප්පුකාරයන්ට කුඩුකාරයන්ට පාතාල මැරයන්ට පූර්ණ නිදහස භුක්ති විඳීමට ඉඩ සලසා දෙමින් ය. වෙන්නප්පුවේ වධකාගාරයක් පවත්වා ගෙන ගිය ‘ ඕලූමරා’ නමැති පාතාල මැරයා වසරකුත් මාස 2 ක්  බන්ධනාගාරයට වී සිටියේ එරික් පෙරේරාට බියෙන් ය. ඇප ලබා දුන්න ද ඔහු ඇප ලබාගෙන වෙන්නප්පුවට ආවේ නැත. බන්ධනාගාරය ආරක්‍ෂිත නිසා ඔහු එහි සිටියේය. එරික් මාරුකර යවා පැය 48 ක් ගත වන්නටත් පෙර ඕලූමරා ඇප ලබාගෙන වෙන්නප්පුවට ආවේය. හෙට දිනයේ සිට ඕලූමරා නැවත වැඩ පටන් ගනු ඇත.
 
 සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ කථාව 1994 වර්ෂයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස පොලිස් විශේෂ කාර්ය බළකායට එක් වූ එරික් පෙරේරා නැෙඟනහිර පළාත කොටි ත‍්‍රස්තයන්ගෙන් බේරා ගැනීමට සිය ජීවිතය පරදුවට තබමින් සටන් කළ දක්‍ෂ නිලධාරියෙකි.
 
 මඩකලපුව, පොතුවිල්, අම්පාර, අක්කරේපත්තුව, කඳවුරුවල රාජකාරි කළ ඔහු ත‍්‍රස්තවාදීන් එල්ල කළ දරුණු සටන් ගණනාවකට සාර්ථකව මුහුණ දී ඒ සටන් ජයග‍්‍රහණය කර පොලිස් විශේෂ කාර්ය බළකායේ ඉතිහාසයට එක් වූ රණ ශූරයෙකි. එරික් පෙරේරා කාංචනකුඩා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත්වන්නේ 2001 වර්ෂයේදී ය. ඒ වනවිට කොටි ත‍්‍රස්තවාදීන් සහ එවකට පැවැති එක්සත් ජාතික පක්‍ෂ රජය අතර ඊනියා සටන් විරාමයක් ක‍්‍රියාත්මක වෙමින් තිබුණේය. නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීමෙන් රජය සහ ත‍්‍රස්තවාදීන් අතර සාම සාකච්ඡුා ආරම්භ වීමට සියලූ කටයුතු සූදානම්කර තිබුණේය. සටන් විරාමයට මුවා වී කොටි ත‍්‍රස්තවාදීන් නැෙඟනහිර පළාත පුරා සිය කඳවුරු ඉදිකිරීම, බංකර් සැකසීම ඇතුළු සියලූ කටයුතු ප‍්‍රසිද්ධියේම කරගෙන ගියහ.
 
 කොටි ත‍්‍රස්තවාදීන් බංකර් සෑදීම සඳහා සිමෙන්ති, වැලි ඇතුළු අමුද්‍රව්‍ය රැගෙන ගියේ කාංචනකුඩා විශේෂ කාර්ය බළකා කඳවුර පසුකරගෙනය. රටේ නීතියක් ක‍්‍රියාත්මක වුවද ත‍්‍රස්තවාදීන්ට ඒ නීතිය බලපෑවේ නැත.
 
 ඒ වනවිට ඊනියා සටන් විරාම ගිවිසුම අපේ ආරක්‍ෂක හමුදාවන් බල්ලා මාර්ක් තත්ත්වයට පත්කර තිබුණේය. කාංචනකුඩා කඳවුර ඉදිරිපිටින් ට‍්‍රැක්ටර්, ලොරි ඇතුළු වාහනවල බඩු පටවාගෙන යන ත‍්‍රස්තවාදීන් එම කඳවුරේ ආරක්‍ෂාවට සිටි වීරෝධාර විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ගල්මුල්වලින් පහරදීම, උසුළු විසුළු කිරීම, සරම උස්සා පස්සා පැත්ත පෙන්වීම වැනි ඉතාම පහත් නොහොඹිනා වැඩ කරන්න පටන් ගත්හ. ඒ වනවිට පොලිස් පරීක්‍ෂකවරයකු වූ එරික් පෙරේරාට ත‍්‍රස්තවාදීන් එල්ල කරන මේ තුට්ටු දෙකේ ක‍්‍රියාවන් රිස්සුවේ නැත. තම ජීවිතයට වඩා රාජකාරි නිල ඇඳුමට ආදරය කළ එරික් පෙරේරා අවස්ථා කිහිපයකදීම ත‍්‍රස්ත නායකයන් සමඟ වාග් සංග‍්‍රාමයක පැටලූණේය. ඒ වනවිට කොටි සංවිධානයේ ප‍්‍රබලම නායකයන්ව සිටි රේගන්, කෙනඩි, රාමන් ඇතුළු ත‍්‍රස්ත නායකයන් කිපදෙනෙකු සමඟම එරික් පෙර්රා ගැටුම් ඇතිකර ගත්තේය. මේ ගැටුම්වල ප‍්‍රතිඵලයක් ලෙස 2002 වර්ෂයේ එක් දිනක රේගන්, කෙනඩි ප‍්‍රමුඛ කොටි ත‍්‍රස්තයන් සිය ගණනක් සාමාන්‍ය ජනතාව ද පෙරටු කරගෙන කාංචනකුඩා විශේෂ කාර්ය බළකා කඳවුර වටකළහ. ඒ වනවිට රජය සහ ත‍්‍රස්තවාදීන් අතර සාකච්ඡුා ආරම්භ වීමට ඉතිරිව තිබුණේ දින කිහිපයකි. කඳවුර වටකළ ත‍්‍රස්තවාදීන් මේක අපේ භූමිය, උඹලා මේක අතහැරලා පලයල්ලා යැයි කියමින් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්හ.
 
 ඒ වනවිට එරික් පෙරේරා සමඟ කාංචනකුඩා කඳවුරේ සිටියේ නිලධාරීන් 40 කටත් අඩු පිරිසකි. ත‍්‍රස්තවාදීන්ට යටත් වී කඳවුර අතහැර යෑම කෙසේවත් කළ නොහැක. ආයුධ සන්නද්ධව සිටි කොටි ත‍්‍රස්තවාදීන් තවත් නොබෝ වේලාවකින් ක‍්‍රියාත්මක වන බව එරික් පෙරේරා හොඳාකාරවම දැන සිටියේය.
 
 පොලිස් පරීක්‍ෂක එරික් පෙරේරා කොටි නායක කෙනඩි අසලට යන්නේ මේ ප‍්‍රශ්නය ගොඩින් බේරාගෙන සටනක් ඇති වීම නතර කර ගැනීම සඳහා ය. එහෙත් ත‍්‍රස්තයන්ගෙන් එල්ල වුණේ දැඩි විරෝධයකි. කෙනඩි ප‍්‍රමුඛ ත‍්‍රස්තවාදීන් එරික් පෙරේරාට පහරදීමට සූදානම් වූහ.
 
 ප‍්‍රශ්නයක් ඇති නොකර කඳවුර අසලින් ඉවත් වන ලෙස එරික් කෙනඩි ඇතුළු ත‍්‍රස්තයන්ට නියෝග කළේය.
 
 එහෙත් ත‍්‍රස්තවාදීන් ඊට කන් දුන්නේ නැත. ත‍්‍රස්තවාදීන් අත තිබූ අවි ක‍්‍රියාත්මක කිරීමට සූදානම් වූහ.
 
 ඒ සැනින් ක‍්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කඳවුර වටකරගෙන සිටි සන්නද්ධ ත‍්‍රස්තයන්ට එලව එලවා පහර දුන්හ. පැයකට ආසන්න කාලයක් තිස්සේ පැවැති ගැටුම අහවර වුණේය. ඒ වනවිට කොටි ප‍්‍රාදේශීය නායක කෙනඩි ඇතුළු ත‍්‍රස්තයන් අට දෙනෙක් අවසන් ගමන් ගොස් සිටියහ. කාංචනකුඩා සිද්ධිය මුළු රටම ගිනි ගැනීමට වැඩි වේලාවක් ගත වී තිබුණේ නැත. නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීමෙන් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡුා එතැනින් නතර වන තත්ත්වයක් උද්ගත වෙමින් තිබුණේය.
 
සාම සාකච්ඡුාවලට බාධා කිරීමේ චෝදනාව පොලිස් පරීක්‍ෂක එරික් පෙරේරා ප‍්‍රමුඛ කාංචනකුඩා කඳවුරේ නිලධාරීන් වෙත එල්ල වී තිබිණ. ඒ චෝදනාව සුළුපටු එකක් නොවීය. එවකට එක්සත් ජාතික පක්‍ෂ රජය එරික් පෙරේරා ඇතුළු නිලධාරීන්ට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නට වූහ.
 
 කොළඹින් ගිය යුද හමුදා කමාන්ඩෝ බළකායේ නිලධාරීන් පිරිසක් පොලිස් පරීක්‍ෂක එරික් පෙරේරා ඇතුළු නිලධාරීන් කඳවුර භූමියේම සිරගත කළහ. කොටි ත‍්‍රස්තවාදීන් ඝාතනය කර සාම සාකච්ඡුාවලට බාධා කිරීමට කටයුතු කළ බවට චෝදනා කරමින් එරික් පෙරේරා ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට රජය කටයුතු කරමින් සිටියහ. දින 10කට ආසන් කාලයක් තිස්සේ කාංචනකුඩා කඳවුරේ සිරකරගෙන සිටි එරික් ප‍්‍රමුඛ නිලධාරීන්ට හරිහැටි කෑමක් බීමක් පවා ලබා නොදීමට එවකට රජය කටයුතු කළේය.
 
 ආහාර හිඟය නිසා කඳවුරේ සිටි නිලධාරීන්ට කඳවුර මැදින් ගලා බසින ඇළේ සිටි ඉබ්බන් පවා මරා ගෙන උන් ආහාරයට ගැනීමට සිදුව තිබුණේය.
 
 පසුව එරික් පෙරේරා ඇතුළු නිලධාරීන් ගුවන් මගින් කොළඹට රැගෙන ආහ. අධිකරණයේ පැවැති නඩු විභාගයකින් අනතුරුව මේ නිලධාරීන් පිරිස ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.
 
 නීතිගරුක පුරවැසියන් බලාපොරොත්තු වූ කිසිවක් සිදු නොවන්නේය. කසිප්පුකාරයන්ගේ කුඩුකාරයන්ගේ පාතාල මැරයන්ගේ ඔඩොක්කුවට වැටී උන්ට රැකවරණය ලබා දෙන්නේ රජයේ ඇතැම් දේශපාලනඥයන් වීම මොනතරම් පිළිකුල් සහගතද? ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කෙරෙහි නීතිගරුක පුරවැසින් තුළ තවමත් ඇත්තේ කිසියම් ගෞරවයකි. මෙවැනි නන්නත්තාර වූ දේශපාලනඥයන්ට පස්සා පැත්තට ගසා පන්නා දැමීමේ හැකියාවක් ඇත්නම් ඒ හැකියාව ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පමණි. වර්තමාන රජයේ කීර්තිනාමය දිනෙන් දිනම පිරිහෙමින් පවතී. එසේ රජය පිරිහී යෑමට මූලික හේතුව වන්නේ මෙවැනි කාලකණ්ණි දේශපාලනඥයන් නිසා බව පුන පුනා පැවසිය යුතු නැත. එසේ නම් මෙවැනි පාදඩ දේශපාලනඥයන් පන්නා දමා ආණ්ඩුව යහමඟට ගැනීමට ජනාධිපතිවරයාට තවමත් කාලය ඉතිරිව ඇත. හැටනව ලක්‍ෂයක් ජනතාව ඒ දෙස තවමත් දෑස් දල්වාගෙන බලා සිටිති. එරික් පෙරේරාට එරෙහිව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා පවසයි. අපේ රටේ දේශපාලනයට ඕනෑම දෙයක් කළ හැකිය. දිව හැරෙන හැරෙන පැත්තට කතාකළ හැකි ක‍්‍රියා කළ හැකි දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් මේ රජය තුළ බහුලව සිටින බව නොරහසකි. එරික් පෙරේරා ගැන විමර්ශනයට පත් කළ නිලධාරීන් මුලින්ම කළ යුත්තේ වෙන්නප්පුව, දංකොටුව, කොස්වත්ත ප‍්‍රදේශවල ආගමික මධ්‍යස්ථානවල නායකයන්ගෙන්, පාසල්වල විදුහල්පතිවරුන්ගෙන්, නීතිගරුක සිවිල් සංවිධානවලින් සහ නීතිගරුක පුරවැසියන්ගෙන් මේ නිලධාරියා කුමන ආකාරයේ පුද්ගලයකුදැයි කටඋත්තර ගැනීමය. එසේ නොමැතිව මේ ප‍්‍රදේශවල ජාවාරම්කාරයන්ගෙන් දූෂිත පොලිස් නිලධාරින්ගෙන් දේශපාලන බත්බැලයන්ගෙන් මෙන්ම අසූචි භුක්ති විඳිමින් සුර සැප විඳින පාදඩ දේශපාලනඥයන්ගෙන් කරුණු විමසා බලා වාර්තා සකස් කිරීම හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වැනි කාර්යයක් වනු ඇත.
 
 සත්‍ය හෙළිවන තුරු එරික් පෙරේරාට සාධාරණයක් ඉටුවන තුරු මුළු රටම බලා සිටින බව වහවහා දේශපාලනඥයන් දැන ගත යුතුව තිබේ.
 

Protected by Security by CleanTalk