Spread the News

p1 22 3

Divaina : මාධ්‍යවේදියකු පැහැරගෙන ගිය බවට ව්‍යාජ සිද්ධියක් නිර්මාණය කර රජය අපහසුතාවට පත් කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත‍්‍රයා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්න අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඊට චෝදනා එල්ල වී සිටින රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ඇමැති රාජිත සේනාරත්නට සහ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්නට දැනුම්දී තිබුණ ද ඔවුන් එහි පැමිණ සිටියේ නැත.

ප‍්‍රකාශ ලබාදීම සඳහා තමන් අද (22 දා) කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින බව රාජිත සහ චතුර යන අය දැනුම් දීමක් කර ඇති බව එම කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.

කොළඹ ජාතික රෝහලේ පොලිස් ඒකකය වෙත ඉකුත් මාර්තු 10 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් නිදහස් මාධ්‍යවේදියකු වන 62 හැවිරිදි සුජීව ගමගේ නමැත්තා කියා සිටියේ නාඳුනන පිිරිසක් තමන් පැහැරගෙන ගොස් පහරදී විවිධ හිංසා කළ බවයි.

තමා සතුව ඇති සිම් කාඞ් පතක් සහ ලියැකියවිලි කීපයක් ඉල්ලා මෙම පිරිස තමාට පහරදී පුළුස්සා දැමූ බවද ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි මාධ්‍යවේදියා පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විපක්‍ෂයේ දේශපාලනඥයන් රැුසක් රජයට දැඩි චෝදනා එල්ල කර තිබිණි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් කොළඹ අපරධ කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලදී.

එහිදී අනාවරණය වූයේ මෙම මාධ්‍යවේදියා සිදුකළ පැමිණිල්ල ව්‍යාජ එකක් බවයි. මොහු පැහැරගත් බවට කර ඇත්තේ ව්‍යාජ නිර්මාණයක් බවද විමර්ශනවලින් හෙළි විය.

පැහැර ගැනීම සිදුවූ බව කියන දින දහවල් සුජීව ගමගේ නමැත්තා තිඹිරිගස්යායේ පිහිටි චතුර සේනාරත්නගේ කාර්යාලය වෙත ගොස් ඇති බවද එහිදී මොහු චතුර සේනාරත්න සහ රාජිත සේනාරත්න හමුවූ බවද මේ වන විට හෙළිවී තිබේ. පසුව රාජිත සේනාරත්න මහතාගේ ආරක්‍ෂක නිලධාරියකු විසින් සුජීව ගමගේ යන අය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය සොයාගෙන ඇත.

ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාව මත සුජීව ගමගේ නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැර තිබිණි.

පොලිසිය පවසන්නේ මෙතෙක් කළ විමර්ශනවලට අදාළව මෙවැනි කිසිම ආකාරයක පැහැර ගැනීමක් පිළිබඳව තොරතුරක් හෙළිවී නොමැති බවයි.

මෙම ව්‍යාජ සිද්ධිය නිර්මාණය කිරීම සඳහා හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්න මහත්වරුන්ගේ සම්බන්ධයක් තිබෙන බවට ලැබී ඇති තොරතුරු මත ඉදිරි විමර්ශන කි‍්‍රයාත්මක කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ සුදුවෑන් සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වා සිදුකළ ව්‍යාජ සිද්ධියක් පිළිබඳවද හිටපු ඇමැති රාජිත සේනාරත්නට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

හේමන්ත රන්දුණු