Spread the News

රැට මතුවෙන අපාය

source:

සහනයෙන් අසහනය කරා පිය මැනීම සදහා දිරිදීමට සිත් ඇත්තෝ රාශියක් ලහි ලහියේ නොයෙක් මාධ්‍ය වැඩසටහන් සිංහල බෞද්ධයා හට ඉදිරිපත් කරමින් සිටී. සංඛ්‍යා ලේඛණාත්මක විග්‍රහාවලින් පිරුණු එම අපචාරාත්මක වැඩසටහන් වලට  නම්බු නාම දීමට, සම්මාන දීමට තෑගි භෝග ලබාදීමට නොයෙකුත් දෙස් විදෙස් ව්‍යාපාරිකයන් එකතු වී සිටිති.දුරාචාරය ඇති කිරීමට, දුරාචාරය මැඩපැවැත්වීමේ තේමා රැගෙනද, අපචාරය ඇති කිරීමට අපචාරය නැති කිරීමේ තේමා රැගෙන ද සිනමා චිත්‍රපට සිය ගණනින් බිහි වී ඇත. හොදින් හෝ නරකින් ලොව ඇති යහපත් සියල්ල විනාශ කිරීමේ අරමුණින් නිෂ්පාදිත ටෙලි නාට්‍ය, ගීත නිබන්ධන, චිත්‍රපට සම්භාව්‍ය යයි කියන විද්‍යුත් ටීකාවන් සකස් කරන්නන්ගේ අරමුණ වන්නේ වැඩි වැඩියෙන් සිංහල බෞද්ධකම කෙලෙසා සතුටක් ලැබීම නොවේද?

පුතාට, දුවට, මවට හා තාත්තාට එකට ඉද බැලිය නොහැකි නව නාඩගම් වලින් පිරුණු අසභ්‍ය හිදීම්, හිටීම්, ඇවිදීම් ඇති සිනමා නළු නිළියන් දැකීමෙන් අද අප සන්තාපයට පත්වී සිටිමු. නළුවෙකු හෝ නිළියෙකු විය යුත්තේ අපචාරය පැතිරීමට නොවේ. හුදෙක් සම්භාව්‍ය විද්‍යුත් කෘතින් (ටෙලි නාට්‍ය,චිත්‍රපට, ගීත එළිදක්වා මිනිසුන් හට යහපත් සංකල්ප දැරීමට දිරිදීමටය. එදා පැරණි සම්භාවනීය නළු නිළියන් කළේ රගපා පෙන්වීමය. තම දක්ෂතාවයන් ප්‍රදර්ශනය කිරීමය. නමුත් අද වන විට ජාතියේ අවාසනාවකට සමහර නළු නිළියන් පෙන්නලා රගපාති. මොවුන් ප්‍රදර්ශන කාමුකත්වයෙන් පෙළෙති. මේ උඩු යටිකුරු  වූ නිළි අර්ථය හුදෙක් තම අග පසග ජනයා හට ප්‍රරදර්ශනය කිරීමට  උත්සාහ කිරීමක් බව පැවසිය යුතුය.

දර්ශන  කාමුකත්වයෙන් හෝ ප්‍රදර්ශන කාමුකත්වයෙන් පෙළෙන නිෂ්පාදකවරුන් රාශියක් සිටිති. තම ළමා දිවිය නිසියාකාරව ගත නොකිරීම නිසා හෝ  යහපත් නොවන මානසිකත්වයෙන් පෙළෙන නිසා හෝ ළමා ළපටි, වැඩිහිටි කොයි කවුරුන් හෝ හැසිරිය යුතු සාමාන්‍ය පිළිවෙත (සදාචාරාත්මක ඇවතුම් පැවතුම්) වෙනස් කිරීමට දගලන්නෝ රාශියකි. නිරුවත ආදර්ශයක් කරගැනීමට හා හෙළුව තුළින් ලෝකය දිනිය හැකි යන සංකල්පද නළු  නිළි ලෝකය අති සුන්දර යන පුහු මතද දෛනිකව නිර්මාණය කිරීමට රූපලාවාන්‍ය ද්‍රව්‍ය වලට මුලාවී ඉහත කී පුද්ගලයන් කුමන්තරණයක යෙදෙති. නිළිය නාකි නොවී සිටීමට කල්පනා කරන අතර නළුවා වයස්ගත වීමත් සමග ස්වභාවයෙන් පිරිහෙන කාය ශක්තිය, දුර්වල බව සැගවීමට උත්සාහ කරයි. ආටෝප සාටෝපයන්ගෙන් පිරුණු චින්තන කරපින්නා ගැනීමෙන්ද ආදායම කෙසේ හෝ උපයා ගැනීමට මාන බැලීමෙන් ද වර්තමානයේදී ලෝකයේ නළු නිළියන් දහස් ගණනක් අනාථ වී සිටිති. (නිළියන් කාමාතුරයන් අතට පත් වී සිටී, නළුවන් විවාහ ජීවිතය කඩාකප්පල් කරගෙන සිටිති.)
නළුවෙකු හෝ නිළියක වීම (වෘත්තියමය වශයෙන්) ජීවිත යථාර්ථ සිද්ධි සඵල කර ගැනීමට බාධාවක් වේ නම් එය තම වෘත්තිය වුවද, අත්හල යුතුය. එසේ නොහැකි නම් කාමාතුරයන් අතට පත් නොවී තම පවුල කඩාකප්පල් කර නොගත් නළු නිළියන් දෙස හැරී බලා ඔවුන් ආදර්ශයක් කරගත යුතුය. ධනය තිබීමෙන්, බලය තිබීමෙන්, ප්‍රසිද්ධිය තිබීමෙන් සාක්ෂාත් කරගත නොහැකි ජීවිත යහසිද්ධි රාශියක් තිබේ. අලංකාරව පිරිසිදුව වාසය කළ යුත්තේ සමාජමය යුතුකමක් වශයෙනි. අනෙකාව වශි කර ගැනීමට අඩ නිරුවතින් වාසය කිරීම වනචාරීන් අතර පවා සිදුනොවූ කටයුත්තක් බව දැනගත යුතුය. බටහිරට යථාර්ථයක් වන බොහෝ ධර්ම අප හට (හෙළ බිමට)අශිලාචාර මුග්ධ ධර්ම වේ. කාමය වරදවා හැසිරීම, නිරුවතින් ප්‍රසිද්ධයේ ගමන් බිමන් යාම, සමලිංගික විවාහ යනු මනුෂ්‍යත්වය කෙලෙසෙනා උසස් ශිෂ්ඨාචාරයක් හිමි මානවයන් අගාධයට රැගෙන යන අධර්ම වේ. බටහිරයන් විසින් පවත්වනු ලබන ඉහත කී අධර්ම නිසා යුරෝපය හා ඇමරිකාවේ සිටින සමහර මිනිස් ජීවිත විනාශ වී ඇති අතර උසස් යැයි  කියා ගන්නා බොහෝ රටවල ළමා ළපටි වයසේ ගතවන දරු දැරියන් රාශියක් දෛනිකව දූෂණයට ලක්වේ. (ලිංගික අපචාර) සෑම පැයකදීම බිළින්දෙක් බිළින්දියක් ළමා ළපටියෙක් හෝ මහල්ලෙක් හෝ මැහැල්ලක් තම ජීවිතය තුළින් කාමාතුරයන්ට වන්දි ගෙවයි. බටහිර චින්තනය කරපින්නා ගත් වැසියන් අප රට තුළ වැඩිවෙමින් පවතින බැවින් ගණිකා නිවාස, ළමා අපචාර ස්ත්‍රී දූෂණ වැඩිවෙමින් පවතියි.

විච්චූරණ (අධික වර්ණ යොදා නිර්මාණය කළ) ඇදුම්  පැළදුම් ඇදීම තුලින් හා කිලෝ දෙකේ කරාබු පැළදීමෙන් හා තම කෙස් මරණ මොහොත වන තෙක් කළු බව ඔප්පු කිරීමට උත්සාහ කරන උස මහත නළු අර්ථය සමාජය නොමග යැවීමට බොහෝ සේ බලපායි. රූපවාහිනි (ටීවී චැනල්) අද ‘‘ කාමවාහිනී’‘ බවට පත් වී ඇත. මෝහිනී (අන්‍ය මිනිසුන් වශී කර ගන්නා අවතාරයක්) රජවී ඇති අතර කළු කුමාරයා (කාන්තාවන්ට ලොල් ඇති අවතාරයක්) මෝහිනි පස්සේ දුවමින් සිටියි. ඉංගිරීසි හෝඩියේ සෑම අකුරකින්ම පටන් ගන්නා  රූපවාහිනී (උදාහරණ A,B,C,D) ආයතන විශාල ප්‍රමාණයක් තිබේ. ගණිකාවියන්ගේ පුහු ජීවිත අර්ථවත් භාවයකින් යුක්ත ආඩම්බර ආඪ්‍ය, සැප මිසක දුක නැති බව අර්ථ ගැන්වීමට, ඉරෙන් පහලට පනිනා පොළොවෙන් හදට (උඩට) පනිනා නළු නිළියන් උත්සාහ ගනිති. සදාචාරයට ඉහලින්ම තැන දෙන අප රට තුළ නිරුවත ප්‍රසිද්ධයට පත් කිරීම තහනම් වුවත් එම  නීති රීති කඩා බිද දැමූ කෙටි වීඩියෝ දර්ශන ළමා ළපටින් කාගේත් නිවෙස් තුලට ලංවී ඇත. මෙය සිංහල බෞද්ධයන් වන  අප ලද අභාග්‍යයකි, ඛේදවාචකයකි, විනාශයකි. ශිෂ්ඨ සම්පන්නව විසීමට ලොව වෙනත් ජාතීන් අභිනවයෙන් (අළුතින්) උත්සාහ කරද්දී ශිෂ්ඨ සම්පන්නව විසූ අපි දිව යන්නේ කුමන සංස්කෘතියක් වැළද ගැනීමටද?

සුපර්මෑන්ලා, බැට්මන්ලා, හැරී පොටර්ලා, මිස්ට බීන්ලා වෙතින් සමාජයට වන අනතුරු අවම වන අතර කරුමයකට ලෝකල් සුපර්ස්ටාර්ලාගෙන් සමාජයට වෙන අනතුරු වැඩිවී තිබේ. දොරමඩලාව, පොහොය වැඩසටහන් අධ්‍යාපනික වැඩසටහන් පවත්වන අතර තවත් කණ්ඩායමක් මෝහිනිය හා කළුකුමාරයා රජ කරවමින් සිටී. පැය 24 ක කාලය තුල දිව්‍ය ලෝකය පහල වීමද (සාරධර්ම සහිත වැඩසටහන්) එය නිරුද්ධ වීමද, අපාය (මෝහිනී හා කළු කුමාර ලෝක) එනම් අසාර වූ සංකල්ප සහිත එදිනෙදා ජීවිතයේ  හැල හැප්පීම් වලට හා විවාහය කඩාකප්පල් වීම් වලට හා සමාජ ජීවිතය බිද වැටීම් වලට තුඩුදිය  හැකි පසුබිම රජවෙමින් පවතියි.ශිෂ්ඨාචාරයක් මුලූමනින්ම විනාශ කිරීමේ බලයක් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වලට තිබේ. එබැවින් ප්‍රවේසම් සහිතව අප කුමන හෝ මාධ්‍යයක් භාවිතා කළ යුතුය.  අප රට  විනාශ කිරීමට (හෙළ බොදු ශිෂ්ඨාචාරය) කැමැත්ත ඇති හතුරන් අවියක් වශයෙන් වැඩියෙන්ම ප්‍රයෝජනයට ගන්නේ සෑම නිවසකම පාහේ තිබෙනා රූපවාහිනි පෙට්ටියයි.

අනුන්ගේ සංස්කෘතික ගති පැවතුම් , සිරිත් විරිත් , ගීත, නාට්‍ය, ආදරය ප්‍රකාශ කිරීමේ සංකල්ප පුහු ආටෝපයන්ගෙන් බහුල ඒවාය. සරල ජීවන ක්‍රරමයක් සහිත සිංහලයාගේ චාරිත්ර වාරිත්ර සරල වන අතර ආදරය ප්‍රකාශ කිරීමද පුහු ආටෝප සාටෝපයන්ගෙන් තොරවේ.

එනිසා ‘නිර්මාණ’ යන හුදු සංකල්පය පෙරට දමාගෙන කරන මේ නාඩගම නැවැත්විය යුතුය. එය එසේ නොවන්නේ නම් ජනතාව හෝ එය ප්‍රතික්ෂේප කිරීම අත්‍යවශ්‍යව පවතී.

හොද හා නරක අතර වෙනස තෝරා ගැනීමට  කථාවක් දෙසට හැරෙමු….

දිනක් එක්තරා දෙවියෙකු මනුලොවට පැමිණ තරගයක් පැවැත්තුවේය. එහිදී මනුෂ්‍යයන්ට දිව්‍ය ලෝකයට යාමට හෝ අපායට යාමට තෝරා ගැනීම තරගයේ ස්වභාවය විය. කිනම් හෝ පුද්ගලයෙක් පරීක්ෂණ දෙකටම සහභාගි විය යුතු අතර අවසානයේ තම ගමනාන්තය තෝරාගත හැකි ය. ප්‍රථමයෙන් දිව්‍ය ලෝකයට යාමට පරීක්ෂණයට ලක් වූ මිනිසාට සහභාගී වීමට තිබූ වැඩසටහන් අතර දින ගණන් භාවනා කිරීමටද, පන්සිල් රැකීමටද වැඩිහිටියන් රැකබලා ගැනීමටද, මවට පියාට සැලකීමටද බුදුන් වහන්සේට ආමිෂ හා ප්‍රතිපත්ති පූජා කිරීමද විය. සතියක් පුරාවට තිබූ එම වැඩසටහන්  අවසානයේ අපායට යාමේ පරීක්ෂණය තිබුණි. එහිදී එක්වරම දොරකින් ඇතුල්වුන අතර ගීත ගයමින්, නටමින්, ගයමින්, විනෝද වෙමින් කෙටි ඇදුම් විලාසිතා වලින් සැරසී සිටිනා කැරො ඕකේ රැගුම්හල් තිබුණු අතර තාරුණ්‍යය අති උත්කර්ෂවත් ලෙස ගත කිරීමට අවශ්‍ය සෑම පහසුකමක්ම සලසා තිබුණි. දින හතක කාලසීමාවෙන් පසුව දෙවියන්ගේ පරීක්ෂණ දෙකටම මුහුණ දුන් මිනිසාගෙන් දෙවියන් අසා සිටියේ ‘ඔබ තෝරාගන්නේ දිව්‍ය ලෝකයද අපායද කියාය ?’ සිනාසුණු මිනිසා මහා සතුටකින් ඉපිලී යමින් දෙවියන් හට කියා සිටියේ ‘මොන පිස්සුද, මොන දිව්‍ය ලෝකයක්ද මම යන්නේ අපායට කියාය. නැවතත් දෙවියන් විසින් ඇසුවේ ඔබ  තෝරාගන්නේ කුමක්ද? කියාය. එවිට මිනිසා ‘‘ මම දැන් එක සැරයක් කිව්වනේ මම යන්නේ අපායට  කියලා.

දෙවියන් තුෂ්ණිම්භූතව බලා සිටි අතර ඉබේම අපායේ දොර විවෘත විය. සතුටින් ඉපිලී ඉපිලී සිටි මිනිසා දුවගෙන ගොස් දොර තුලින් ඇතුල් විය. (දොර වැසුණේය)නින්දෙන් පිබිදෙන්නාක් මෙන් සතුටින් වටපිට බැලූ ඔහු දුටුවේ මහලූ කාන්තාවන්, සැරයටියේ වාරුවෙන් එහා මෙහා ගමන් බිමන් යන මහල්ලන්, මැහැල්ලන් ජාති, ජරා, ව්‍යාධි, මරණ යන දුක් ගිනි වලට මැදි වූවන්,  පවුල් කඩාකප්පල් කරගත්, අඩදබර වන ගැහැණු හා පිරිමින් සිටින පරිසරයක්ය. හදිසියේම දුටු අපාය තුල ඛේදවාචකය දුටු ඔහු දුක් ගිනි උහුලාගත නොහැකිව ළගින් ගමන් කල මහලූ කාන්තාවකගෙන් අසා සිටියේ කොයි මෙතන තිබුණු දිව්‍ය ලෝකය ? කියාය. ඇය මොහු දෙසට හැරී පැවසුවේ ‘ එනකොට ඔහොමයි පස්සෙ මෙහෙමයි කියාය’ අධික ආශාවන් පසුපස මෙහෙය වූ මිනිසා හැරී බැලූවේ දිව්‍ය ලෝකයට යාමටය. නමුත් ඒ වන විටත්  දොර වැසී තිබුණි.

ඉහත ජේදය තුළින් පැවසූ කථාව හුදෙක් සංකල්පනාවක් වන අතර එම කතාව ආශ්‍රරයෙන් දැනගත හැකි බොහෝ කරුණු තිබේ. සහනයෙන් අසහනය කරා ඔබව යොමු කිරීමට උත්සාහ කරන්නවුන් ඔබව අසහනයට ලක් කිරීමට, අපාගත කිරීමට නිර්මාණය කළ අපාය වර්ජනය කිරීමට (ඉවත ලෑමට) පෙළඹෙමු. යහපත් වැඩසටහන් (ශ‍්‍රව්‍ය දෘශ්‍ය) නිෂ්පාදනය කිරීමටත්, අයහපත් සංස්කෘතින්ගෙන් බොදු අප බේරා ගැනීමටත්, අප සමාජ ජීවිතය, විවාහ ජීවිතය, ලිංගික ජීවිතය, ආධ්‍යාත්මික ජීවිතය ආරක්ෂා කරදීමට හැකි සංකල්ප සහිත විද්‍යුත් ටීකාවන්ට ආ වඩමු.

පාලිත ආරියරත්න
ප‍්‍රචාරක ලේකම් – ජාතික බෞද්ධ බලවේගය