Spread the News

rallak1

Divaina:
* පිය පදවියට නිගා කළ කරුමයක මහත…
* අවිස්සාවේල්ලේ සිසුවිය මවක් කර ඇත්තේ පෙම්වතාය…

තරංග රත්නවීර

rallak2

සතුටු සමිච්චිය ඈතට අසේ. සියඹලා පොතු හරින ලඳුන්ගේ මුහුණු සතුටින් ප‍්‍රමුදිත වී ඇති සැටි පෙනෙන විට මගේ සිත ද සතුටින් පිරිණි. ඒ හිරිමල් වියේදීම කාලකණ්ණි කාමාතුරයන්ගේ ගොදුරු බවට පත්ව කිරිකැටියන් සමඟ අනාථ වී සිටින මේ පුංචි මවුවරුන් සතුටු සිතින් දිවිගෙවන බව හැඟුණු නිසාය.

ඇඹිලිපිටිය විශාඛා කාන්තා නිවාසය සොඳුරු කැදැල්ලක් බවට පත් කරගෙන සිටින මේ කාන්තාවන් සියලූම දෙනාගේ වයස අවුරුදු දහඅටට වැඩි නැත. එමෙන්ම මේ අසරණියන් සියලූ දෙනා ලිංගික අතවරයන්ට ලක්ව නොසිතූ ආකාරයෙන් මවුවරුන් බවට පත් වී සිටින කාන්තාවන්ය. අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව පරිවාස දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ව ඇඹිලිපිටිය විශාඛා කාන්තා නිවාසයට භාර දී ඇත්තේ වයස සම්පූර්ණ වන තෙක් සුරක්‍ෂිතව රැකබලා ගැනීම සඳහාය. මේ වන විට විශාඛා කාන්තා නිවාසයේ රැකවරණය යටතේ කාන්තාවන් පස්දෙනෙක් සිටිති. ඔවුන් අතරින් එක් කාන්තාවකට දෑවුරුදු පුංචි පුතෙක් ද සිටී. සියඹලා පොතුහරිමින් සිටි මවගේ සිරුරෙහි දැවටෙමින් පුංචි කොලූ පැටියා ද සියඹලා එකතු කරමින් සිටින්නේය.

බෝල ගෙඩියක් සේ පින් පැහැති කොලූ පැටියාගේ සිඟිති තෙපුල් ඇසෙන විට, දාංගලය දකින විට හදවත සෙනහසින් පිරිණි. පුංචි මවත් තම පුතුව මැණිකක් සේ ආරක්‍ෂා කරගන්නා බව ඔහුව තුරුළු කරගෙන හිස සිපගත් ආකාරයෙන් මට සිතිණි.

‘චූටි මැණිකගේ නම මොකක්ද…’ මගේ පැනයට පිළිතුරුදීම කෙසේ වෙතත් පුංචි පුතාගේ මුහුණේ ඉරියව්වක්වත් වෙනස් නොවිණි.

‘අම්මගේ නම මොකක්ද…’ මගේ දෑස් සිඟිති පුතාගේ මවගේ මුහුණේ නතර විය.

‘නිරෝෂණී…’ ඒ හීන් හඬ කණට නොඇසෙන තරම්ය. එමෙන්ම අතිශය සංවර බවක් ද ඇයගේ හඬ තුළ ගැබ්ව ඇති බව දැණිනි.

‘වයස කීයද…’ උස් වූ මගේ හඬට ඇය ඇඹරිණි. සුළං සමඟ පොරබඳන සියඹලා කොළවල සිලි, සිලිය විනා හාත්පසින් වෙනත් හඬක් නොනැෙඟ්. නැවත මම ඇයට එම පැනයම ඉදිරිපත් කළෙමි.

‘දහසයයි…’ තළෙලූ හීනි මුහුණට, කෙසඟ සිරුරට වයසට වැඩි පෙනුමක් ආරූඪ වී ඇත්තේ ඇය සිතින් මෙන්ම කයෙන් නොසෑහෙන්න දුක් වේදනා විඳ ඇති බැවිනි.

නිරෝෂණී දෙමළය. ගම් පළාත දෙණියායය. අධ්‍යාපනය ලබා ඇත්තේ වත්තේ පාසලෙනි. ඇය පවුලේ වැඩිමහල් දියණියයි. නිරෝෂණීට බාල සහෝදරයන් දෙදෙනකි. පුංචි දරුවන් තිදෙනා තනි කර මව වෙනත් හිරයකට ගිය දා සිට නිරෝෂණීගේ ජීවිතයේ අවාසනාවේ දොර ඇරිණි. නිරෝෂණී නිවසේ තනි වන සෑම මොහොතකම සීයා, කාමාතුර අසමජ්ජාතියා, ඇයට ලිංගික අඩන්තේට්ටම් සිදුකර ඇත. බමන මතින්, රෑ දෙගොඩහරියට නිවසට ගොඩ වන පියා දකින විට නංගිවත්, මල්ලිවත් තුරුළු කරගෙන බයේ මුළුගැන් වූ බවත්, සීයාගෙන් ඇයට සිදු වූ ලිංගික අතවරය කියාගන්න කෙනෙක් නැති වූ බව ද ඇය අපට කීවාය.

තම සීයාගේ ලිංගික ගොදුරක් බවට පත් වූ නිරෝෂණීට එයින් මිදීමට සරණක් නොමැති විය. ඇයගේ බේබදු පියාටත්, ඥාතීන්ටත් නිරෝෂණීගේ වෙනස දැනෙන්නට ගත්තේ කුස මෝරා වැඩෙන්නට පටන් ගත් විටය. වහා ක‍්‍රියාත්මක වූ අසල්වාසීහු මහපොළව නුහුළන අපරාධය ගැන පොලිසියට පැමිණිලි කළහ. යුහුසුළුව පැමිණිල්ල විභාග කළ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කොට කාමාතුර කාලකණ්ණි සීයාව බන්ධනාගාරගත කොට දරු ගැබක් සමඟ අසරණ වී සිටි නිරෝෂණීව පරිවාස දෙපාර්තමේන්තුව මාර්ගයෙන් ඇඹිලිපිටිය විශාඛා කාන්තා නිවාසයට යොමු කර ඇත.

‘‘දැන් මම මේ ආයතනයට ඇවිත් අවුරුදු තුනක් වෙනවා. පුතා ලැබුණෙත් මේ ආයතනයේදී. පුතා ලැබෙනකොට මා ළඟ සිටියේ මේ මිස්…’’ ඇය අසළ සිටි විශාඛා කාන්තා නිවාසයේ පාලිකාව දෙසට හැරිණි.

‘බබා හම්බ වෙන්න ගිහින් මේ දරුවට ගොඩක් අමාරු වුණා. එතකොට මේ දුවට වයස අවුරුදු දහතුනයි. මොනව තේරෙනවද?

‘මාව බේරගන්න…’ කියාගෙන මගේ ඇෙඟ් එල්ලීගෙන කෑගැහුවා. අඩු වයසෙ නිසා ගොඩක් ළමයින්ට බාබාලා හම්බ වෙන්න අමාරු වෙනවා. ඒත් දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් අපේ නිවාසයේ කිසිම දරුවකුට කරදරයක් නම් වෙලා නෑ. ඒ වගේම මෙච්චර කාලයකට අපේ නිවාසයේ දරුවෝ සේරම පිරිපුන් නිරෝගිමත් බබාලා බිහි කරලා තියෙනවා. ඒ බබාලව රජයට භාර දුන්නට පස්සෙ කුල වැද්දුම් නඩු හරහා දරුකමට ගන්නෙත් හොඳට සල්ලි තියෙන ධනවත් පවුල්වල උදවිය. අම්මලා දුක්වින්දට ඒ ළමයි වාසනාවන්තයි…’’ ඇය සුමනා රණසිංහය. ඇඹිලිපිටිය විශාඛා කාන්තා නිවාසයේ ප‍්‍රධාන පාලිකාවය. ඇය විශාඛා නිවාසයේ පාලිකාව ලෙස වැඩ භාරගෙන ඇත්තේ මීට වසර හයකට පෙරය. ඇයගේ සහායට තවත් වැඩිහිටි කාන්තාවක් සිටිති. නිවාසයේ ඉවුම් පිහුම් වැඩ ටික බලා කියාගෙන කරගෙන යන්නේ ඇයයි.

‘‘කොරෝනා ප‍්‍රශ්නයත් එක්ක මේ දවස්වල දරුවෝ භාරගැනීම නතර කරලා තියෙනවා. පහුගිය දවස්වල අපේ නිවාසයේ දරුවෝ විස්සකට වැඩි පිරිසක් හිටියා. උඩවලව ප‍්‍රදේශයේ අවුරුදු දොළහක දරුවෙකුත් හිටියා. ඒ දරුවන්ට බබාලා ලැබිලා ටික දවසක් ගියාට පස්සේ ඔවුන්ගේ කැමැත්ත මත බබාලාව රජයට භාර දීලා අධිකරණය හරහා විවිධ වෘත්තීය පුහුණු පාඨමාලාවලට යොමු වුණා. තව කිහිපදෙනෙක් පාසල් අධ්‍යාපනය ලබාගැනීමට වෙනත් ළමා නිවාසවලට යොමු කළා. මේ නිවාසයේ හිටිය අවුරුදු දොළහක අම්මත් බබාව රජයට භාර දීලා ළමා නිවාසයක නතර වෙලා දැන් පාසල් යනවා…’’ විශාඛා කාන්තා නිවාසයේ පාලිකාවගේ උස් හඬ නිවී ගිය පසු නිරෝෂණී නැවත කතා කළාය.

‘‘අපිට ගෙදර ඉන්නවට වඩා මෙතැන ඉන්න එක හොඳයි. ආරක්‍ෂාව තියෙනවා. කෑම, බීම හැම දෙයක්ම වෙලාවට ලැබෙනවා. අපේ සනීපාරක්‍ෂක පහසුකම් ගැන මේ මිස් නිතරම සොයා බලනවා. පුතාටත් හරිම ආදරෙයි. මෙතැන ඉන්න හැමෝම මගේ පුතාට අම්මලා… ඒත් හැමදාම අපිට මෙතැන ඉන්න බෑ. ඒ නිසා මම මැහුම් පාඨමාලාවක් කරලා ගාමන්ට් එකක වැඩට ගිහින් දරුවා හදාගන්නවා. තව ටික කාලයකින් අපි ගෙදර යනවා…’’ බොහෝ වේලාවක් අප සමඟ කතා බහ කරමින් සිටිය ද නිරෝෂණීගේ මුහුණේ සිනහවක සේයාවක් හෝ ඇඳුණේ නැත. නොතේරෙන කාලයේදීම කාමාතුර සීයා ඇයගේ සිනාව අතුරුදන් කොට මුළු ජීවිතයම අන්ධකාරයට ඇද දමා හමාරය. එහෙත් ඇයට ජීවිතය පුරාවට දුකම පමණක් උරුම නැත. ජීවන චක‍්‍රය කරකැවී සතුට, සිනාව ලැබෙන කාලයක් ද පැමිණේවි. නිරෝෂණිලාගේ ජීවිතවලට ඒ කාලය ඉක්මනට පැමිණෙන ලෙසට ප‍්‍රාර්ථනා කර අපි තවත් පුංචි මවක් දෙසට හැරුණෙමු.

ඇය සිංහලය. නම තිළිණිය. වයස අවුරුදු දහහතකි. ගම අවිස්සාවේල්ලය. මල් වැටුණු විසිතුරු ගවුමකින් හැඩ වී සිටි ඇය පැහැපත්ය. ප‍්‍රසන්නය. දරුවෙක් සිටින මවකගේ පෙනුමක් ඒ සුන්දර තරුණිය තුළින් නොපෙනෙන තරම්ය.

තිළිණි මේ නිවාසයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?

‘මේ අවුරුද්දේ හත්වැනි මාසයට අවුරුදු තුනක් වෙනවා…’ මගේ මුවින් වචන ගිලිහෙන සුනංගුවට ඇයගෙන් පිළිතුරක් ලැබිණි.

දුවගේ තාත්තා, අම්මා ඉන්නවද?

‘තාත්තා ඉන්නවා. අම්මා අපිව දාලා ගිහින්. අපිව බලාගත්තේ ආච්චි අම්මා…’ වතු නිවසක දිවි ගෙවූ දෙණියායේ නිරෝෂණී සහ අවිස්සාවේල්ලේ සිංහල සමාජයේ ජීවත් වූ තිළිණි ද ජීවිතයේ අන්ත අසරණ තත්ත්වයට පත්වී සිටිනුයේ මවගේ රැකවරණය අහිමි වීම තුළය. තිළිණට බාල තවත් නැඟණියක් සහ සහෝදරයෙක් සිටිති. වෘත්තියෙන් මේසන්බාස් කෙනෙක් වූ තිළිණිගේ පියා ද ජීවත් වී ඇත්තේ දරුවන් නැති ගාණට සුරාවට ජීවිතය දිය කරමිනි. මවුපිය සෙනෙහස අහිමි වූ ඔවුන්ගේ ජීවිතවලට කිසිදු රැකවරණයක් නොමැති විය.

හැඩකාර, පිරිපුන් රුවැත්තිය කෙරෙහි විසේකාර තරුණයන්ගේ් අනඟ බැලූම් වැටුණු වාර අනන්තය. ඇයට ආලවන්ත බව පෙන්වමින් පස්සෙන් පැමිණි තරුණයන් ද එමටය. ඒ කොල්ලන්ගෙන් එක් අයකු තිළිණිගේ හදවතේ අරක් ගත්තේය. දින සති ගෙවී කාලය වේගයෙන් පියාඹා යන විට තිළිණි තම ආදරවන්තයාට අතිශය ආදරය කරන්නට පටන් ගත්තාය. මවු සෙනෙහස අහිමි දහතුන් වියැති පුංචි රුවැත්තිය තම පේ‍්‍රමවන්තයාව අසීමිත ලෙස විශ්වාස කළාය. මුණගැසෙන සෑම මොහොතකම පේ‍්‍රමයෙන් බැඳුණු ඔවුන්ට ආදරය මිස වෙනත් ලෝකයක් නොපෙනිණි. පේ‍්‍රමයේ උච්චතම අවස්ථාවේදී තිළිණි ගැහැනියක් විය. එහෙත් එහි බරපතළකම තේරුම් ගැනීමට තරම් තිළිණිට බුද්ධියක් නොවිණි. ඇය ආලයෙන් අන්ධ වී සිටියාය. තම පේ‍්‍රමවන්තයා සමඟ තනි වූ සෑම මොහොතකම ලිංගික ආශ්වාදයේ කෙළ පැමිණි තිළිණි මවක් වී ඇති බව දැනගෙන ඇත්තේ සිරුරේ වෙනස්වීමත් සමඟ සිදු කරන ලද වෛද්‍ය පරීක්‍ෂණයෙන් අනතුරුවය. නැවත මම තිළිණි දෙසට හැරිණි.

කීය වසරට වෙනකම් පාසල් ගියාද?

‘‘දහය වසරට විතරයි…’’

නැවත පාසල් යන්න කැමතිද?

‘‘ඔව්… මට හොඳට ඉගෙන ගන්නත් පුළුවන්. ඒත් දැන් මම ඉස්කෝලේ යන්නෙ නෑ. මැයි මාසයට මට අවුරුදු 18 සම්පූර්ණ වෙනවා. එතකොට මාව ගෙදර යවනවා කිව්වා. ගාමන්ට් එකකට ගිහින් ජීවිතය නැවත පටන් ගන්නවා…’’

‘වයස සම්පූර්ණ වුණාට පස්සේ ඔයාගේ ආදරවන්තයාව කසාද බැඳලා සතුටින් ඉන්න පුළුවන් නේ…’ මගේ ඒ වචන හමුවේ ඇයගේ පැහැපත් මුහුණ අඳුරු විය. ඇස් රතු විය. පොළව හාරන ඇඟිලි තුඩු දෙසට හැරුණු මුහුණ ක්‍ෂණයෙන් ඉස්සිණි.

‘එයා මාව රැවට්ටුවා. එයාට පේන්න මම නැවත යහපත් විදිහට ජීවිතය පටන් ගන්නවා… ඇය ඊට වඩා කතා කළේ නැත. ඇයගේ බලාපොරොත්තුව ශක්තිමත්ය. විශාඛා කාන්තා නිවාසය හරහා පානදුරේ ප‍්‍රදේශයේ පිහිටි වෘත්තීය පුහුණු ආයතනයකින් මැහුම් පාඨමාලාවක් සම්පූර්ණ කර ඇති ඇයගේ දක්‍ෂතාවයන් ප‍්‍රදර්ශනය කර තිබූ අයුරු සුමනා මහත්මිය අපට පෙන්නුවාය.

‘‘මේ තියෙන්නේ තිළිණි හදපු සුබපැතුම් කාඞ්පත්. හරි ලස්සනට හදලා තියෙනවා. මේ දරුවගේ නිර්මාණ බලාගෙන දැන් අනිත් දරුවොත් විවිධ නිර්මාණ කරනවා. මැහුම් පාඨමාලාවලට යන්න ඕනෑ කියනවා. තිළිණි දුවත් ඉගෙනගත්ත දේවල් අනිත් අයට පුරුදු, පුහුණු කරනවා…’’ මේසයක් මත පෙළට අතුරා තිබුණු නිර්මාණ කිහිපයක් ගැන සුමනා මහත්මිය එකිනෙකට විස්තර කළාය.

අලංකාර සුබපැතුම් කාඞ්පත් කිහිපයක්ම ඒ අතර විය. වෛර්ණ කඩදාසි කොළවලින්, සංයමයෙන් යුක්තව කර ඇති නිර්මාණ අතිශය සුන්දරය.

‘අපේ ආයතනයේ පන්ති පහක් පැවැත්වෙනවා. මැහුම්, ගෘහ විද්‍යාව, රූපලාවන්‍ය, දෙමළ, සංගීත පන්ති පවත්වනවා. ඉදිරියේදී ඉංග‍්‍රිසී පන්තියකුත් පටන් ගන්න සැලසුම් කර තියෙනවා. ඒ වගේම සිංහල, දෙමළ දරුවෝ කතා බහ කරමින් එකිනෙකා භාෂා ඉගෙන ගන්නවා. මේ ඉන්න සිංහල ළමයින්ට සාමාන්‍යයෙන් දෙමළ කතා කරන්න පුළුවන්. දෙමළ දරුවන්ට හොඳටම සිංහල කතා කරන්න පුළුවන්. නිරෝෂණීගේ පුතා දෙමළ භාෂාවටත් වඩා හොඳට සිංහල කතා කරනවා. ඒ පුතා බහ තේරුවේම සිංහල භාෂාවෙන්…

ඇඹිලිපිටිය විශාඛා කාන්තා නිවාසයේ කඳුළු කතාවේ තවත් කොටසක් බලන සතියට ඉතිරි කර අපි නතර වීමු…