රුපියල් වලට දරුවන් විකුණන්න එපා!
කිරි බොන්නට මව් දෙතනේනුඹට වරම් නැත පුතුනේ!
ළමා නිවාසයේ සිටින දරුවන්:source:
“ප්‍රේම්” ළමා නිවාසය | ළමා නිවසේ පාලිකා මේරි එලීසා කන්‍යා සොයුරිය සහ රාවතාවත්ත මීසම භාර ටිරෝන් පෙරේරා පියතුමා |
දරු සෙනෙහස යනු මොනතරම් සංවේදී දෙයක්‌ද? විවාහ වී හෝ විවාහ නොවී තරුණියකට දරු ගැබක් ඇතැයි දැනෙන මොහොතේ සිට ඒ දරු ගැබ මෝරා වැඩෙන විට දැනෙන දේවල් ගැබිනි මවකගෙන් අසා දැන ගත යුතුම නැත. ගැබිනි මවකට මිනිස් සමාජයේ අතිවිශාල භක්‌තියක් තිබේ. ගෞරවයක් තිබේ. සැලකිල්ලක් තිබේ. ගැබිනි මවක් දෙස වපරැසින් බලන්නෝ මිනිස්‌සු නොව තිරිසනුන්ය. මිනිසත් බව ලබා සිටින අප ගැබ්බර තිරිසන් සතකුට වුවද සලකන්නේ බඩදරු මවකට ගරුසරු කරන්නට, සලකන්නට පුරුදු වී සිටින නිසාය. අපි මේ ටික ලියුවේ මොරටුව, රාවතාවත්ත, ද සොයිසා මාවතේ අංක 22 දරන තැන පිහිටි ආන්දෝලනයකට තුඩු දී තිබෙන ළමා නිවාසය නිසාය.
මෙය නමින් “ප්‍රේම් නිවසය” (Prem Nivasa) මෙය ළමා නිවාසයක් ද? ගැබිනි මව්වරුන්ගේ වාට්‌ටුවක්‌ද? නොඑසේ නම් වයස අවුරුදු පහට අඩු දරුවන් විකුණන මධ්‍යස්‌ථානයක්‌ද? මේ ප්‍රශ්නය දැන් මුළු රටේම ජනයාට මතුව තිබෙන දෙයකි.
ඒ නිසා අපි මේ “ප්‍රේම් නිවස ” පිළිබඳ ඉතිහාස කථාව අසමු.
වෛද්‍ය මුතුකුමාරණ නම් මහතකු සතුව ඉඩමක් තිබිණි. ඒ ඉඩම පිහිටියේ මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ ද සොයිසා මාවතේ අංක 22 දරන තැනය. මුතුකුමාරණ මහතා ඒ ඉඩම් කැබැල්ල පොදු මහජනතාවගේ හිත සුව පිණිස ක්‍රියාත්මක ආයතනයකට පරිත්‍යාග කළේ පිනටය. ඒ 1960 වසරේදී විය යුතුය.
“මදර් තෙරේසා” නම් නිකාය කුඩා දරුවන් රැක බලා ගන්නා මධ්‍යස්‌ථානයක් මෙහි ඉදි කළේ ඊට පසුවය.
1980 වනවිට මෙම ආයතනය පරිවාස හා ළමා රක්‍ෂණ අධිකාරියේ ලියාපදිංචි කර ඇත. “ප්‍රේම් නිවස” භාරව සිටින පාලිකාව මේරි එලීසා ය. ඇය ශ්‍රී ලාංකික කාන්තාවක නොව ඉන්දියාවේ කල්කටාවේ උපන් තැනැත්තියකි. කන්‍යා සොයුරියක වූ ඇය ශ්‍රී ලංකාවට පැමිණියේ අහිංසක දරුවන් රැක බලා ගන්නා මධ්‍යස්‌ථානයේ පාලිකාව ලෙස පත්වීම් ලබාය.
“ප්‍රේම් නිවස” යනු කාලයක් තිස්‌සේ දරුවන්ට රැකවරණය දුන් තැනකි. මේ කියන ස්‌ථානයට දරුවන්ව ගෙනත් භාර දෙන්නේ මේ රටේ මව්වරුය. මව්වරු සමග විටෙක පියවරු ද එති.
ගැබිනි මව්වරු ද මෙතැනට එති. ඒ එන්නේ එක්‌කෝ අතවරවලට ලක්‌වය. නොමැති නම් විවාහ වෙන්නට පෙරාතුව අඩු වයසෙන් ගැබ්ගත් අය ය. නොමැති නම් අනියම් සබඳතාවල ප්‍රතිඵල රැගෙනය. මේ එන අය අතර සිංහල බෞද්ධ කාන්තාවෝද, ද්‍රවිඩ හින්දු ආගමිකයන්ද, සිංහල කතෝලික කාන්තාවෝ ද, දෙමළ කතෝලික කාන්තාවෝaද, මුස්‌ලිම් ඉස්‌ලාම් ආගමික කාන්තාවෝ ද ආදී විවිධ තරාතිරමේ අය පැමිණෙති. මේ එන කොයි කවුරුත් සිනහ මුසුව පිළිගන්නට මේ “ප්‍රේම් නිවසෙ” හි ප්‍රධාන පාලිකාවත්a සෙසු කන්‍ය සොයුරියෝත් සැදී පැහැදී සිටිති.
එලෙස පැමිණෙන ගැබිනි මව්වරුන්ට වූ විපතේ තොරතුරු විමසීම පසෙකට කරන මෙහි සේවකයෝ ඒ පෙම් පළහිලව් නොව උපදින්නට සිටින දරුවාට රැකවරණ දෙන්නට අවශ්‍ය පියවර ගනිති. බැලූ බැල්මට එය දේව ආශිර්වාදයක් බඳුය. මහා අකරතැබ්බයකට මුහුණ පා සමාජයේ සියලුම පාර්ශ්වයන් කොන් කරන මොහොතක මෙය දේව ආශිර්වාදයක් නොවේ දැයි මෙලෙස රැකවරණය ලබන ගැබිනියන්ට සිතෙන එක නතර කළ හැකිද?
එලෙස පැමිණෙන මව්වරුන්ට දරු ප්‍රසූතිය වනතුරුම රැකවරණ සැලසීsමට තිහකට අධික සේවක පිරිසක් ද මෙහි සිටිති. ඇතැම් වෛද්‍යවරු මුදල් නොගෙන ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් දීමට පෙළැඹෙති.
දරු ප්‍රසූතිය ළං වනවිට මව්වරු කළුබෝවිල හෝ වෙනත් රෝහලකට ඇතුළත් කරති. දරුවා ලැබුණ පසු ඒ දරුවාව “ප්‍රේම් නිවසෙහි” පාලිකාව ඇතුළු සොයුරියන්ගේ භාරයට ගන්නේ දෙමාපිය කැමැත්ත මතය.
මෙලෙස අලුතින් උපදින දරුවන්ව ඊට පසුව ස්‌වදේශීය හා විදේශීය මව්වරුන්ගේ භාරයට පත් කරති. එය කරන්නේ අධිකරණ හරහා යෑයි “ප්‍රේම් නිවසෙහි” උදවිය පවසති. දුගී දුප්පත් පැල්පතක උපදින අහිංසක දුප්පත් දරුවන්ව තවදුරටත් හදාවඩා ගන්නට වත්කමක් නැතැයි කියන උදවියද මොරටුව, රාවතාවත්තෙහි පිහිටි මේ නිවස සොයා පැමිණෙති. පසුගිය කාලයේ එලෙස පැමිණි පිරිස මෙතෙකැයි කියන්නට මේ ආයතනය සතුව සංඛ්‍යා ලේඛන නැතැයි එහි පාලිකාව අපට කීවාය.
දැන් මේ කියන්නට යන්නේ පසුගිය බදාදා (23 වැනිදා) සිද්ධ වූ දේ පිළිබඳවය.
පරිවාස හා ජාතික ළමා රක්‍ෂණ අධිකාරිය සතුව ක්‍ෂණික දුරකථන ඇමතුමක් තිබේ. එය අංක 1929 ය. මේ අංකය ඇමතූ කවුදෝ මොරටුව, රාවතාවත්ත අංක 22 දරන තැන පිහිටි ප්‍රේම් නිවසෙහි දරු ජාවාරමක් සිදුවන බවට තොරතුරක් දී ඇත. ජාතික ළමාරක්‍ෂණ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය වහාම ක්‍රියාත්මක වූවාය.
මෙම ස්‌ථානය වැටලිය යුතුය. ඒ සඳහා ඇය නිලධාරි කණ්‌ඩායමක් ගෙන්වා කරුණු කීවාය. පොලිස් නිලධාරීන් ගේ ද සහාය රැගෙන මෙම ස්‌ථානය වැටලුයේ මාධ්‍යවේදීන් හා කැමරා ශිල්පීන් ද රැගෙනය.
බැලූ බැල්මට මහ විපතකි. කුකුල් පැටව් සේ කුඩා දරුවෝ හැත්තෑවක් පමණ මෙහි ඇති වාට්‌ටුවල, ඇඳන්මත තබා සිටිති. ගැබිනි මව්වරුද තිස්‌පස් දෙනෙක්a පමණ දින ගනිමින් මෙහි රැඳී සිටිති. මාධ්‍යවේදීන්, කැමරාශිල්පීන් සතර අත පනිමින් මේ අලුත් මෙන්ම ආන්දෝලනාත්මක සිද්ධියට අදාළ වාර්තා සකසමින් ඡායාරූප ද ගත්හ. පසුගිය බ්‍රහස්‌පතින්දා (24 වැනිදා) පුවත්පත්වල පළවුයේ රාවතාවත්තේ. දරුවන් විකුණන මධ්‍යස්‌ථානයක් ළමාරක්‍ෂණ අධිකාරිය වැටලූ බවය. විකිණීමට තබාසිටි දරුවන් හැත්තෑවක් පමණද, ගැබිනි මව්වරුන්ද සිටි බව කියෑවිණි.
රුපියල් තිස්‌පන්දහසේ සිට රුපියල් ලක්‍ෂ හතක් දක්‌වා මිලකට දරුවන් විකුණන බවද කියෑවිණි. මේ මොන අපරාධයක්‌ද? මෙය සිංහල, බෞද්ධ රාජ්‍යයකි. මේ රාජ්‍යයේ බොහෝ ආගම් තිබේ. බොහෝ ජනවර්ග ජීවත් වෙති. නමුත් දරුවන්ව විකුණන ජාවාරමක් මේ බෞද්ධ රාජ්‍යයේ සිදුවන්නේද?
එනිසාම “දිවයිනේa” අපි මොරටුව රාවතාවත්තට ගියේ මෙහි ඇත්ත නැත්ත දැන ගැනීමටය. “ප්‍රේම් නිවසේ” ගේට්‌ටුව වසා තිබිණ. ගේට්‌ටුවට තට්‌ටු කළ පසු ගේට්‌ටුවේ කොනකින් කථා කළේ පොලිස් ඇඳුම් ඇඟලාගත් පොලිස් කොස්‌තාපල්වරයෙකි. වැටලීමෙන් පසු එහි ආරක්‍ෂාවට සිටි එම පොලිස් කොස්‌තාපල්වරයා ඇසුවේ ඇයි? කියාය.
“අපි පත්තරෙන්. “දිවයින” පත්තරෙන්. අපිට ඇතුළට ඇවිත් විස්‌තරයක් ගන්න ඕනේ….” අපි කීවෙමු.
“කාටවත් ඇතුළට එන්න දෙන්න බෑ”. කොස්‌තාපල්වරයා කීවේ නුරුස්‌සන බැල්මක්‌ද හෙළමිනි.
අපි පාරේ සිටම ගොඩනැගිල්ලේ ඡායාරූපයක් ගන්නට උත්සාහ කළෙමු.
අසල වෙළෙඳසලක සිටි අයකු කීවේ “පින්තූර ගන්න එපා. අපිටත් විසුමක් නෑ” කියාය. මේ දැනුත් කට්‌ටියක් ඇවිත් තර්ජනය කරලා ගියා” හෙතෙම කීවේ අපි කිසිවක් ඇසීමටත් පෙරය.
එසැණින් ආවේ යතුරුපැදි දෙක තුනක නැඟුණු පිරිසකි. අප වටකරගත් පිරිස ප්‍රශ්න කළේ “ඇයි මොනවද? කොහෙන්ද. කියාය”
“අපි “දිවයින” පත්තරෙන් කී පසු ඒ අය තව තවත් ප්‍රශ්න කර කිසියම් කේන්තියක් පිට කළහ.
“අපි ආවේ ඇත්ත දැනගන්න. මෙතැන වෙන්නෙ කුමක්‌ද? මාධ්‍යවල පළ වී ඇති දේවල් වැරැදිද? වැරැදි නම් ඇත්ත කුමක්‌ද? දරු ජාවාරමක් නැත්නම් මෙහි ඇත්තේ කුමක්‌ද?” අපි ඉතා මිත්‍රශීලීව කී කාරණාවලින් පසුව කෝපගිනි නිවාගත් පිරිස අපව ප්‍රේම් නිවස තුළට රැගෙන ගියේ කිසියම් විශ්වාසයෙනි.
දැන් අප කියන්නේ මෙහි පාලිකාව වන මේරි එලීසා සොයුරිය කී දේවල්ය.
“මෙම ස්‌ථානය අසරණයින්ට පිහිට වෙන තැනක්. ඇතැම් දුප්පත් දෙමාපියන්ට ඒ අයගේ දරුවන් හදා වඩා ගන්න ආර්ථික ශක්‌තියක් නැති වුනාම ඒ දරුවන් අපට ගෙනත් බාර දෙනවා. අපි ඒ දරුවන්ට රැකවරණය දෙනවා. තවත් පිරිසක් ඉන්නවා අඩු වයසෙදි, එහෙම නැත්නම් විවාහ වෙන්න පෙරාතුව ගැබ් ගන්නවා. එවැනි අයත් මෙතැනට එනවා. ගැබිනි මව් වරුන්ගේ පෞද්ගලිකත්වය, ආත්ම ගෞරවය ආරක්‌ෂා කරමින් දරු ප්‍රසූතිය දක්‌වාම අපි ඒ අය බලාගන්නවා.
අපි දරුවන් මේ රටේ දෙමාපියන්ට, පිටරටවල දෙමාපියන්ට හදාවඩා ගන්න දෙනවා තමයි. හැබැයි ඒක කරන්නේ අධිකරණයේ අවසරය මතයි. අපි කිසිවකුගෙන් ඒ වෙනුවෙන් මුදල් ගන්නේ නෑ” ඇය තවදුරටත් කියා සිටියාය.
ගබ්සාවද හොඳ? එහෙම නැත්නම් මෙවැනි දරුවන් ජීවත් කරවීමද හොඳ? රාවතාවත්ත මීසම බාර ටිරෝන් පෙරේරා පියතුමා විමසා සිටියේය. පියතුමා කීදේ ඒ පියතුමාගේ භාෂාවෙන්ම මෙසේය.
උපදින්න ඉන්න දරුවන් ගබ්සා නොකර ඒ දරුවත්, මවත් රැකගන්න එක වැරදිද? අපේ ආයතනය ආගම්, භාෂා, ජාති කුල මලවලින් තොරව කාටත් සරණ වෙනවා. මම මේ මීසම බාර පියතුමා මෙතැන සිටින කිසිම දරුවකු අපි විකුණන්නේ නෑ. දෙමාපියන්ගේ ලිත කැමැත්ත, මත, අධිකරණය හරහායි අපි දරුවන් වෙනත් දෙමාපියන්ට බාරදෙන්නේ. ඒ වෙනුවෙන් සත පහක්‌වත් ගන්නේ නෑ.”
ඒ “ප්‍රේම් නිවස” බාරව සිටින පාලිකාවගේ සහ මීසම බාර පියතුමා කියන්නේ එවැනි දෙයක්‌ය.
ඇත්තටම මෙහි දරුවන් විකිණීමේ ජාවාරමක් තිබුණේද? තිබුණේ නම් 1960, 70, 80, 90, 2000 දශකවල සිටි අයට මේ කටයුත්ත නොපෙනුනේ මන්ද? අඩුම තරමින් පරිවාස හා ජාතික ළමාරක්‌ෂණ අධිකාරිය පෙරේදා (24 වැනිදා) වනතුරුම මෙම ස්‌ථානය පිළිබඳ සොයා නොබැලුවේ මන්ද? දරුවන් බාරගෙන ඒ අය මෙරට හෝ පිටරටක වෙනත් මවකට පියකුට බාරදීමට “ප්‍රේම් නිවස” යට ඇති නෛතිකභාවය කුමක්‌ද?
අනෙක් කාරණය වන්නේ කිසිදු සොයා බැලීමකින් තොරව ගැබ්ගත් තරුණියක මෙම ස්‌ථානයට ආපසු ඒ ගැබිනි මවට රැකවරණදී අවසානයේදී උපදින දරුවා කාට හෝ පවරාදීමේ ඒ තීරණාත්මක කාරිය කිරීමට මෙවැනි ආයතනයකට හැකිද? මේ රටේ ඒ පිළිබඳ නීතිය කුමක්‌ද? ඇත්තටම පරිවාස හා ජාතික ළමාරක්‌ෂණ අධිකාරිය කියන පරිදි මෙහි මුදලට දරුවන් විකිණීමේ ජාවාරමක් තිබුණේද? මේ ප්‍රශ්නවලට අදටත් පිළිතුරු නැත. එක් එක් පාර්ශ්ව එක් එක් දේවල් කියනු ඇත. මෙම ආයතනයේ නෛතික භාවය ආයතනය කරගෙන යන කටයුතු පිළිබඳ සොයා බලා ඒවායේ අකටයුතුකම් සෙවීමට අයතන තිබේ. මේ රටේ ජනතාව ඒ ආයතනවල ඊළඟ පියවර දෙස විමසිල්ලෙන් බලා සිටින්නේ මෙය සැබැවින්ම ජාවාරමක්‌දැයි සැක පහළ වී ඇති නිසාය.
පරිවාස හා ජාතික ළමාරක්‌ෂණ අධිකාරිය නොදන්නා දෙයක්‌ද අපි ලිවීමට කැමැත්තෙමු. නොදන්නේ නම් මේ කියන ස්‌ථානද වටලා හෝ නොවටලා ඒ ස්‌ථානය පිළිබදවද සොයා බැලීම වටිනා බව කීමට කැමැත්තෙමු.
“මදර් තෙරේසා” නිකායට අයත් තවත් මධ්‍යස්‌ථාන හතක් අපේ රටේ තිබේ. මාතර “ශාන්ති” නිවස, ගාල්ලේ “අපේක්‌ෂා” නිවස, මහනුවර “දයා” නිවස, කුරුණෑගල “මෙත්” නිවස, ත්‍රිකුණාමලය “කරුණා” නිවස, වව්නියාව “අන්පහම්” නිවස සහ යාපනේ “අටයිතිඉල්ලාම්” නිවස ඒ ස්‌ථාන හතය. මේවායේ සිටින්නේ එක්‌කෝ අසරණ දරුවන්ය. නැතිනම් ආබාධිත වූවන්ය. නොමැති නම් වයෝවෘද්ධ මව්වරු පියවරුය. මේ තැන්වල ගැබිනි මව්වරු සහ කුඩා දරුවන් සිටින්නට හෝ නොසිටෙන්නට පුළුවන. නමුත් මේ එකම ජාලයකට අයත් තැන්ය. ඒවායේ කෙරෙන දැ නොසොයන්නේ මන්ද? ප්‍රශ්නයක් සිතට නැගේ.
රාවතාවත්තෙහි පිහිටි “ප්‍රේම් නිවස” වටලන විට දරුවන් හැත්තෑවක් පමණ සිට ඇත. ඒ බව පාලිකාව වන මේරි එලීසා කන්‍යා සොයුරියද පිළිගනී.
එපමණක් නොව ගැබිනි මවුවරුද තිස්‌පස්‌දෙනෙක් පමණ රැකවරණ පතා පැමිණ සිsටියහ.
ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරිය හා පොලිසිය මෙම ස්‌ථානය වැටලූ පසුවත් මේ අය එපරිද්දෙන්ම සිටිති. කර ඇත්තේ කට උත්තර ලබා ගැනීම පමණි. ප්‍රදේශයේ ජනතාව දානමාන දෙති. ඇතැම් පිරිස් මෙම ස්‌ථානයේ කරන දේවල්වලට දොස් කියති.
මේ වනවිට දෙමාපියන් විසින් භාරදුන් දරුවන්a දෙදහසක් පමණ පිරිසකට ජීවිතය දෙන්නට මෙම ස්‌ථානය සමත්වී ඇතැයි එහි සේවකයෙක් කීවේය. එහි ඇත්ත නැත්ත අපි නොදනිමු.
රාවතාවත්ත මීසම භාර ලේකම් ලෝරන්ස් මාටින් මහතා කියන්නේ මෙහි යම් අකටයුත්තක් වන්නේ නම් ඊට එරෙහිව මුලින්ම පෙරමුණට එන්නේ තමුන් යෑයි කියාය. ගබ්සාව නතර කළ, මේ දරුවන් හා මව රැකගැනීම උතුම් දෙයකි. ඒ දරුවන් අධිකරණය හරහා දෙමාපියන්ට භාරදීම වරදක්‌ද? ඔහු එසේ අසයි.
දැන් අපට අසන්නට ඇත්තේ මේ වැටලීම සාධාරණද යන්නය. සාධාරණ වැටලීමක් නම් එළැඹෙන දිනක මෙහි සුලමුල සොයා මෙය ජාවාරමක්‌ද කියා රටටම හෙළිකළ යුතුය. මොරටුව පොලිසිය මේ ස්‌ථානයේ වන දැ මෙතෙක් කලක් දැන නොසිටියේද යන ගැටලුවද ඇත.
මේ රටේ දරුවන්ට මහ නරක කාලයක් උදාවී ඇත. එක් පසෙකින් ස්‌වභාවික විපතට ලක්‌වන දරුවෝ තවත් පසෙකින් ඩෙංගු වැනි වසංගතවලින් මිය පරලොව යති. තවත් විටක දෙමාපියෝ දරුවන් මරා දමති. අඹු – සැමි ආරවුල් හා අනියම් සබඳතා වලින්ද තැළී පොඩි වී යන්නේ මල්වැනි දරුවන්ය.
කප්පම් වෙනුවෙන් බිලි වන්නේද දරුවන්ය. ලිංගික අතවර වලට ලක්‌වන්නේ ද දරුවන්ය. “දරුවාට සුබ අනාගතයක්” ලබාදෙන රටක දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක මේ තැන් පිළිබඳ මීට වඩා සොයා බැලිය යුතුය. මේ කියන රාවතාවත්ත ළමා නිවස වෙත ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරීන් මාසයකට වරක් පැමිණ පරීක්‍ෂණ කරන බව කියති. එක්‌කෝ එන නිලධාරියා අල්ලසට යටවී සිටිය යුතුය. නැතිනම් මෙය සාමාන්‍ය තත්ත්වයක් විය යුතුයි. එනිසා රට හොල්ලා කළ මේ මෙහෙයුම අවසන් වන ආකාරය දෙස මේ රටේ ජනතාව විමසිල්ලෙන් බලා සිටිය යුතුය.
දරුවන් යනු මේ රටේ අනාගතයය. අනාගතය ජාවාරමක් බවට පත්කර ඇත්නම් කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව පෙළගැසුණා සේ ඒ ජාවාරමට එරෙහිව මේ රටේ දෙමාපියන් එකාපිට එකා පෙළගැසෙන බව අපට විශ්වාසය.
ශිරාන් රණසිංහ
ඡායා-කමල් බෝගොඩ
http://www.lankadeepa.lk/index.php/articles/14707