Sun. Nov 24th, 2024
Spread the News

ලංකාවේ දහතුන කෙසේ වෙතත්
ඉන්දියාවේ දහසය නම් අපට අවශ්‍යයි
source:

 

 

 

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක්‌ ලංකාවේ ක්‍රියාත්මක කරන බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ට පොරොන්දු වූ බව ඉන්දීය විදේශ ඇමැති එස්‌. එම්. ක්‍රිෂ්ණා මහතා කළ ප්‍රකාශය ඉකුත් සතියේ කාගේත් අවධානයට යොමු වූ කාරණයක්‌ විය. මෙහිදී ඉන්දියාවත් ලංකාවත් දැන් සිටින තත්ත්වය කෙරෙහි අවධානය යොමු කිරීම වටී. අපට ගිය සතියේ ඇසුනේ ස්‌වෛරී රාජ්‍යයක විදේශ ඇමැතිවරයකුගේ ප්‍රකාශයක්‌ නොව ප්‍රාණ ඇපකරුවකුගේ අෙ¹aනාවයි. කොටි සංවිධානය අවසන් කළ යුද්ධයේදී හරි නම් ඒ වෙනුවෙන් වැය කළ හැම උණ්‌ඩයක්‌ම, සෑම නැවක්‌ම, හැම ප්‍රහාරක අහස්‌ යානාවක්‌ම ඉන්දියාවෙන් ලැබුණු ඒවා විය යුතුව තිබුණත් එය එසේ නොවීය. ලංකාවට කිට්‌ටුම රට ඉන්දියාව වුවත් අපට සිදුවූයේ මේ අවි ආයුධ කිලෝමීටර් දහස්‌ ගණනක්‌ ඈත චීනය, පකිස්‌තානය, රුසියාව, බ්‍රසීලය වැනි රටවලින් ලබාගැනීමටයි. ඒ යුද උපකරණ මුදලටවත් අපට විකිණීමට ඉන්දියානු මධ්‍යම රජය බිය විය. මෙයට හේතුව තමිල්නාඩුවෙන් ඔවුන්ට තිබුණු බලපෑම්ය.

දෙමළ බෙදුම්වාදයේ නිජබිම වන්නේ ලංකාව නොව දකුණු ඉන්දියාවයි. 1920 ගණන් වල සිටම එනම් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිටම දකුණු ඉන්දියාවේ ප්‍රධානම දේශපාලන ප්‍රවාහය වූයේ ද්‍රවිඩ බෙදුම්වාදයයි. බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ මුලු දකුණු ඉන්දියාවම පාහේ පාලනය වූයේ මැඩ්රාස්‌ ප්‍රාන්තය වශයෙනි. මෙකී මැඩ්රාස්‌ ප්‍රාන්තයේ සීමිත පාලන බලතල බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ අධීක්‍ෂණය යටතේ කරගෙන ගියේ “ජස්‌ටිස්‌ පාටි” යන නමින් හඳුන්වන ලද ද්‍රවිඩ බෙදුම්වාදී පක්‍ෂයකිනි. දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ බෙදුම්වාදය මුලින්ම ආරම්භ වූයේ උතුරින් පැමිණි බ්‍රාහ්මණයන් දකුණේ ආධිපත්‍යය පැතිර වීමට එරෙහිව පටන්ගත් ව්‍යාපාරයක්‌ ලෙසිනි. නමුත් නොබෝ කලකින්ම ද්‍රවිඩයන් සඳහා දකුණු ඉන්දියාවේ වෙනමම රටක්‌ පිළිබඳ සංකල්පය ද එයට එකතු විය. බ්‍රිතාන්‍යයේ යටත් විජිත සමයේදීම දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ බෙදුම්වාදීන් ඉදිරිපත් කළ එක්‌ යෝජනාවක්‌ වූයේ දකුණු ඉන්දියාව ඉන්දීය ආණ්‌ඩුවේ කොටසක්‌ හැටියට නොව වෙනම යටත් විජිතයක්‌ හැටියට ලන්ඩන් නුවර යටත් විජිත කාර්යාලය මගින් සෘජුවම පාලනය විය යුතු බවයි.

බ්‍රිතාන්‍යයේ යටත් විජිත සමයේදීම දකුණු ඉන්දියාව පුරාම මෙවැනි තත්ත්වයක්‌ ගොඩනැඟී තිබුණේ නම් 1947 දී ඉන්දියාව නිදහස ලබන විට පකිස්‌තානය බෙදා වෙන් කළ ආකාරයටම “ද්‍රවිඩ නාඩුවක්‌” බෙදා වෙන් නොකළේ මන්ද යන ප්‍රශ්නය පැන නගී. 1947 දී ද්‍රවිඩ නාඩුවක්‌ දකුණු ඉන්දියාව තුළ බිහි නොවීමට තිබුණේ එකම එක හේතුවක්‌ පමණි. ඒ ඉන්දීය නිදහස්‌ සටනට පුරෝගාමී වූ ඉන්දීය කොංග්‍රස්‌ පක්‍ෂය නිදහස්‌ සටනේ උණුසුම වැඩිවනවාත් සමගම දකුණු ඉන්දියාව තුළ ද්‍රවිඩ බෙදුම්වාදී පක්‍ෂ අභිබවා ජනප්‍රිය වී තිබීම හේතුවෙන් පමණි. නිදහස්‌ සටනේ උණුසුමත් සමගම 1937 වසරේ සිට මදුරාසි ප්‍රාන්තයේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය බවට ඉන්දීය කොංග්‍රස්‌ පක්‍ෂය පත්වී තිබුණේය. මෙසේ නොවුණේ නම් ද්‍රවිඩ ජාතිවාදී නායකයා වූ පෙරියාර් රාමසාමි නායකර් දකුණු ඉන්දියාවේ මොහොමඩ් අලි ජින්නා බවට පත්වීම වැළැක්‌විය නොහැකි වනු ඇත.

මේ ආකාරයට සද්ද බද්ද දමා දේශපාලන විඡ්ජා පෙන්නා මිනිසුන්ගේ හිත දිනාගෙන යන්තම් රැකගත් ඉන්දීය ඒකාග්‍රතාවය දිගටම රැකගැනීමට නම් ද්‍රවිඩ ජාතිවාදය පරාජය කළ යුතු බව පළමු ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු මහතාට වැටහුණි. ඇත්ත වශයෙන්ම ද්‍රවිඩ බෙදුම්වාදයේ භයානකකම ගැන නිදහස ලැබීමට පෙර සිටමත් ඉන්දීය කොංග්‍රස්‌ පක්‍ෂයට මනා අවබෝධයක්‌ තිබිණි. ඔවුන් නිදහස ලැබීමට පෙර ද්‍රවිඩ බෙදුම්වාදය පරාජය කිරීම සඳහා ගත් ප්‍රධානම පියවර වූයේ 1937 දී කොංග්‍රස්‌ පක්‍ෂය මුල් වරට මදුරාසි ප්‍රාන්තයේ බලය අල්ලාගත් පසු දකුණු ඉන්දියාවත් උතුරු ඉන්දියාවත් අතර සම්බන්ධය තර කිරීමට හින්දි භාෂාවත් දකුණු ඉන්දීය පාසල් වල ඉගැන්වීමට යෝජනාවක්‌ ගෙන ඒමයි. නමුත් මේ යෝජනාව ද්‍රවිඩ ජාතිවාදී පක්‍ෂ විසින් උද්ඝෝෂණය කොට පරාජය කරන ලදී. 1937 න් පසු නිදහස ලබන තුරුම මදුරාසි ප්‍රාන්තයේ බලය පැවතුනේ කොංග්‍රස්‌ පක්‍ෂය අතේ වුවද ඔවුන් හින්දි බස හඳුන්වා දීමට ගත් සෑම පියවරක්‌ම ද්‍රවිඩ ජාතිවාදී පක්‍ෂ විසින් උද්ඝෝෂණ හා කලබල ඇතිකොට නතර කර ගත්තේය. ඉන්දීය නිදහස්‌ සටනේ උච්ඡතම අවස්‌ථාවේදී වුවත් ද්‍රවිඩ ජාතිවාදය එතරම්ම බලසම්පන්න විය. නිදහස ලැබුවායින් පසු ජවහර්ලාල් නේරු අගමැතිවරයා කළේ ද්‍රවිඩ නාඩුව වශයෙන් ද්‍රවිඩ ජාතිවාදීන් හැඳින් වූ ප්‍රදේශය කෑලි ගණනාවකට කැඩීමයි.

එයට මුල් වූ ප්‍රධානම කාරණයක්‌ වූයේ 1950 දී ඉන්දියාවේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව බලගැන්වීමත් සමග හින්දි භාෂාව ඉන්දියාවේ රාජ්‍ය භාෂාව වීමට එරෙහිව මුලු ද්‍රවිඩ නාඩුව පුරාම උද්ඝෝෂණ පැතිර යාමයි. මේ නිසා 1953 ත් 1956 ත් අතර අදියර කීපයකින් මදුරාසි ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශ වලින් අන්ද්‍රd ප්‍රදේශයද බටහිර වෙරළ තීරයෙන් කේරල ප්‍රාන්තයද වෙනත් ප්‍රදේශ වලින් කර්නාටක ප්‍රාන්තය ද ඇතිකරන ලදී. මේ අනුව ද්‍රවිඩ භාෂා 4 ක්‌ කතාකරන ප්‍රාන්ත 4 ක්‌ ද්‍රවිඩ නාඩුවෙන් කඩා වෙන් කරන ලදී. ඒ උත්සාහය සාර්ථක විය. තෙළිඟු බස කතා කරන අන්ද්‍රd ප්‍රදේශයෙන් ද මලයාලම් බස කතා කරන කේරලයෙන්ද කණ්‌නාඩ බස කතාකරන කර්ණාටකයෙන්ද ද්‍රවිඩ ජාතිවාදී පක්‍ෂ තුරන් වී ගියේය. ඉන් පසු ද්‍රවිඩ ජාතිවාදය පැවතුනේ දෙමළ කතා කරන මදුරාසි ප්‍රාන්තය තුළ පමණි. මෙම මදුරාසි ප්‍රාන්තය තුළ ඉන්දීය කොංග්‍රස්‌ පක්‍ෂය 1967 දක්‌වාම බලය අල්ලාගෙන සිටියේය. මේ කාලපරිච්ඡේදය තුළ ඔවුන් තමිල්නාඩුව තුළ හින්දි බස හඳුන්වා දීමට උත්සාහ ගත්තද ඒ සෑම උත්සාහයක්‌ම ව්‍යර්ථ වන ලදී.

ලංකාවේ දෙමළ දේශපාලනයත් මදුරාසි ප්‍රාන්තයේ දෙමළ දේශපාලනයත් එකට ගමන් කිරීමට පටන් ගත්තේ 1950 ගණන් වලය. 1950 දී හින්දි බස ඉන්දියාවේ රාජ්‍ය භාෂාව විය. 1956 දී සිංහල බස ලංකාවේ රාජ්‍ය බස විය. ඉන්පසුව මදුරාසි ප්‍රාන්තයේ දෙමළ දේශපාලනයත් ලංකාවේ දෙමළ දේශපාලනයත් ඉදිරියට ගමන් කළේ එකටය. එස්‌. ඡේ. වී. චෙල්වනායගම් දකුණු ඉන්දියාවේ මුල සිටම ද්‍රවිඩ බෙදුම්වාදයට තිබුණු පිළිගැනීම නිසා ලංකාවේ ද “ඉලංගෙයි තමිල්අරසු කච්චි” හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය ආරම්භ කළ බව අනුමාන කළ හැක.

1960 ගණන්වල සිට මදුරාසි ප්‍රාන්තය තුළ නැවතත් දෙමළ ජාතිවාදය බලසම්පන්න වෙමින් පැමිණි සමයේදී බෙදුම්වාදය වක්‍රව නොව සෘජුවම මර්දනය කිරීම සඳහා ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව විසින් 1963 දී ඉන්දීය ව්‍යවස්‌ථාවේ 16 වැනි සංශෝධනය ගෙන එන ලදී. මෙකී 16 වැනි සංශෝධනය බොහෝ දෙනකු විසින් හඳුන්වන්නේ බෙදුම්වාදයට එරෙහි සංශෝධනය වශයෙන් වුවද එහි බෙදුම්වාදයක්‌ ගැන වචනයක්‌ වත් සඳහන් කොට නැත. කෙටි පනතක්‌ වන එය විසින් කරන්නේ ඉන්දීය “ස්‌වෛරී භාවයට හෝ භෞමික ඒකාග්‍රතාවයට” පටහැනිව කටයුතු කිරීම තහනම් කිරීම පමණි. ඉන්දියාවේ ඡන්දවලට ඉදිරිපත් වන අපේක්‍ෂකයින්ට තමන් විසින් ඉන්දියාවේ ස්‌වෛරීභාවයට හා භෞමික ඒකාග්‍රතාවයට එරෙහිව කිසිවක්‌ කරන්නේ නැති බවට ප්‍රතිඥවක්‌ දෙයි. ඡන්දය ජයගෙන තම තනතුරු වල වැඩ බාරගැනීමට පෙර නැවත වතාවක්‌ ඔවුන් මේ බවට දිවරුම් දෙයි. එම 16 වැනි සංශෝධනය ගෙන ඒමෙන් පසු මදුරාසි ප්‍රාන්තය තුළ කිසිවෙක්‌ දෙමළ බෙදුම්වාදය ගැන එළිපිට කතා කළේ නැත. 1967 සිට අද දක්‌වා තමිල්නාඩුවේ බලය අල්ලාගෙන සිටින්නේ අර පැරණි ද්‍රවිඩ ජාතිවාදී ප්‍රශ්න වලින් පැවත එන දේශපාලන පක්‍ෂ වුවත් අද වන තුරුත් බෙදුම්වාදය ගැන එක වචනයක්‌ වත් දකුණු ඉන්දියාවෙන් ඇසෙන්නේ නැත. ඒ ඉන්දීය ව්‍යවස්‌ථාවේ 16 වැනි සංශෝධනයේ සාර්ථකභාවය කියා පාන්නකි.

ඉන්දීය 16 වැනි සංශෝධනය මෙතරම් සාර්ථක වීමට ප්‍රධානම හේතුව එය විසින් වරද ඉතා පුලුල්ව නිර්වචනය කොට තිබීමයි. එම පනතින් කියවෙන්නේ ඉන්දීය ස්‌වෛරීභාවයට හෝ භෞමික ඒකාග්‍රතාවයට පටහැනි කුමක්‌වත් නොකළ යුතු බව පමණි. ඒ ගැන නිර්වචන කිසිවක්‌ පනතේ නැත. යම් දෙයක්‌ ඉන්දියාවේ ස්‌වෛරීභාවයට හෝ භෞමික ඒකාග්‍රතාවයට හානි ගෙන දෙනවා දැයි තීරණය කරන්නේ උසාවිය විසිනි.

සෑම ඡන්ද අපේක්‍ෂකයකුම ඉන්දීය රාජ්‍යයේ ස්‌වෛරීභාවය හා භෞමික ඒකාග්‍රතාවය රකින බවට දිවුරුම් දීමෙන් පසු ඡන්ද ව්‍යාපාරය ආරම්භ කරන නිසා බෙදුම්වාදී හෝ බෙදුම්වාදයට ආසන්න වන ප්‍රතිපත්තියක්‌ මත ඔවුන්ට ඡන්දය ඉල්ලිය නොහැක. ඡන්ද ව්‍යාපාරය තුළදී කොතැනක හෝ යන්තම් වත් ඉන්දීය ස්‌වෛරීභාවයට හෝ භෞමික ඒකාග්‍රතාවයට හානිකර යමක්‌ පවසා තිබුණොත් දිනාගත් අසුනත් ඡන්ද පෙත්සමකින් අහිමි වීමට ඉඩ ඇත. මේ නිසා ඉන්දියාවේ මොනම දෙමළ ජාතිවාදී දේශපාලන පක්‍ෂයක්‌වත් බෙදුම්වාදයක්‌ ගැන එක වචනයක්‌ වත් පවසන්නේ නැත. ඔවුන් කරන වෙන වෙන ඉල්ලීම් සම්බන්ධයෙන් ද කට පරිස්‌සම් කර ගැනීමට වගබලා ගනී. එයට හේතුව වරද ඉතා පුලුල්ව නිර්වචනය කර තිබීම නිසා මොන ආකාරයේ ප්‍රකාශයක්‌ උසාවිය විසින් වරදක්‌ හැටියට තීන්දු කරාවි දැයි නොදන්නා නිසාය.

උදාහරණයක්‌ වශයෙන් 1985 දී තිම්පු සාකච්ඡාව අතරතුරේදී ලංකාවේ දෙමළ නියෝජිතයන්ට රජිව් ගාන්ධි මහතාම පවසා සිටියේ ඔවුන් ඉල්ලා සිටින දෙය බෙදුම්වාදයක්‌ බවයි. නමුත් එහිදී එක දෙමළ කණ්‌ඩායමක්‌ වත් වෙනම රාජ්‍යයක්‌ යන වචනය පාවිච්චි කර තිබුණේ නැත. ඉන්දීය ව්‍යවස්‌ථාවට අනුව නම් බෙදුම්වාදය යන වචන පාවිච්චි නොකර වුවද ඉන්දියාවේ ස්‌වෛරීභාවයට හෝ භෞමික ඒකාග්‍රතාවයට හානි වන කිසිවක්‌ කළ නොහැක. ලංකාවෙන් තිම්පු සාකච්ඡා වලට ගිය නියෝජිතයන්ට ඉන්දීය නීතිය යටතේ නම් දඬුවම් ලැබෙනු ඇත.

ලංකාවේද බෙදුම්වාදය තහනම් කරමින් පනවන ලද 6 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක වෙයි. නමුත් ලංකාවේ 6 වැනි සංශෝධනයේ ප්‍රධානම දුර්වලතාවය වන්නේ වරද ඉතා නිශ්චිතවම සඳහන් කොට තිබීමයි. ඒ ලංකාව තුළ වෙනම රාජ්‍යයක්‌ බිහිකිරීම ගැන කතා කිරීම තහනම් කිරීමයි. වරද නිශ්චිතවම සඳහන් කර තිබීමේ ප්‍රශ්නය වන්නේ “වෙනම රාජ්‍යයක්‌” යන වචනය පාවිච්චි නොකරමින් එවැන්නක්‌ ඉල්ලා සිටීම ඒ අනුව වරදක්‌ නොවීමයි. ලංකාවෙන් තිම්පු සාකච්ඡාවට ගිය නියෝජිතයන් ඉල්ලා සිටින්නේ වෙනම රාජ්‍යයක්‌ බව රජීව් ගාන්ධිට වැටහුනත් ලංකාවේ නියෝජිතයන් විසින් ලංකාවේ 6 වැනි සංශෝධනය උල්ලංඝනය කොට නොතිබිණි. මේ නිසා අද ලංකාවට අවශ්‍ය වන්නේ 13 වැනි සංශෝධනයට වඩා ඉන්දියාවේ 16 වැනි සංශෝධනය යෑයි කිව හැක.

ඉන්දියාවේ 16 වැනි සංශෝධනය මෙන් ලංකාවේද ස්‌වෛරීභාවයට හා භෞමික ඒකාග්‍රතාවයට හානි කිරීම තහනම් කිරීමෙන් එවැන්නක්‌ සිදු වූවාද නැත්ද යන්න තීරණය කිරීමත් ශ්‍රේෂ්ඨාධිකරණයට භාර කළ හැක. උතුරු නැගෙනහිර ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තු තේරීම් සභාවක්‌ පත් කිරීමට පෙර ඉන්දීය 16 වැනි සංශෝධනයට සමාන සංශෝධනයක්‌ ලංකාවේ ව්‍යවස්‌ථාවට ද ඇතුළත් කළ යුතුය. එවැන්නකින් සිදුවන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරමින් හෝ කිසිවකුට පාර්ලිමේන්තුව තුළදී හෝ පිටතදී ලංකාවේ “ස්‌වෛරීභාවය හා භෞමික අඛණ්‌ඩතාවය”ට හානිකරවන කිසිවක්‌ යෝජනා කිරීමට නොහැකි වීමයි. මෙවැනි ආරක්‍ෂාවක්‌ ලබාගැනීමට අද තිබෙන 6 වැනි සංශෝධනය කොහෙත්ම ප්‍රමාණවත් නැත.

ඉන්දියාවේ 16 වැනි සංශෝධනය ලංකාව අනුකරණය කිරීමෙන් ඇතිවන තවත් ප්‍රයෝජනයක්‌ වන්නේ ලංකාවේ “ස්‌වෛරීභාවයට හා භෞමික අඛණ්‌ඩතාවයට” හානිකර වන්නේ කුමක්‌ දැයි තීරණය කිරීමේ බලය අධිකරණයට හිමි වීමෙන් ඒ ගැන අධිකරණය දෙන තීන්දුව අවසන් තීන්දුව වීමයි. කිසිදු විදේශීය රටකට අධිකරණයේ තීන්දුවක්‌ වෙනස්‌ කරන්නැයි කියා ලංකාවට බලපෑම් කළ නොහැක.

සී. එ. චන්ද්‍රප්‍රේම

Protected by Security by CleanTalk