පසුගිය දිනවල වරින් වර මා විසින් ලියන ලද ලිපිවල හේගල්ව දෙපයින් සිටුවීමට කාර්ල් මාක්ස් ගත් දුබල උත්සාහයේ සිට ශ්‍රී ලංකාවේ මාක්ස්වාදීන් මාක්ස්ව තේරුම් ගත්ත ආකාරයේ වැරදි ස්වභාවය ගැනත් සඳහන් කළා.
ඒ වගේම ඉතාමත් මෑතකදී ලියන ලද ලිපියක මා සඳහන් කළා ශ්‍රී ලංකා සමාජයට වැරදුනේ අපේ පැවැත්මෙන් සම්මා දිට්ඨි සහ සම්මා සති ඉවත්වීම නිසා බව.
හේගල් ඔහුගේ ආපෝහක වාදයෙන් ලොවට ඉදිරිපත් කරන ප්‍රවාදය නැති තැනක ඊට විරැද්ධ ප්‍රවාදයක් ඇතිවෙන්න විදිහක් නැහැ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ තුළ ඊනියා මාක්ස්වාදී නායකයින් නවසිය තිස් ගණන්වලදී ධනවාදයක් දුටුවා. ධනපති පන්තිය භංග වේවා කියමින් පෙළපාලි ගියා.
එවකට ලංකාවේ ධනවාදයක් හෝ සවිඥානික ධනපති පන්තියක් කියා දෙයක් තිබුණේ නැහැ. තිබුණේ යටත් විජිත පාලනයක්. එය පාලනය කළේ එංගලන්තයේ රජු හෝ රැජිණ. යථාර්ථය හඳුනා නොගෙන මහා බ්‍රිතාන්‍යයේ සමාජ ව්‍යුහය ශ්‍රී ලංකාවට ආරෝපණය කිරීමේ වරද නිසා, ඔවුන්ගේ උත්සාහය කිසිදිනෙක ශ්‍රී ලංකා දේශපාලන හා ආර්ථික සන්දර්භය තුළ පැහැදිලි යථාර්ථයක් වුණේ නැහැ.
එම සාවද්‍ය උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස නිර්ධන පංතික ආඥාදායකත්වයක් ගැනද දේශීය මාක්ස්වාදීන් මැත දෙඩුවා. මෙම අදහස් හුදු මනෝ රාජික ස්වභාවයෙන්ම ඉදිරියට ඇදුනා මිස සමාජ ව්‍යූහය හඳුනාගෙන එහි වෙනසක් ඇති කිරීමට වාමාංශික යැයි කියාගන්නා පිරිස්වලට නොහැකි වුණා.
ඒ තුළින් ප්‍රතිප්‍රවාදයක් නිර්මාණය නොවීම නිසා ලංකාවේ සමාජ යථාර්ථයට ගැලපෙන සහවාදයක් බිහි කර ගැනීමට පාලක පිරිසට එරෙහිව ගිය කිසිම බලවේගයකට මේ වන තෙක් හැකිවී නැහැ.
2022 ගාලු මුවදොර ඊනියා අරගල කානිවලයෙන් ප්‍රකාශිත වූයේත් ආපෝහකවාදය තේරුම් ගැනීමට අපොහොසත් වූ පිරිසගේ නිරුවත් බවයි.
සියලුම සටන් අවසන් වූයේ ‘අපි තවමත් හෙලුවෙන්’ කියන උදෘතය සමාජගත කරමින්.
මීළඟට බිහිවන සමාජය කලින් තිබුණු සමාජය තුළ ගැබ් ගන්නා බව මාක්ස් පැහැදිලි කලත් ලිංගික ක්‍රියාවලියකින් තොරව නාභියට ඇඟිල්ලෙන් ඇන ගැබ් ගැන්වීමක් ලෝක ස්වභාවය තුළ නැති නිසා වැඩවසම් යුගය අවසන් කරන ධනවාදයේ බීජය ලක්මවගේ ගැබ තුළට ප්‍රවිෂ්ට වීමක් සිදු වුණේ නැහැ.
ප්‍රතිෂ්ඨාපනය නොවුණු ධනවාදයක ගැබක් සොයා එහි සමාජවාදයේ ශුක්‍රාණුව තැන්පත් කිරීමට ගත් උත්සාහය අවසන් වූයේද ලක්මාතාව නැවත වතාවක් වඳ භාවයට පත් කිරීමකින්.
ශ්‍රී ලංකා ජනතාව වාද කිරීමට රුසියෝ. එහෙත් වාදයක ඇති විද්‍යාත්මක පදනම අමතක කර එසේත් නැත්නම් එය නොදැන කරන ලද වාද විවාද සංවාද සම්මන්ත්‍රණ හරහා සමස්ත ජාතියම නිර්මාණයෙන් තොර වඳ ජනතාවක් බවට පත්කරනු ලැබුවා.
නව සමාජයක් ගැබ් ගැනීම අත්‍යවශ්‍ය මොහොතක කෘතිම සංසේචනයක් මගින් හෝ එය සිදුකර අප බලාපොරොත්තු වන සමාජය බිහිකර ගැනීමට ඉඩ තිබුණා.
මගේ අදහස අපි තවමත් ඊට ප්‍රමාද නැති බවයි.
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD