Spread the News

” අප අතර සදානුස්‌මරණීය වන්නේ රට වෙනුවෙන් දිවිපිදූ සෙබළුන්ය
– වියට්‌කොං හමුදා නායක ජනරාල් වෝ ගීයප්

වන්නි මෙහෙයුමේ සිව්වැනි අනගිභවනීය සමරුව

source:

කොටි පැරදවීමේ විජයග්‍රහණය මැයි 18 දාට යෙදී ඇත. එහිදී අතීතය සිහිපත් කළ යුතුය. ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌ත කණ්‌ඩායම පැරදවිය නොහැකි බව පැවසූවේ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු, මාධ්‍ය පාර්ශව, විදෙස්‌ තානාපතිවරු සහ ඇතැම් දේශපාලඥයන්ය.

ඉන්දීය හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියකුව සිටි කර්නල් හරිහරන්, රෝ ඔත්තුසේවාවේ හිටපු ප්‍රධානි වී රාමන් ඉන්දීය ලේකා ඇනිටා ප්‍රතාප් කොටි බුද්ධි අංශයට සම්බන්ධව බී සිවරාම් නොහොත් තාරකී වැනි පාර්ශවයන් ප්‍රභාකරන්ව අතිශයෝක්‌තියෙන් යුත් පුවත් විකාශනය කරමින් යුධ වීරයකු බවට පත් කරනු ලැබූහ.

ප්‍රභාකරන්ට එරෙහිව යුධ වැදීම දිනිය නොහැකි යුද්ධයක්‌ බවට ද ප්‍රචාරය විය.

ඒ සමගම කොළඹ සිට එල්ලාලන් බලකාය නමින් තර්ජනාත්මක ලිපි රජයේ හා පුද්ගලික ආයතනවලට ලැබූහ.

මේ නිසා බහුතරයේ බොහෝ දෙනා සැලුනි. කොළඹ සිට සැතපුම් 250 ක්‌ ඇතිව වන්නි කැළෑවේ සිට මෙරට දේශපාලනය, ජාතික ආරක්‍ෂාව සහ දේශපාලඥයන් ජීවත් විය යුතුද නැද්ද යයි තීරණය කළේද ප්‍රභාකරන්ය. එහෙත් එදා කිසිවකුත් ප්‍රභාකරන් පුමුඛ කොටි කල්ලිය විනාශ කළ යුතු යයි කීවේ නැත. ඒ වෙනුවට මේ මිනීමරුවාට හඳුන්වනු ලැබුවේ මිස්‌ටර් ප්‍රභාකරන්. ප්‍රභාකරන් මහත්මයා සටන්කාමියා, ගරිල්ලා නායකයා යනුවෙනි. මේ නිවටකම තේරුම්ගත් ප්‍රභාකරන් මම මහින්ද රාජපක්‍ෂට මාස තුනක්‌ කල්දෙනවා. යයි වහස්‌බස්‌ දෙඩීය. ප්‍රභාකරන්ගේ මේ ප්‍රකාශය ඇසූ කොළඹ කුරුඳුවත්තේ රාජ්‍ය නොවන සංවිධානයක්‌ මෙහෙයවන එන්. ජී. ඕ. ප්‍රධානියකු රජය වෙතින්ම ඉල්ලීමක්‌ කරමින් ප්‍රභාකරන් දෙන මේ අවසාන අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගන්නැයි කියා සිටියේය.

මේ අතර 2002 රජය කොටි සමග ඊනියා සටන්විරාම ගිවිසුම් අත්සන් කළේය. ත්‍රස්‌ත මර්දන පණතද අත්හිටවනු ලැබීය. සාමය සඳහා යයි කියමින් ගුවන්විදුලි සම්ප්‍රේෂණ යන්ත්‍රද ලබාදීමට ක්‍රියා කළේය. මුහුදු අභ්‍යාස පැවැත්වීමට නැගෙනහිර මුහුදු කලාපයක්‌ දීමටද එකග විය.

මේ පසුබිම මැද ප්‍රභාකරන් හා ආමර්වීදියේ වීරකේෂරී පත්‍රයේ සේවය කළ ඇන්ටන් ස්‌ටැනිස්‌ලාවුස්‌ හා ප්‍රභාකරන් කිලිනොච්චියේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වීය. ප්‍රභාකරන්ගේ මාධ්‍ය සාකච්ඡාවට කොළඹින් ගිය ඇතැම් මාධ්‍ය පාර්ශවයන් බිම වාඩිවී සිටියේය. එහිදී ප්‍රභාකරන් සැපයූවේ ඊලම් රාජ්‍යයේ අගමැති හා ජනාධිපති තමා බවයි. මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ ඇතැම් මාධ්‍ය පාර්ශවයන් කොළඹට පැමිණි පසු පැවසූවේ ප්‍රභාකරන් සැපයූ මුව මස්‌ සමග රොටි තරම් රසවත් කෑමක්‌ මින් පෙර අනුභව නොකළ බවයි. සතුරාගේ මුවමස්‌ හා රොටි කා පැමිණි මාධ්‍ය පාර්ශව ඉදිරියේ ඇති අනතුර තේරුම් ගත්තේ නැත. මේ වාතාවරණය මැද ව්‍යාජ සාම සාකච්ඡා පවත්වමින් කොටි විදෙස්‌ රටවලට ගොස්‌ බඩු පෙට්‌ටි මෙරටට ගෙනවුත් ඒවා කිලිනොච්චියට ගෙන යැමට රජයේ හෙලිකොප්ටර් පවා ලබාගත්හ. ඒ වනවිට කටුනායක සිට එක්‌ ගුවන් හමුදා නිලධාරියෙක්‌ කරනවෑමි තමිල්සෙල්වම්ගේ සුට්‌කේසයද ගුවන්යානාවට ගෙන යැමට සහය විය.

මේ අතර සටන්විරාම ගිවිසුම අත්සන් කළ රජය පරාජය විය. සටන් විරාම ගිවිසුමද අහෝසි කෙරුණි. ඊනියා සටන් විරාම ගිවිසුම අහෝසි කිරීම නිසා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු සැපයූවේ රජයත් හමුදාව ඉල්ලාගෙන කෑමට සූදානම් වී ඇති බවයි. එහෙත් රජයේ බලධාරීහු හමුදා නායකත්වය කැඳවා සිදු කළ විමර්ශනයේදී ප්‍රභාකරන්ගේ ඉලක්‌කය මුළු රටට තම පාලනයට ගැනීම යයි හෙළිවීය.

වන්නි මෙහෙයුම දියත් වූයේ එම පසුබිම යටතේයි. මේ මෙහෙයුම දියත්වීමත් සමගම මෙරට සිටි ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ පැවසූවේ හමුදා බලයෙන් කොටින්ව පරාජය කළ නොහැකි බවත් හොඳම ක්‍රියාමාර්ගය සාකච්ඡාවලට යාම බවත්ය. මේ අතර රටවල් රැසක සිටින කොටි ඩයස්‌පෝරාව අතිශයින්ම ප්‍රමෝදයට පත්වුහ. ඊට සමගාමීව ප්‍රභාකරන් කළ ප්‍රකාශයක්‌ද විකාශනය විය.

තමාව පැරදවිය හැකි ජගතෙක්‌ ලොව බිහි වී නැතැයි යනුවෙන් ප්‍රභාකරන් පවසා තිබුණි.

එසේම ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ වී බාලකුමාරන් කොළඹ ද්‍රවිඩ පුවත්පතකට ප්‍රකාශයක්‌ කරමින් මෙලෙස කියා සිටියේය.

සිංහලයන්ට කම්පනය ඇතිවන සිද්ධියක්‌ ළගදීම ඇතිවෙනවා. ඔවුන්ට එවිට සිතෙයි අපි මොකක්‌ද කරගත්තේ කියායයි බාලකුමාර් කීවේය.

මේ වාතාවරණය මැඳ සාම්පූර් ප්‍රදේශයට හමුදා මෙහෙයුම් දියත් කිරීමට රජය සැරසෙන බව වාර්තා වූ විගස මෙරට නෝර්වේ තානාපති හැන්ස්‌ බ්‍රට්‌ස්‌කාර් ජනාධිපතිවරයා හමු වී එම මෙහෙයුම නතර කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය. වන්නි මෙහෙයුම යන අතරේ නිව්යෝර්ක්‌හිදී ජනාධිපතිවරයා හමු වී කොටින්ගේ අතිජාත මිත්‍රයාවූ එරික්‌ සෝල්හයිම් පැවසූවේ ප්‍රභාකරන් යුද්ධ කරන සැටි තමා දැක ඇති බවයි.

මේ අතර වන්නි මෙහෙයුමින් ජනාධිපති ආරක්‍ෂක ලේකම් හා හමුදාපති ඉල්ලන්කනු ඇතැයි දෙස්‌ විදෙස්‌ බොහෝ පාර්ශවයන් දැඩි ලෙස විශ්වාස කළහ. හමුදාව ඉල්ලන් කන්නේ කිලිනොච්චිය ආක්‍රමණය කළහොත් බවටද අනාවැකි පළවිය.

ඉන්දීය රෝ ඔත්තුසේවාවේ හිටපු ප්‍රධානී වී රාමන්ද ප්‍රකාශයක්‌ කරමින් ජර්මන් හමුදාව සෝවියට්‌ හමුදාවට බිලි වූ අන්දමටම ශ්‍රී ලංකා හමුදාවද සමූලඝාතනය වනු ඇතැයි අදහස්‌ කළේය.

එහෙත් කිලිනොච්චිය බිඳ වැටුණි. කොටි මුල්ලිවයික්‌කාල් යන නන්දිකඩාල් වෙත කොටු වූ පසු කොටි සංවිධානය දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි සනාථ විය. බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ ඇමැති බර්නාඩ් කුච්නර්ද මෙරටට පැමිණ කොටි නායකත්වය බේරා ගැනීමට කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය. එසේම ඇමරිකානු හිටපු තානාපති රොබට්‌ බ්ලේක්‌ද ඇමරිකානු මැරීන් බලකායක්‌ එවා කොටින්ට මුදාගැනීමටද උත්සාහ කළ බව අනාවරණය විය. මේ අතර කොටි පැරදෙන බව දැනගත් කොටි ඩයස්‌පෝරාව විදේශ රටවල නායකයන් වෙත දැඩි බලපෑම්කරමින් පැවසූවේ ද්‍රවිඩයන් සමූලඝාතනය වන බව නිසා මෙහෙයුම නතර කළ යුතු බවයි. මාරිකොල්වින් නැමැති ඇමරිකානු මාධ්‍යවේදීනියද කොටි බේරාගැනීමට උත්සාහ කළාය.

ඇමරිකාවේ ඡේසි ජැක්‌සන් දකුණු අප්‍රිකාවේ ඩෙස්‌මන්ටුටු අගරදගුරු, ඉන්දියානු ලේකා අරුන්දතී රෝයි කැනඩාවේ හිටපු දේශපාලඥයකු වූ බොබ්රේ ඇතුළු පිරිසක්‌ වන්නි මෙහෙයුම නතර කරන ලෙස රජයෙන් කළ ඉල්ලීමද ප්‍රතික්‍ෂේප වීය.

මේ තත්ත්වය මැද තමිල්නාඩුවේ චිත්‍රපට නළු නිළියන්ද කොටි හිතවාදීන්ද වන්නි මෙහෙයුම නතර කිරීමේ දැඩි උත්සාහයක යෙදුනි.

එම අවස්‌ථාව වනවිට යුනොස්‌ චන්ද්‍රිකාව හා ඇමරිකානු හමුදා චන්ද්‍රිකා කීපයක්‌ විසින් වෙල්ලමුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ තත්ත්වය නිරීක්‍ෂණය කෙරුණි. එහෙත් කන්දිකඩාල් සහ වෙල්ලමුල්ලිවයික්‌කාල් ප්‍රදේශවල සිදුවන්නේ කුමක්‌ද යන්න ගැන එම චන්ද්‍රිකාවලට නිරීක්‍ෂණය නොවුණි.

ඊට හේතු වූයේ කළු දුම්රොටු අහස්‌කුස පුරා පැතිරී තිබීමයි. මෙලෙස දෙස්‌ විදෙස්‌ සතුරන් සහ විදේශ බලවේගවල තර්ජන මැද දියත් වූ වන්නි මෙහෙයුම නිමාවිය. ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය බලසම්පන්න යෑයි ප්‍රචාරය වී තිබියදී සිදු වූයේ කුමක්‌ද යන්න කොටි ඩයස්‌පෝරාවටද අදහාගත නොහැකි විය.

වන්නි මෙහෙයුම සමයේ ප්‍රභාකරන් සතුව න්‍යෂ්ටික අවි ඇති බවටද මෙරට මාධ්‍ය පාර්ශවයන් විසින් ප්‍රකාශ කරනු ලැබීය. 2009 මැයි 19 දා ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාහතක පිරිසට ඔවුන් භාවිතා කළ “බේතම” ලැබුණි. ඒ මෙරටින් තුරන් වීමය. කොටි සංවිධානය විනාශ වී ඇති බවට වාර්තා වූ විගස කැනඩාවේ ඊලම්වාදී කාන්තාවෝ හඬා වැළපුනි.

එහෙත් තිස්‌වසරක ත්‍රස්‌තවාදය මෙරටින් තුරන්විය. බලගතු අවි තිබෙන බව පවසමින් ප්‍රභාකරන් මෙතෙක්‌ කල බොරුව මුළු ලොවටම හෙලිවිය. ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි කල්ලිය සමරන මේ අවස්‌ථාවේ අතිතය සිහිපත් කළ යුතුය. ලොව කිසිම හමුදාවක්‌ මුහුණනොපා එදිරිවාදිකම් රැසකට ශ්‍රී ලංකා හමුදාව මුහුණපෑවේය. ඒ මෙරට අභ්‍යන්තර සතුරන්ගෙනි. නෝර්වේ අරමුදල් මත යෑපෙන මෙරට එන්. ජී. ඕ. කම්පැණියක සේවය කරන්නෙක්‌ කිලිනොච්චිය අද අල්ලනවා හෙට අල්ලනවා යයි කියමින් හමුදා මෙහෙයුම සමච්චලයට ලක්‌ කළේය. මෙවන් පසුබිමක්‌ යටතේ වන්නි මෙහෙයුම විජයග්‍රහණය කළේය. එහෙත් මෙරට බොහෝ දෙනකුට ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය අමතක වී තිබේ.

වන්නි මෙහෙයුම ජයග්‍රහණය කිරීම සඳහා සෙබලුන් 6000 ක අධික සංඛ්‍යාවක්‌ දිවි පිදුවේය. තවත් විශාල පිරිසක්‌ ආබාධිත විය. මව්පියන්ට තම දූ පුතුන් හා බිරියන්ට සිය සැමියන් අහිමිවිය. අද බොහෝ දෙනා කිසිදු බියකින් තොරව ගමන්බිමන් යන්නේ මේ සෙබලුන් තම වර්තමානය හා අනාගතය රට වෙනුවෙන් පිදීම නිසාය.

මෙලෙස රුදුරු ත්‍රස්‌තවාදයෙන් රට බේරාගත් වන්නි හමුදානායකත්වයට දැන් බටහිර රටවල් හා මෙරට කොටි හිතවාදීහු සාවද්‍ය යුධ අපරාධ චෝදනා එල්ල කර ඇත. කොටි සමග එක්‌ව ක්‍රියාකළ ද්‍රවිඩ සංධානයද විදෙස්‌ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධානද ඊට සම්බන්ධ වී සිටී.

මේ තත්ත්වය මැද කොටි ත්‍රස්‌තවාදය පරදවා ජය ලැබූ ජයග්‍රාහී ශ්‍රී ලංකා හමුදාව පරාජිතයන් කිරිමට කොටි ඩයස්‌පෝරාව අතිවිශාල මුදල් සම්භාරයක්‌ වැය කරන බව හෙලි වී ඇත. ඒ සඳහා මෙරට හිටපු බී. බී. සී. වාර්තාකාරිය වූ ප්‍රාන්සස්‌ හැරිසන් හා චැනල් 4 රූපවාහිනියේ අධ්‍යක්‍ෂක කැල්ලම් මැක්‌රේද ඉදිරිපත් වී ඇත. මෙකී විදේශ බලවේග මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිවද සාවද්‍ය ප්‍රචාර දියත්කරනු ලැබීය. එහෙත් ඔහු ඉන් සැලුනේ නැත.

වන්නි විජයග්‍රහණය සමරන මේ අවස්‌ථාවේ යුධ මෙහෙයුමට කිසිසේත් දායක නොවූ පිරිස්‌ තාන්න මාන්න ලබාගෙන ඇත. ඇතැම් සතුරන් රජයේ ප්‍රධානතම අමාත්‍යාශවලටද ඇතුල් වී සිටී.

මෙම වාතාවරණය යටතේ ජයග්‍රාහී හමුදාdව ජාත්‍යන්තර යුධ අධිකරණය වෙත ගෙනයැම සඳහා අභ්‍යන්තර ෙද්‍රdaහීන් හා චරපුරුෂයන්ද උත්සාහ කෙරේ.

මෙරට මාධ්‍ය පාර්ශවයන් රටින් පැනගොස්‌ එම උත්සාහයේ පසුබිමේ සිටී.

කීර්ති වර්ණකුලසූරිය