Spread the News

වයිකෝ, නැදුමාරන් ඇතුළු 400ක්‌
අත්අඩංගුවට චෙන්නායි – ශ්‍රී ලංකා තානාපති
කාර්යාලයට කඩාවැදීමට තැත් කරලා

චතුර පමුණුව

චෙන්නායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කඩාවැදීමට උත්සාහ කළ එම්.ඩී.එම්.කේ. නායක වයිකෝ හා දෙමළ ජාතික ව්‍යාපාරයේ නායක පී. නැදුමාරන් ඇතුළු 400 ක්‌ දෙනා චෙන්නායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වයිකෝ සිය ආධාරකරුවන් සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කඩාවැදීමට උත්සාහ කර ඇත්තේ ඊයේ දිනයේදීය.

ශ්‍රී ලංකා රජය යුද අපරාධ කළ බවට චෝදනා කරමින් වයිකෝ ඇතුළු ඔහුගේ ආධාරකරුවන් සිය ගණනක්‌ චෙන්නායි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කඩාවැදීමට උත්සාහ කර ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය දිය යුතු බව කියමින් වයිකෝ පසුගියදා ඉන්දීය රජයට බලකර සිටියේය.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ වයිකෝ ඇතුළු කොටි හිතවාදීන් මේ කාර්යාලය වසා දැමිය යුතු බව ද ප්‍රකාශ කර ඇත.

තමිල්නාඩුවේ දේශපාලන පක්‍ෂ රැසක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය දිය යුතු බව ප්‍රකාශ කරති. තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් මෙන්ම විපක්‍ෂ නායක එම්. කරුණානිධි ද ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය දිය යුතු බවට දිල්ලි ආණ්‌ඩුවට බල කරති.