වලගම්බා ලතෝනිය !
කලක් මා මෙහි රජහුය හෙවත් මේ බිමේ භාරකරුවා වුනෙමි. රජු යනු කවුරුදැයි මම එදා උඹලාට පෙන්වුවෙමි. වැලනොකැඩී පැමිණි සතුරා මාගේ ඉහටත් උඩින් පියඹාගිය බව සැබෑව. මම පසුබැස්සෙමි. ඒ රජකම හෙවත් මගේ මිනිසුන් මට භාරදුන් වගකීමෙන් පලායා ගොස් සැඟවීමට නොව මට භාරදුන් වගකීම නොපිරිහෙලා ඉටු කිරීම වෙනුවෙනි.
දින ගණන් , සති ගණන් , මාස ගණන් , අවුරුදු ගණන් මම සැඟව හුන්නෙමි. ඒ සතුරාට අවශ්‍ය හයිය මට ලැබෙනා තුරු පමණි. ඒ මදිවාට නියං සාය. දහස් ගණන් මහා රහත් හු පිරිනිවන් පානා අයුරු ගැන මට දැනගන්නට ලැබුණි. ඇතැමෙක් සාසනයාගේ චිරස්ථිතිය වෙනුවෙන් රට හැර යනු අසන්නට ලැබුණි. රජ බොජුන් නොව කර කොළ මා අනුභව කලෙමි. මාගේ රැකීම මා හට සුඛ විහරණය පිණිස නොව රටේ සුඛ විහරණය , ජාතියේ සුඛ විහරණය සහ සාසනයාගේ සුඛ විහරණය පිණිස පවතින බව මම හොඳාකාරවම අවබෝධකොට ගෙන සිටියෙමි.
මට හයිය ලැබුණි. පහර පිට පහර දුනි. සතුරා කම්මුතු කරවුවෙමි.
පුදුමයකි ! වැසි දිය හැලෙන්නට විය. වැව් අමුණු පිරුණි. ගහ කොළ ගැබ්බර වූනි. කුඹුරු පොපියනු පෙනිණි. පෙර මෙන් කුරුලන් ගුවන කළඹන්නට වුනි. මල් පුදින්නට වුනි. පඳුරක් ගානේ වූ කුරුළු කිරිලියන්ගේ අතෝරක් නොමැති කිචි බිචිය නොනැවතී නඳ දුනි. තව්තිසාව මිහිපිට මැවුනි.
ගොවි ගෙවිලියන්ගේ පා ගමන් ඇරඹුණි. හරියට සිරි පතුල් සිඹින්නට ගලන සුදු සමනල් රෑන් මෙනි. සාදු …!. සාදු…! හඬ ගිගුම් දුනි. විහාර පිබිදුනි. ඝන්ටාව නොනැවතී නඳ දෙන්නට විය. සීලය රැකුනෙමි. සමාධිය වැඩුණි. පඤඤාව පෑදුනි, නැවතත් පුරය සුරයන්ගෙන් පිරි ඉතිරි යනු පෙනිණි.
මාගේ කොටහ මම අහවර කලෙමි. මට භාරදුන් වගකීම මා අඩුවක් නෑර නොපිරිහෙලා ඉටුකෙරුවෙමි.
මා ස්වර්ගප්‍රාප්ත වූවෙමි.
අද මම තොප කරන්නේ කුමක්දැයි ඉහල සිට බලා සිටිමි !
කුසගිනි නිවාගනු පිණිසම නොව පමණ ඉක්මවා ගොස් අහිංසක ප්‍රාණීන් ගේ දිවි තොර කිරීම් වලින් පෙට්ටි පුරවාලනු පෙනිණි. නොදුන් දේ ගැනීම සම්මත වනු පෙනුනි. කිරිසප්පයා ගේ සිට හෙට මැරෙණ මහලා\මැහැලිය දක්වා උන්ගේ දින නොදන්නා සේ එක්ව හැසිරෙනු දුටිමි. හිරිකිතයක් නොමැතිව මුසාව වපුරනු පෙනුනි. ගුබ්බෑයම් පිරී ඉතිරෙනු පෙනුනි.
අහෝ …..! මා දිනු බිම. ධාතු මංජුසාව. මාගේ පුණ්‍ය ඉම. ස්වර්ගගාමිත්වයේ තෝතැන්න. එපමණද ? නැවත කිසිදින නොවිඳිනා සැපතක් හිමි වූ මා මව් බිම.
කිරි පැකට්ටුවට මිල කරනා අයුරු දුටිමි. පා සඟලකට මිල කරනවා දුටිමි. සරොම් කෑල්ලකට මිල කරනවා දුටිමි. ටකරං තහඩුවකට , මාළු ලෑල්ලකට , මාංශ බොජුනකට , රහ මෙර උගුරකට ලංසු තබනවා දුටිමි.
මෙය කෙසේ නම් විඳදරා ගන්නද ?
ගත රුහිරු, වත මාංශ පුජාසනයේ තබා මා මුදාගත් මාතෘත්වය.
මෝඝයිනි !
කනා මැණිකක අගය නොදන්නා සේ පියවි ඇස් ඇති තොපි “නවීනත්වයෙන්” අන්ධව ගොස් සිටිති. අන්ධ කරලනු ලැබ සිටිති. තොපි කරන්නේ තොපගේ මෑණියන් වහන්සේ මිල කිරීමයි. මෙතරම් ඤානවන්තයන් ලොව කෙතරම් සිටිද්දීත් තාවකාලික සැපතකට ලොල් වී සදාකාලික සැපතකට පා පහරක් එල්ල කරන්නා වූ තොපි වැනි මිනිසුන් ට මේ උතුම් බිම වැඩ සැලසුවේ ඇයි ?
ස්තුතියි !