Spread the News

ව්‍යාජ විදේශ රැකවරණ පතන්නන් පිළිබඳ පොලිස් පරීක්ෂණ…

source:

ලංකාවේ උතුරු ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයින් ගෙන් සෑහෙන පිරිසක් තමන්ට ආරක්ෂක හමුදාවන්ගේ හෝ ‍වෙනත් බලධාරීන්ගේ තර්ජනයන්ට මුහුණදීමට සිදුවන බව පවසා රජයේ නියෝජිතයින්ගේද සහයෝගය ඇතිව ව්‍යාජ ලිපි ලේඛන සකසා ගෙන ඇති බව අනාවරණය වී ඇත. මේ ආකාරයෙන් ලබාගන්නා ලද ලිපි ලේඛණ උපයෝගී කරගෙන තමන් ආරක්ෂක හමුදාවන්ගේ තර්ජනයන්ට ලක්වූ බවට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ කොමිසම් සභාවට පැමිණිලි කොට ඒ මාර්ගයෙන් බටහිර රටවල පදිංචියට යාම සඳහා අවශ්‍ය වීසා ලබාගැනීම මොවුන්ගේ උපාය මාර්ගය වී තිබේ.

චූදිතයන් පිළිබඳ විස්තර :

2012 පෙබරවාරි 28 දින වව්නියාව පොලීසිය මගින් එසේ නීති විරෝධී ලෙස පවත්වාගෙන යනු ලැබූ ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන මධ්‍යස්ථානයක් වටලනු ලැබූ අතර එහිදී ව්‍යාජ ලියකියවිලි සකස් කිරීම සඳහා භාවිතා කරන ලද රබර් මුද්‍රා ඇතුලු උපකරණ රැසක් අනාවරණය කර ගන්නා ලදි. එසේම මේ සම්බන්ධයෙන් වව්නියාව තේක්කවත්තේ පදිංචි ඩී.එම්.එම්. මද්දුමබංඩාර හා වව්නියාව මඩුකන්දේ පදිංචි ඒ. ඒකනායක යන අයවලුන් වව්නියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

මෙහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් භාරයේ තිබී යම් යම් පුද්ගලයින් පරීක්ෂණයන් සඳහා හමුදා කඳවුරු වෙතට කැඳවන ආකාරයෙන් ව්‍යාජව සකසන ලද ලිපි හමුව ඇත. මෙම ලිපිවල ශ්‍රී ලංකා ජනරජ ලාංඡනය, ව්‍යාජ නිළ ලාංඡන, ව්‍යාජ ලිපි ශීර්ෂ, ව්‍යාජ රබර් මුද්‍රා ආදිය හා සත්‍ය ලෙස කිසිසේත් නොමැති හමුදා කඳවුරු නාමයන්ද භාවිතා කර තිබුණි.

චූදිතයන් භාරයේ තිබී අනාවරණය  කර ගන්නා ලද ව්‍යාජ ලිපි ලේඛණ

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යන විටදී චූදිතයන් විසින් මෙවැනි ව්‍යාජ ලිපි ලේඛණ බටහිර රටවල දේශපාලන රැකවරණ සොයා ගෙන යන පුද්ගලයින් වෙත නිකුත් කර ඇති බව අනාවරණය වී ඇත. මෙම සෑම වරදක් සඳහාම වව්නියාව මහේස්ත්‍රාත් උසාවිය විසින් චූදිතයන් වෙත රුපියල් 10,000/= බැගින් දඩ මුදල් නියම කරනු ලැබීය. අත්අඩංගුවට ගත් පුද්ගලයින් භාරයේ තිබී සොයා ගන්නා ලද ව්‍යාජ ලිපි ලේඛණ සාදා ගැනීම සඳහා භාවිතා කරන ලද රබර් නිල මුද්‍රා ඇතුලු උපකරණ වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 308/2012 යටතේ නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරනු ලබන අතර මේ පිළිබඳව වැඩිදුර විභාගය 2012 ජූලි මස 09 දිනට නියමිතය.

සබැඳි සිදුවීම් :

මෑතකදී යාපනය නගරාධිපති හමුවීමට ගිය ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු දැනට විදේශයක පදිංචි තම දරුවන්හට ආරක්ෂක හමුදාවන් වෙතින් තදබල ලෙස තර්ජනවලට මුහුණදීමට සිදුව ඇති බව පවසා ඒ සම්බන්ධව සඳහන් කරන ලද නීත්‍යානුකූල ලිපියක් තමන් හට ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වීමේදී හෙලිවී ඇත්තේ මෙම ව්‍යාපාරිකයාගේ දරුවන් බටහිර රටවල උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවී සිටින බවත් මේ වන විට ඔවුන්ගේ වීසා කල් ඉකුත්වීමට නියමිත බවත්ය. මේ සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ දරුවන් එම රටවල නීතිඥයින් හමුවී උපදෙස්ද පතා ඇති අතර එහිදී නීතිඥයින් විසින් දී ඇති උපදෙස වී ඇත්තේ මෙරට තුළ දී ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇති බව සනාථ කිරීමට හැකිනම් ඔවුන්ගේ වීසා අළුත් කර ගැනීමට එය පිටුවහලක් කරගත හැකි බවය.

මෙවැනි ක්‍රියාවල යටි අරමුණ වනුයේ ශ්‍රී ලංකා රජය හා ආරක්ෂක හමුදාවන් විසින් දිනාගන්නා ලද කීර්ති නාමය පළුදු වන ආකාරයෙන් ක්‍රියාකොට මෙවැනි පුද්ගලයින් විසින් තම ඥාති මිත්‍රාදීන් දේශපාලන රැකවරණය පතා බටහිර දියුණු රටවල් කරා සංක්‍රමණය කරවීමයි.

ව්‍යාපාරිකයා විසින් ග්‍රාම නිලධාරිවරයාගෙන් ලබා ගන්නා ලද ලිපිය

ඉහත සිද්ධියේ සත්‍ය කරුණු අනාවරණය කර ගැනීමත් සමගම ඉහත සඳහන් කළ ව්‍යාපාරිකයා විසින් තමාට හෝ තම දරුවන්ට කිසි දිනෙක ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ගේ කිසිදු කරදර හෝ හිරිහැරවලට භාජනයවීමට සිදුනොවු බව පිළිගන්නා ලද අතර තමාගේ එකම අභිප්‍රායවූයේ තම දරුවනට තව දුරටත් විදේශයක රැඳී සිටීමට හැකි වාතාවරණයක් උදා කර දීම බව ඔහු විසින් පවසා ඇත.

තම පළමු උත්සාහය ව්‍යර්ථවීමෙන් අනතුරුව මෙම කරුණු ප්‍රසිද්ධියට පත්වීම වැලැක්වීම සඳහා අසාර්ථක ප්‍ර්‍යත්නයක යෙදෙමින් මෙම ව්‍යාපාරිකයා විසින් පවසා ඇත්තේ ‘මෙරටින් සරණාගතයින් ලෙස බටහිර රටවලට යන සියලුම දෙනා පාහේ අනුගමනය කරන්නා වූ සාමාන්‍ය පිළිවෙත මෙය වන බවය. එසේම මෙම කරුණ සඳහා තමන් විසින් මීට ඉහතදී ප්‍රදේශයේ සිටින එක්තරා ග්‍රාම නිලධාරීවරයකුගෙන් ගන්නා ලද ලිපියක්ද මෙහිදී මොහු විසින් පරීක්ෂණ කමිටුව වෙත මෙහිදී ඉදිරිපත් කර ඇත.

මෙම අනාවරණය කිරීම් තුළින් අප බලාපොරොත්තු වනුයේ ඇතැම් පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් තම පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව වෙත එල්ල කරනු ලබන අභූත චෝදනාවන්ගේ සැබෑ ස්වරූපය විදහා දැක්වීමයි.