Spread the News

‘වැරදි කළ පුද්ගලයින්ට තරාතිරම
නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න’

ජනාධිපති ප්‍රකාශ කරයි

[youtube=http://www.youtube.com/watch?v=2mPo8JFY_Ew&w=420&h=315]

අනුර බාලසූරිය

බොලිවියාවේ නිල සංචාරය නිමකර ඊයේ (18 වැනිදා) පෙරවරුවේ දිවයිනට පැමිණි විගස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල ඇතිවූ තත්ත්වය සොයාබැලීම සඳහා පිටත්ව ගියේය.

බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ දහවල් ප්‍රදේශයේ ආගමික නායකයන්, රාජ්‍ය නිලධාරීන් සහ විවිධ සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්‌වීමට සහභාගි වූ ජනාධිපතිවරයා වැරදි කළ පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමටත් හානිවූ නිවාස සහ දේපළ යළි සකස්‌ කරදීමට පියවර ගන්නා ලෙසටත් රජයේ නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය.

විවිධ පුද්ගලයන්ගේ අරමුණු ඉටු කිරීම සඳහා දැනුවත්ව හෝ නොදැනුවත්ව කටයුතු නොකරන ලෙසට තමා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවැසූ ජනාධිපතිවරයා නැවත වරක්‌ කළු ජූලියක්‌ රට තුළ ඇතිවීමට ඉඩනොතබා කටයුතු කරන්නැයිද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

වසර 30 ක්‌ තිස්‌සේ යුද්ධයෙන් බැට කෑ අප යළිත් ගැටුම් ඇතිකරගෙන රට තුළ පවතින සාමය විනාශ කරගැනීමට පියවර නොගතයුතු බව පැවසූ ජනාධිපතිවරයා මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් යළිත් ඇති නොවන පරිදි කටයුතු කරන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කීය.

මෙම අවස්‌ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා, වරාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන, පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන්, යුද හමුදාපති දයා රත්නායක යන මහත්වරුද සහභාගි වූහ.