Spread the News

[youtube https://www.youtube.com/watch?v=spBXxT5dVf0&w=420&h=315]

වික්‍රමබාහුට 1982 සිට හිඟ වැටුප් හා උසස්‌වීම්

ජයසූරිය උඩුකුඹුර

නව සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ඔහු දැරූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරේ 1982 සිට ක්‍රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිටුවා හිඟ වැටුප් හා උසස්‌වීම් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

නව සමසමාජ පක්‍ෂ කොළඹ කාර්යාලයේ ඊයේ (02 දා) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව කරුණාරත්න මහතා අනාවරණය කළේය. තමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුව සිටියදී 1978 ඡේ. ආර්. ජයවර්ධන මහතා ඉදිරිපත් කළ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව සටන් කිරීමේ හේතුවෙන් රැකියාවෙන් නෙරපූ බව ද පසුව කරන ලද අභියාචනා සලකා නැවත සේවයේ පිහිටුවුවද 1982 පැවැති ජනාධිපතිවරණයට එරෙහිව සටන් වැදීම නිසා නැවත රැකියාව අහිමි වූ බව ද කරුණාරත්න මහතා සඳහන් කළේය.

එදින සිට අභියාචනා කළත් ඵලක්‌ නොවූ අතර 2001 දී එවකට උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සරත් අමුණුගම මහතා තමන් නැවත සේවයේ පිහිටුවන ලෙස දුන් නියෝගය ද ක්‍රියාත්මක නොවූ බව ද ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වුවද වත්මන් ජනාධිපති මෙම තත්ත්වය හොඳින් අධ්‍යයනය කර 2001 වර්ෂයේදී සරත් අමුණුගම උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ අනුව 1982 වර්ෂයේ සිට තමන්ට හිඟ වැටුප් හා උසස්‌වීම් ලබා දීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද ඔහු පැවැසීය. තමන් නැවත සේවයේ පිහිටුවීමට නියෝග කළ ද තමන් දැනට රාජ්‍ය සේවයේ නියමිත වයස ඉක්‌මවා ඇති බැවින් විශ්‍රාම ගන්නා බව ද කරුණාරත්න මහතා සඳහන් කළේය.