Spread the News

විග්නේෂ්වරන් සාම හමුදාවක්‌ ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය

උතුරේ නිසි පාලනයක්‌ නැති බව දක්‌වමින් එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවක්‌ මේ රටට ගෙන ඒමේ අරමුණින් උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් උතුරට ජාත්‍යන්තර මැදිහත්වීම ලබා දෙන්නැයි පොදු රාජ්‍ය මණ්‌ඩල කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිනී ජොයිස්‌ ඇනෙලි සාමිවරියගෙන් ඉල්ලා ඇත. එහෙත් විග්නේශ්වරන්ගේ මෙම ඉල්ලීම කෙරේ බ්‍රිතාන්‍ය ඇමැතිනිය ප්‍රතිචාර දක්‌වා නැත.

උතුරට ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ ලබාදෙන ලෙස කළ ඉල්ලීමට සමගාමීව උතුරේ ශ්‍රී ලංකා හමුදාව රැඳී සිටීම ගැන ද විග්නේශ්වරන් ඇයට පැමිණිලි කර ඇත.

උතුරු මහ ඇමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ආර් 2 පී නමැති ක්‍රමවේදයට අනුවය.

මෙම ක්‍රමවේදය යටතේ රටක ජනතාව ආරක්‍ෂා කිරීමට රජයට නොහැකි නම් ඊට ජාත්‍යන්තරව මැදිහත්වී එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවක්‌ එවීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට බලය හිමි වේ.

උතුරේ ක්‍රියාත්මක වන ආවා ගෲප් කල්ලියේ ක්‍රියාකාරකම්වලට මුවාවී විග්නේශ්වරන් එම ඉල්ලීම කර ඇත.

මෙයට පෙර කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිනියක වූ රාමා මානි එක්‌සත් ජාතීන්ගේ හමුදාවක්‌ මෙරටට ගෙන ඒමට දැරූ උත්සාහය ව්‍යර්ථ වූ අතර ඇයව රටින් පිටුවහල් කර තිබේ.

මේ අතර උතුරේ ආරංචි මාර්ග පැවසුවේ ආවා ගෲප් කල්ලියට සම්බන්ධ බවට සැකකර අත්අඩංගුවට ගත් 10 දෙනා අතර විග්නේශ්වරන්ගේ දෙමළ පිබිදීම ව්‍යාපෘතියේ ක්‍රියාකාරියකු ද සිටින බවයි.