Spread the News
විජේදාසගේ පනතට එරෙහිව හෙළ උරුමය පක්‍ෂ නායකයින් හමුවේ
source:
භික්‍ෂූන්වහන්සේලා මැතිවරණ තරඟ කිරීම තහනම් කිරීමේ අරමුණින් විජේදාස රාජපක්‍ෂ ගෙනා පනත පිළිබඳ අවසාන තීන්දුව ගතයුත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් බැවින් පක්‍ෂ නායකයින් හමුවී මේ පිළිබඳ කරුණු දැක්වීමට හෙළ උරුමය තීරණය කර තිබේ. ඒ අනුව මුලින් හමුවුණේ ශී‍්‍රලනිපය, එජාපය සහ සමසමාජ පක්‍ෂයයි.

ජනපති පනතට විරුද්ධයි.

පසුගිය සිකුරාදා උදෑසන හෙළ උරුමයේ නායකයින් ජනපතිතුමන් හමුවූයේ ශී‍්‍රලනිප නායකයා ලෙසයි. එම හමුවට හෙළ උරුමය නියෝජනය කරමින්  ඕමල්පේ නාහිමි, රතන හිමි, චම්පික, උදය සහ නිශාන්ත සහභාගී වූහ. මෙහිදී විජේදාසගේ පනත පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිතුමන් පැවසුවේ තමන් මේ පනතට විරුද්ධ බවයි. භික්‍ෂු දේශපාලනය නීතියෙන් තහනම් කිරීමට තමන් එකඟ නොමැති බවත් එය භික්‍ෂූන් වහන්සේලා ගතයුතු තීන්දුවක් බවත් එතුමා පැවසීය.
මෙහිදී රතන හිමියන් පැවසුවේ අස්ගිරි විහාරයේ පිංකමින් පසු තමන් ජනාධිපතිතුමන් සමග එකම හෙලිකොප්ටරයේ කොළඹ පැමිණි බව පවසමින් ඔබතුමා මේ පනතට පක්‍ෂ බව විජේදාස අඟවන බවයි. එවිට ජනාධිපතිතුමන් පැවසුවේ ”පිස්සුනේ, මම ආවේ මහින්දානන්ද එක්ක මිස විජේදාස එක්ක නොවේ. එයා ඇවිත් කොළඹට යන්න හදිසියි කිව්වාම මගේ බැක්අප් හෙලිකොප්ටරයේ ආරක්‍ෂකයොත් එක්ක එන්න කිව්වා. ”
”අපි මේ පනතට අභියෝග කළාම අපිට හොර නඩය කියලා අපහාස කළා. ඒත් අපි නම් හොරකම් කරලා නැහැ. හැබැයි එයා නම් ආදායම් බදු ගෙවීම පැහැර හැරලා 1999 දී රු.60,000ක දඩයක් කාලා තිබෙනවා.” චම්පික එහෙම පවසමින් ආදායම් බදු කොමසාරිස්ගේ 1999 වසරේ පරිපාලන වාර්තාවේ 48වන පිටුවට ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු කළේය.
එවිට හඬ අවදි කළ උදය පැවසුවේ ” විජේදාස 2005 දී රුහුණු විශ්ව විද්‍යාලයේ එම්ඒක්‍යු විභාගයට ලියලා තියෙන්නේ ශාලාවට යන්නේ නැතුව මාහාචාර්ය එස් වාව්වගේ කාමරයට යාබද කාමරයේ ඉඳන්. මේ පිළිබඳ සිඅයිඞීය පරීක්‍ෂණයක් පටන් අරන් හැමෝගෙන්ම කටඋත්තරයක් ගත්තා. නමුත් විජේදාසගෙන් කටඋත්තරයක් ගන්න කලින් පරීක්‍ෂණය බලපෑමකින් නැවතිලා.”
මෙහිදී ජනාධිපතිතුමා පැවසුවේ තමන් පරික්‍ෂණය ගැන දන්නා බවත් තමන් සුදනා කියා මොරදීම හොරුන්ගේ ලක්‍ෂණයක් බවත්ය. කඩිනමින් එම පරීක්‍ෂණය යලි ඇරඹීමට මෙහිදී ජනාධිපතිතුමා හෙළ උරුමයට පොරොන්දු විය.
පනතේ තිබෙන්නේ විජේදාසගේ මතය මිස එජාපයේ මතය නොවේ.

හෙළ උරුමය ඉන්පසු පසුගිය සඳුදා මුණගැසුනේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සහ මහලේකම් තිස්ස අත්තනායක මහත්වරුන්ය. එජාප නායකයින් පැවසුවේ විජේදාසගේ පනතින් පිළිඹිබු වන්නේ ඔහුගේ පෞද්ගලික මතය මිස එජාපයේ මතය නොවන බවයි. මෙම පනත පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කළ පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම රැස්වී පක්‍ෂයේ මතය තීරණය කරන බවත් එදිනට හෙළ උරුමයේ නායකයින්ට ද පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ කරුණු දැක්වීමට අවස්ථාවක් ලබාදිය හැකි බවත් එජාප නායකයෝ හෙළ උරුමයට දැනුම් දුන්හ.
මෙහිදී ජේ්‍යෂ්ඨ නීතිඥයෙකු වන විපක්‍ෂ නායකතුමාට උදය පෙන්වා දුන්නේ මෙම කෙටුම්පතින් විජේදාස නීතිය නොදන්නා බව හෙළිවන බවත් භික්‍ෂූන්වහන්සේ අයත් වන්නේ පූජ්‍ය පක්‍ෂයට මිස පූජකයින්ට නොවන බවයි. මෙහිදී අර්ථකතන නීතිය පිළිබඳ දිගු විස්තරයක් කළ විපක්‍ෂ නායකතුමා ඉංගී‍්‍රසි බසින් යොදා ඇති පී‍්‍රස්ට් යන්නට කලර්ජි යන පදය යෙදිය යුතු බව පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ ගිහි පූජකයින් කි‍්‍රස්තියානි නිකායන්හි සිටින බැවින් ”පැවිදි” යන පදය ද නොගැලපෙන අතර සිංහලෙන් යෙදිය හැකි තනි පදයක් නොමැති බැවින් ”පූජ්‍ය සහ පූජක දෙපාර්ශවය” ලෙස කෙටුම්පතේ දැක්විය යුතුව තිබුණු බව පැවසීය. මෙහිදී හෙළ උරුමයේ නායකයින් පැවසුවේ විජේදාසට ඔබතුමාගෙන් නීති උපදෙස් අවශ්‍ය බවයි.
සමසමාජයත් විරුද්ධයි.


සඳුදා දිනයේම හෙළ උරුමය තිස්ස විතාරණ ඇමතිතුමා සහ බද්දේගම සමිත හිමි ඇතුළු සමසමාජ නායකයින්ද මුණ ගැසිණි. භික්‍ෂූන් වහන්සේලා පක්‍ෂ දේශපාලනය ඇරඹුවේ සමසමාජයෙන් බව පැවසු විතාරණ මේ පනතට එරෙහිව සමසමාජය දැනටමත් කටයුතු අරඹා ඇති බව පැවසීය. මෙහිදී සමිත හිමි පැවසුවේ හෙළ උරුමයේ මත්ද්‍රව්‍ය පාලන පනතින් ජාවාරම්කරුවන්ට රිදුන බැවින් ඔවුන්ද මේ කුම්න්ත‍්‍රණය පිටුපස සිටිය හැකි බවයි.