Sat. Jan 18th, 2025
Spread the News

මා පොලව. එය මා වෙනුවෙන්මය. දිය සීරාව මා පිණිසමය. සුළඟ. මා පිණිසමය.  

මොනවා ?

පොලව යනු ලොව සියලු බිම්ය. දිය යනු ලොව සියලු දිය කඩිතිය. සුලඟ. ලොව සියලු ප්‍රානින්ගේ ගේ ප්‍රාණ වායුව.

එසේ නම් මගේ පොලව අන් පොලවක්ම නොවේද ? මගේ දිය දහර අන් දිය දහරක්ම නොවෙයිද ? මගේ සුළඟ අන් සුළඟක් මෙන්ම නේද ?

නැත.

පොලව ! පොලව යනු මෙහි හුදු බෞතික පොලව පමණක්ම නොව අධ්‍යාත්මය සතු වූ පොලවයි !

ඔබ එසේ ප්‍රකාශ කරන්නේ කෙසේද ? කවර අරමුණකින්ද ?

පොලවේ බෞතිකය මේ ආකාරය. පොලවේ රසායනය මේ ආකාරය. ඒ නයින් මේ පොළවත් අන් පොලවක්මය.  නවීන වියත් රැල්ල ඒ ආකාරයය.

උගතුනි !  අන් රාජ්‍යන්හි “නුගතුන් ගේ” ඉගැන්වීම් වලින් තම හිස් පුරවා උගතුන් යයි කියා මේ පොළවත් ඒ පොලවට සමානය කියා කෑ මොර දෙන උගතුන්ගෙන් පිරි මෙවන් යුගයක ඒ පොලව මෙන් නොව මේ පොලව මත පය තැබීමටවත් වාසනාවක් කෙනෙකුට තිබිය යුතු යයි යන හැඟීම මෙවැනි වූ මිනිසුන්ට නොතේරෙන්නේ අන් බිමක ලියාපදිංචි කල “උගත්කම” සහ ඒ වෙනුවෙන් දුන් පුස්තක කැබැල්ලක් උගත්කමේ ඔප්පුව ලෙස භාවිතයට ගැනීමේ හේතුවෙනි.

නමුත් ,

ඇයි ?

බලන්න ! ඉතිහාසය පුරාවට මිනිසා පොලව යොදා නොයෙක් නිර්මාණ කල බව රහසක් නොවේ. මිනිසා පොලව යොදාගත්තේ බෞතිකය සඳහායි නැත්නම් මිනිසාගේ රාගය , ද්වේශය සහ මෝහය ඇවිස්සීම සඳහාය. හෙවත් මිනිසාගේ පැවැත්ම උදෙසාය. මිනිසා පොලවට පැමිණි දා සිට “නැවත්මක්” උදෙසා පොලව භාවිතා කොට ඇත්ද ? නමුත් වසර දෙදාස් ගානක් තිස්සේ මෙම පොලව යොදාගෙන පොලව මත කර ඇති නිර්මාණ දෙස බලන්න.

පොළවෙන් අධ්‍යාත්මය මතුකළා වූ මිනිසුන් ජීවත්වන්නේ මේ පොළවෙහිය. එදා සිට ඔවුන් මෙම පොලව යොදාගෙන එහි කර ඇත්තේ රාගය ද්වේශ සහ මෝහය නිවී යන ඉදිකිරීම්ය. එය සතු වසර දෙදාස් ගණනක ඉදිකිරීම් දෙස බලන්න. ඒවායින් මුළු ලොවටම කියාපාන්නේ බෞතිකය නොව මිනිසාගේ අධ්යාත්මයයි. ලොව පොලවක් යොදා බෞතික නිර්මාණ පමණක් නිර්මාණය වන සහ වී ඇති ලෝකයේ පොලවට අධ්‍යාත්මික ස්වරුපයක් ලබාදුන්නේ මේ පොලව මත හුන් මිනිසුන්ය. එම අධ්‍යාත්මික වූ ප්‍රතිපදාව කරණකොටගෙන පොළවෙන් සදහටම මිඳී ගියා වූ උත්තම ඝනයේ මිනිසුන් ගේ තෝතැන්නත් මේ මිහිතලයමය. ඔවුන්ගේ අප්‍රමාන ශ්‍රී ශරීර මිහිදන්වී අතිශයින් පුජනීයත්වයට පැමිණියාවූ බිමයි මෙම පොලව.

ඒ අතින් මෙම පොලව අන් පොලව මෙන්මද  ?

ලොව බෞතික පොලව යොදා එදා මෙදා තුර මිනිසකු තුල සැඟවී හුන් අධ්‍යාත්මය ලොවට හෙළිකොට , විවෘත කොට දැක්වුයේ මෙහි උන් විසින්ය. 

එය එසේ නම් , ඔබ මේ පොලව අන් පොළවක් හා සම කරනවා නම් ……..?

මිලකිරීමක් තබා කෙල පිඩක් හෝ ලෑමට නුසුදුසු වූ මේ අධ්‍යාත්මික වූ පොලව අන් පොලවකට සම කිරීම හෝ සංසන්දනය කිරීමට හැකි අයෙක් ලොව කොතැන නම් සිටීද ?

ජලය ! ජලයේ රසායනය මෙයයි. එනිසා ජලය ඇත්තේ කොතනද ඒ ජලය එක හා සමානයි. ජලය යනු පිපාසාව නිවාගැනීම උදෙසා යනු වත්මන් උගත් වියතුන්ගේ නිර්වචනයයි.

ජලය යනු පිපාසාවක් සමනය කිරීමක් පමණක් උදෙසාද ?

මේ දිය දහර දෙස බලන්න !    උගතුන්ට පිපාසාවකට පමණක් යන අර්ථයෙන් හෙබි මේ පොලවේ ජලය කරනා වික්‍රමය දෙස බලන්න. ජන සාගින්න නිවීම සඳහා වසර දහස් ගණනක් පුරාවට මෙහි වූ ජලය පුරවාගත් ආකාරය මින් මොනවට  දිස්වේ.  උගතුන් ජලය පිපාසාව සඳහා යයි කියනා විට ජලය වසර දෙදාස් ගණනක් පුරාවට ප්‍රජාවකයේ කුසගින්න නිවීමක් උදෙසා මෙතරම් අපුරුවට යොදාගත් වෙනත් භූමියක් ලොව පවතීද ?

එපමණක්ද ?

මිනිසකුගේ මරණින් මත්තෙහි නැවත උපදනා මිනිසත් භවයකදී හෝ අන්‍ය වූ උපතකදී ජලය ඔහුට හමුවිමේ ප්‍රතිපදාවක් ඇත. එම ප්‍රතිපදාව තවමත් සුරැකිව ඇත්තෙත් මෙහිය. ඒ වෙනුවෙන් අදටත් මෙහි උන් විසින් කරනා ආමිස පුජාවන් නොසිඳී \  නොකැඩි වත්මනේදී ද එලෙසම සිදුවේ. ජලය යනු පුජනිය වූ වස්තුවක් වී ඇත්තේ ඒ නිසාය. ජලයට පුජනිය බවක් ලැබී ඇත්තේ මෙහි පමණි. ජලය ආරක්ෂා කිරීම , ඊට විෂ මිශ්‍ර නොකිරීම ,  ජලය උනන තැන රැකීම සහ ඒ වෙනුවෙන් රුක් සිටුවීම , ජල සීරාව රැකීම , ජල ජීවින් රැකීම , කොටින්ම කියතොත් උල්පත් ජලය පෙරහන්කඩයකින් පෙරා පාවිච්චියට ගැනීම ගැන උපදෙස් ඇත්තෙත් මෙහි පමණි. ඒ ජලයේ වූ ක්ෂුද්‍ර ප්‍රාණීන් හැකි පමණ ආරක්ෂා කරගැනීම සඳහාය.

බලන්න ! එහේ ජල ප්‍රතිපදාවත් මෙහේ ජල ප්‍රතිපදාවත් යන දෙකම එකද ?

ඒ නිසා මෙහි ඇත්තේ එහි ජලයමද ?

සුළඟ.

එහි සංයුතිය මෙසේය. උගතුන් දන්නේ එපමණකි.

නමුත් මෙහි හමන සුළඟ බෞතිකත්වය ඉක්මවා යයි. “ඈත අතීතේ අසිපත් සිප එන අතීතයේ සිට එන සුළඟයි….” කියා කවියා එය පදසංකල්පනාවකට ලක් කලේ ඒ නිසාවෙන්ය. මෙහි හුස්ම ගන්නට සැලස්සුවෝ එසේ මෙසේ වූ මිනිසුන් නොවේ. මිනිස් පතාකයෝය. අතීත නිර්භීත සිංහරාජ වංශයම ඊට උදාහරණ වේ. ශ්‍රද්ධාවෙන්ද , ප්‍රඤාවෙන්ද , නිර්භිතකමින්ද ආතුර වූ මොවුන් ඕනෑම අභියෝගයකදී පසු නොබසින වුවෝ වුහ. ඔවුන් හෙළු හුස්ම අදටත් මේ ලක් දෙරණ පුරා මෙම පුණ්‍ය ඉම සිප ගනිමින් හමායයි. ඒ ප්‍රවේනික හුස්ම ආග්‍රහණය කරන්නා වූ ප්‍රව්නික දාසයෝ අදටත් නිතැනින්ම එවැනිම වූ නිර්භිතයෝ වෙති.

පස් පව් , දස අකුසල් කුමක්ද යන්න නොදන්නා විසින් කරන්නා වූ කාර්යන් සහ පස් පව් දස අකුසල් කුමක්ද යනු දන්නා විසින් කරන්නා වූ කාර්යයන් අතර වෙනස අහසට පොලව මෙනි. පස් පව් දස අකුසල් නොකරන්නා හෙළු හුස්ම කෙතරම් බලවන්තද කියා පෘතග්ජන වූ ඔබට නොවැටහෙනවා ඒකාන්තය. එය පුදුමයක්ද නොවේ. එවැනි වූ ප්‍රඤාවන්ත මිනිසුන් හෙළු හුස්ම අදටත් සංසරණය වන පොලවයි මේ භුමිය.  

වියතුනි ! උගතුනි ! මහතුනි !

ඔබට මේ රට කුමක්ද යයි නොතේරීම ගැන අපට අවනඩුවක් නැත.

නමුත් ඔබ මේ භූමියට කරනා විනාශය සම්බන්ධව නම් අපට ඔබ කෙරේ අවනඩුවක් ඇත.

අප මෙම භුමිය දකින්නේ ඔබ මේ භුමිය දකිනා භූමිකාවෙන් නොවේ.  ඒ එය සතු අපේ ලේ උරුමය නිසාවෙන්ය. කරුණාකර මේ ද්‍රෝහීකම නවත්තන්න. ගිණි පුපුරෙන් ලොවක් ගිණි ගන්නා බව පමණක් තරයේ මතක තබා ගන්න.

මිට සිංහලේ යක්ඛ පරපුර.  

Protected by Security by CleanTalk