විහාරාධිපති හිමි ඝාතනයේ සැක දෙදෙනා වෙඩි කා නසිති

Spread the News

විහාරාධිපති හිමි ඝාතනයේ
සැක දෙදෙනා වෙඩි කා නසිති

නාඳුනන පිරිසක්‌ පැහැරගෙන
ගොස්‌ බණ්‌ඩාරගමදී වෙඩි තබලා
සැකකරුවන්ගේ ගෙවල් කඩා බිඳ වනසති    SOURCE:

හේමන්ත රන්දුණු , පින්සිරි ආරියරත්න
සහ බණ්‌ඩාරගම විශේෂ එස්‌ ජයසිංහ

මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරස්‌ථානයේ විහාරාධිපති හිමියන් කපා කොටා සාහසික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනා නාඳුනන පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ බණ්‌ඩාරගමදී ඊයේ (04 වැනිදා) අලුයම වෙඩි තබා ඝාතනය කර ඇත.

සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු මොරටුව ප්‍රදේශයේ කලබලකාරී තත්ත්වයක්‌ උද්ගත වූ අතර එය පාලනය කිරීමට පොලිසියට දැඩි වෙහෙසක්‌ දැරීමට සිදුවිය.

කෝපයට පත් වූ පිරිස්‌ විහාරාධිපති හිමියන් ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවන්ට අයත් නිවාස පහකට පහර දී විනාශ කර තිබිණි.

විහාරස්‌ථානයට අයත් ඉඩමක්‌ සම්බන්ධයෙන් කාලයක්‌ තිස්‌සේ පැවැති ආරවුලක්‌ මෙම ඝාතනයට හේතු වී ඇති බව පොලිසිය පවසයි.

විමලවංශ හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන සුජිත් ගුණරත්න (35) සහ චන්දිම නුවන්රත්න (30) යන දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්‌ව මියගොස්‌ ඇත්තේ බණ්‌ඩාරගම ප්‍රදේශයේදීය. ඔවුන් දෙදෙනාගේ සිරුරු පොලිසිය මගින් ඊයේ (04 දා) උදෑසන බණ්‌ඩාරගම දැල්කඩ පාලම අසල වෙල්යායක තිබී සොයාගන්නා ලදී.

එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරස්‌ථානය පිහිටි ඉඩමේ පවුල් අටක්‌ අනවසරයෙන් පදිංචිව සිටින අතර ඔවුන් ඉවත් කිරීමට විමලවංශ හිමියෝ වසර ගණනක සිට දැඩි උත්සාහයක නිරතව සිටියහ.

ඉතා දීර්ඝ කාලයක සිට මෙම පවුල්වල සාමාජිකයෝ විහාරයට අයත් ඉඩමේ පදිංචිව සිටින අතර ඔවුන් එම ඉඩම අතහැර යැම තදින්ම ප්‍රතික්‍ෂේප කර සිටිති.

මෙම ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් අවස්‌ථා කීපයකදීම මොරටුව පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබිණි.

විමලවංශ හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ද (බණ්‌ඩාරගමදී මරුමුවට පත් වූ) විහාර භූමියට අයත් ඉඩමේ දීර්ඝ කාලයක සිට පදිංචිව සිටින පුද්ගලයන්ය.

මොවුන් අවස්‌ථා කීපයකදීම විමලවංශ හිමියන් මුණගැසී තමන්ට පදිංචිවීමට විහාර භූමියේ ඉඩමෙන් පර්චස්‌ කීපයක්‌ ලබාදෙන මෙන් ඉල්ලා සිටියද උන්වහන්සේ ඊට තදින්ම විරුද්ධ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම ඉඩම් ආරවුල් නිසා විමලවංශ හිමියන් සහ විහාර භූමියේ පදිංචිකරුවන් අතර නිතර නිතර ගැටුම් ඇති විය.

පෙරේදා (03 වැනිදා) සවස 6.30 ට පමණ සුනන්දොපනන්ද විහාරයට කඩාවැදුණු සුජිත් ගුණරත්න, චන්දිම නුවන්රත්න ඇතුළු පහළොස්‌දෙනකුගෙන් පමණ සමන්විත වූ පිරිසක්‌ ඒ අවස්‌ථාවේ විහාරස්‌ථානයේ වැඩ සිටි හිමිනමකට තර්ජනය කර පලාගොස්‌ තිබිණි.

මෙම සිද්ධිය වන අවස්‌ථාවේ විමලවංශ හිමියන් විහාරස්‌ථානයේ නොසිටි අතර එම හිමියන් විහාරයට වැඩම කර ඇත්තේ රාත්‍රි කාලයේදීය.

විමලවංශ හිමියන් විහාරයට පැමිණි අවස්‌ථාවේ නැවතත් එහි කඩාවැදුණු මැර පිරිස එම හිමියන්ට ඇසිඩ් ප්‍රහාර එල්ල කරන බව කියමින් තර්ජනය කර විහාරස්‌ථානය ද විනාශ කරන බව පවසා පලාගොස්‌ තිබිණි.

මෙම සිද්ධියෙන් පසු විමලවංශ හිමියෝ රාත්‍රි 8.00 ට පමණ මොරටුව පොලිසිය වෙත ගොස්‌ තමන්ට මරණීය තර්ජන එල්ල කිරීම පිළිබඳව පැමිණිල්ලක්‌ කළහ.

විමලවංශ හිමියන් එම පැමිණිල්ල කර රාත්‍රි 9.30 ට පමණ විහාරස්‌ථානයට පැමිණි අවස්‌ථාවේ එහි කඩාවැදුණු මැර පිරිස විහාර භූමියේදීම විමලවංශ හිමියන්ට පහර දී මන්නා පිහිවලින් කපා කොටා ඇත.

මෙම සිද්ධිය වන අවස්‌ථාවේ විමලවංශ හිමියන්ගේ රියෑදුරු සහ තවත් හිමිනමක්‌ එහි සිටි අතර මැර පිරිස ඔවුන්ට කිසිදු හානියක්‌ නොකර පලාගොස්‌ තිබේ.

මෙහිදී බරපතළ කැපුම් තුවාල ලැබූ විමලවංශ හිමියන් පානදුර රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යන අතරතුර ජීවිතක්‍ෂයට පත්වූහ.

විමලවංශ හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු කෝපයට පත් වූ ප්‍රදේශවාසීහු විහාරස්‌ථානයට අයත් ඉඩමේ බලහත්කාරයෙන් පදිංචිව සිටි පුද්ගලයන්ට අයත් නිවාසවලට පහර දී ඔවුන් පලවාහැරීමට කටයුතු කළහ.

මොරටුව ප්‍රදේශයේ ඇති වී තිබූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් කැඳවීමට පොලිසිය කටයුතු කළහ.

ගල්කිස්‌ස පොලිස්‌ අධිකාරි රවීන්ද්‍ර කරවිට, මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කමල් පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් පිරිසක්‌ මොරටුව ප්‍රදේශයට ගොස්‌ ඇති වී තිබූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්හ.

විමලවංශ හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මේ අතර විමලවංශ හිමියන් ඝාතනයේ සැකකරුවන් දෙදෙනා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද සෙවීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ.

විමලවංශ හිමියන් ඝාතනය කිරීමේ සිද්ධිය පිටුපස කිසිම ආකාරයක ජාතිවාදී කුමන්ත්‍රණයක්‌ නොමැති බව ද පොලිසිය පවසයි.